මියන්මාරයේ වප් පොහොය
වප් පුර පොහොය මියන්මාරයට ඉතා වැදගත් පොහොයක්. ඔවුන් එය හඳුන්වන්නේ තදින්ජෝ කියායි. වස්සානය අවසන් වන පොහොය ලංකාවටත් වැදගත්. වප් පොහොය දින බුදුහාමුදුරුවන් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනය කර ආපසු මනු ලොවට වැඩම කළ දිනය ලෙස අප සියල්ලන් ම සලකනවා. මියන්මාරයේ වප් පොහෝ දින ලංකාවට වඩා විශේෂත්වයක් දැක්වෙනවා. මේ සම්බන්ධ උත්සවය දින පහක් තිස්සේ පැවැත්වෙනවා. උත්සව පටන් ගැනෙන්නේ පුර පොහොයට පෙර දින සිටයි.
තදින්ජෝ දිනයෙහි වැඩි හිටියන්ට සැලකීම ද කෙරෙනවා. තානාපති කාර්යාලයේ සේවය කරන අය අපට ද තෑගි බෝග ගෙනැවිත් තිබුණා. තෑගි බෝග දී ඔවුන් වැඩිහිටියන් දෙපා නමදිනවා. මෙය බුදුහාමුදුරුවන් මාතෘ දිව්‍ය රාජයාට කරන ලද උපහාරය නිසා ඇති වූවක් ද දන්නෙ නැහැ. බුදුහාමුදුරුවන් පෙන්වා දී ඇත්තේ ඉතා වැදගත් කරුණක්. අපේ බෝධි වන්දනාවත් බුදුහාමුදුරුවන් අනුගමනය කරමින් කෙරෙන්නක්. මියන්මාරයෙ දි අප මැන්ටල නො වෙයි. ලංකාවෙ දි නම් මනස විකාර වූ මැන්ටල.
මියන්මාරයට අභිධර්මයත් වැදගත්. බුදුහාමුදුරුවන් වප් පෝදා මනුලොවට ආපසු වැඩම කෙළේ අභිධර්මය දේශනා කිරීමෙන් පසු. මියන්මාරයේ අභිධර්මය වැදගත් වී ඇත්තේ දහහත්වන සියවසෙන් පසුව. ලංකාවේ කලින් අභිධර්මය ගැන උනන්දුවක් තිබුණා ද දන්නේ නැහැ. අප වඩාත් යොමු වී ඇත්තේ සූත්‍ර පිටකයට. කෙසේ වෙතත් පසුගිය සියවසක හමාරක මියන්මාරයට වැඩම කළ සිංහල හාමුදරුවරු නැවතත් ලංකාවේ අභිධර්මය පිළිබඳ උනන්දුවක් ඇති කර තිබෙනවා.
මියන්මාරය තමයි සංස්කෘතික ව අපට සමීප ම රට. විජයබාහු රජුගේ කාලයේ සිට පහළොස්වැනි සියවස දක්වා අප මියන්මාරය සමග කිට්ටු සම්බන්ධයක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. පහළොස්වැනි සියවසේ මියන්මාරයේ ධම්මසෙට්ඨි රජු ලංකාවෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. එය කල්‍යාණි ශිලා ලේඛනවල සඳහන් වෙනවා. මියන්මාරයේ ඇත්තේ ලංකාවෙන් ගෙනෙන ලද උපසම්පදාවන්. අපේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නැති වුණාට පස්සෙ අප නැවත උපසම්පදාව ලබා ගත්තෙ ස්වරණභූමියෙන්. ස්වර්ණභූමිය කියන්නෙ විශාල ප්‍රදේශයක්. එයට මියන්මාරයේ රාමඤ්ඤ දේශය මෙන් ම තායිලන්තය ද ඇතුළත් වෙනවා. විජයබාහු රජු දවස මියන්මාරයේ හිටියෙ අනවරත නැත්නම් අනුරුද්ධ රජු.
පහළොස්වැනි සියවස දක්වා ඉන්දියන් සාගරය තරණය කෙළේ මේ කලාපයේ රටවල නැව්. සිංහල නැව් ද එකල චීනයටත් ගොස් තියෙනවා. මුස්ලිම්වරුන් අටවැනි සියවසේ පමණ සිට මේ කලාපයට එන්න පටන් ගෙන තියෙනවා. ඉරානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මලයාව වැනි රටවල් මුස්ලිම් වුණා. කලක් ඒ බෞද්ධ රටවල්. එහෙත් බුදුදහම නැති වුණේ මුස්ලිම් ආක්‍රමණ නිසා ම නො වෙයි. හින්දු සංස්කෘතිය ද එයට වග කියන්න ඕන. විජයබා හා අනවරත රජවරුන් නොවන්නට මේ කලාප හින්දු මුස්ලිම් කලාපයක් වීමට තිබුණා. ලංකාවේ චෝලයන් පරාජය කිරීම ද ස්වර්ණභූමියේ හින්දු ක්මර් බලය පරාජය කිරීම ද නොවන්නට ථෙරවාද බෞද්ධ සංස්කෘතික පුළුටක් හොයා ගන්න බැරි වෙන්න තිබුණා.
කලක් වියට්නාමයේ සිට ග්‍රීසිය (අයෝනය) දක්වා ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් තිබී ඇති බව පැහැදිලියි.අශෝක රජු දවස ධර්මදුතයන් වහන්සේ වැඩම කරවා ඇති රටවල් ගැන යමකුට කරුණු එකතු කරන්න පුළුවන්. සෝණ හා උත්තර රහතන් වහන්සේ ස්වර්ණභූමියට වැඩම කර ඇති අතර මහාරක්ඛිත රහතන් වහන්සේ යෝනක ලෝකයට වැඩම කර තියෙනවා. අශෝක රජු දවස දකුණු වියට්නාමයට (චම්පා) ධර්මදුතයන් වහන්සේ වැඩම කළ බවක් සඳහන් නොවෙතත් කාම්බෝජය හරහා යම් ථෙරවාද සංස්කෘතියක් ගිහින් තියෙනවා. අර යෝනක ලෝකයට වත්මන් ඇෆ්ගනිස්ථානය ද ඇතුළත්. අපේ යොන් මැරිල්ල අමතක නොකළ යුතුයි.
අප ථෙරවාද සභ්‍යත්වයක් ගොඩනගා නැහැ. ඇත්තේ විවිධ ථෙරවාද සංස්කෘතීන්. මියන්මාර ථෙරවාද සංස්කෘතිය මෙන් ම කාම්බෝජ ථෙරවාද සංස්කෘතියත් සිංහල ථෙරවාද සංස්කෘතියට සමීපයි. මියන්මාරයේ ලංකා තානාපති කාරයාලයේ සේවය කරන මියන්මාර වැසියන් සමග අප ද තදින්ජෝ උත්සවය තරමකට හරි පැවැත්තුවා. කොවිඩ් නිසා මෙවර උත්සවය බාල්දු වෙලා.
තදින්ජෝ ආලෝක පූජා උත්සවයක් ද වෙනවා. කුඩු තනා පහන් දැල්වීම මියන්මාරයේ එදින කෙරෙනවා. අප මියන්මාරයේ ලංකා තානාපති නිල නිවස හා අවට පරිශ්‍රය ආලෝකමත් කළා. මේ සමග ඡායාරූප තුනක් ඇති. එකක තානාපති කාර්යාල පරිශ්‍රයේ ඇති බෝධින් වහන්සේට හා පිළිම වහන්සේට කළ පහන් පූජාවක්. දෙවැන්න ලංකාවේ මහජන මුදලින් ආලෝකමත් කෙරුණු තානාපති නිල නිවස. තුන්වැන්නේ ඇත්තේ තදින්ජෝ උත්සවයට සහභාගි වූ පිරිසෙන් කොටසක් තානාපති නිල නිවසේ දොරකඩ.
කොවිඩ් නොවන්නට අපට තවත් ජයට උත්සවය පවත්වන්න තිබුණා. ලංකාවේ කොවිඩ් ගැනත් වචනයක් කියන්න ඕන. පෑලියගොඩ නැත්නම් මාළු කඩේ කොවිඩ් වර්ගය රෙදි කම්මලේ කොවිඩ් වර්ගයට වඩා වේගයෙන් පැතිරෙන බව විද්‍යාඥයකු නොවූ මා ද නිරීක්‍ෂණය කර තිබුණා. මා ඒ බව ලිපියක දෙකක සඳහන් කර තිබුණා. දැන් එය ඊනියා විද්‍යාත්මක ක්‍රම මගින් තහවුරු වී ඇතැයි කියනවා. මාළු කඩේ කොවිඩ් වර්ගය රෙදි කම්මලේ කොවිඩ් වර්ගය මෙන් නොව උතුරු යුරෝපයේ රටවල ඇති වර්ගයක් බව කියනවා. ඒ වර්ගය ලංකාවට ආවේ කොහොම ද කියල දන්නවා ද? දන්න කෙනෙක් ඉන්නවා නම් දන්වන්න.