Main Logo

Wednesday 18 November 2020

දැනුම් යටත්විජිතවාදය මුස්ලිම් ආක්‍රමණය හා ආණ්ඩුව

 



දැනුම් යටත්විජිතවාදය මුස්ලිම් ආක්‍රමණය හා ආණ්ඩුව 


අද අගමැති මහින්දට අවුරුදු හැත්තෑපහක් පිරෙනවා. ජනාධිපති ගෝඨාභයගේ පදවිප්‍රාප්තියට අවරුද්දක් පිරෙනවා. මට කිසිවකුටවත් ස්තෝත්‍ර ගයන්න වුවමනාවක් නැහැ. මට අවශ්‍ය රට නිදහස් කර ගැනීමට පමණයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවමු කියන්නෙත් රට නිදහස් කර ගැනීමටයි. අද බොහෝ දෙනා යෙදා ගන්නා වචනයක් වනුයේ නව යටත්විජිතවාදය යන්නයි. ආසියාතික රටවලට හතළිස් ගණන්වලත් අප්‍රිකානු රටවලට හැට ගණන්වලත් දේශපාලන හා හමුදාමය යටත්විජිතවාදයෙන් නිදහස ලැබුණත් ආර්ථික, සංස්කෘතික, ගෝලීය, ණය, ඊනියා ආධාර, රාජ්‍ය නොවන සංවිධාන ආදී ක්‍රමවලින් බටහිර රටවල් තම ආධිපත්‍යය දිගට ම ගෙන ගියා. ඒ තමයි නව යටත්විජිතවාදය. දකුණු අමෙරිකානු රටවලට දහනවවැනි සියවස තරම් ඈත කාලයක දී දේශපාලන නිදහසක් ලැබුණ නමුත් ඔවුනුත් නව යටත්විජිතවාදයේ ගොදුරු. 


නව යටත්විජිතවාදය යන්නෙන් වුවත් අවධාරණය කෙරෙන්නේ පැති කිහිපයක් පමණයි. එහි දී වඩාත් ම වැදගත් කරුණ, දැනුම් ආධිපත්‍යය ඉස්මතු වන්නේ නැහැ. දැනුම් ආධිපත්‍යය යන්න සංස්කෘතික යටත්විජිතවාදයේ අන්තර්ගත වෙලා ඇතැයි කිසිවකුට කියන්න පුළුවන්. ඒත් මා හිතන්නේ නැහැ ඉන් දැනුම් ආධිපත්‍යය කියවෙනවා කියා. සංස්කෘතික ආධිපත්‍යය නැත්නම් සංස්කෘතික යටත්විජිතවාදය යන්නෙන් කියැවෙන්නේ මතුපිට කරුණු ටිකක් පමණයි. 


අවශ්‍ය නම් දැනුම් ආධිපත්‍යය දැනුම් යටත්විජිතවාදය කියාත් නම් කරන්න පුළුවන්. අද අප පාසලේ විශ්වවිද්‍යාලයේ පිරිවෙනේ ඉගෙන ගන්නේ උගන්වන්නේ බටහිර දැනුමයි. එහි ඇති නිවැරදි බවක් නැහැ. බටහිර විද්‍යාව, විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව එහි දී ප්‍රධානයි. පට්ටපල් බොරුවක් වන්නේ ගුරුත්වාකර්ෂණය පමණක් නො වෙයි. වියුක්ත සංකල්ප හා ප්‍රවාද මගින් ඉදිරිපත් කෙරෙන මුළු මහත් බටහිර භෞතික විද්‍යාව ම පට්ටපල් බොරු. අනෙක් ස්වාභාවික විද්‍යා යැයි කියන දැනුම් භෞතික විද්‍යාව පසුපස යනවා. ඊනියා සමාජයීය විද්‍යා ඒ පිටුපස නොන්ඩි ගහමින් යනවා.  මේ සියළු දැනුම් එකතුවකින් අප පාලනය කෙරෙනවා. 


මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අපේ රටවල ජනයාට වියුක්ත ව හිතන්න බැරි වීම. යම් ප්‍රමාණයකට හරි වියුක්ත ව හිතන්න පුළුවන් වෛදික සභ්‍යත්වයේ උරුමකරුවන්ටයි. බෞද්ධයන් වියුක්ත ව හිතන්නෙ නැහැ. බටහිරයන්ට තම වියුක්ත දැනුම මගින් අප රටවල් පාලනය කිරීමට එය ප්‍රධාන හේතුවක් වෙනවා. අප තරමක්වත් වියුක්ත ව හිතන්න පුරුදු විය යුතු ය කියා මා කියන්නේ බටහිරයන් අනුකරණය කිරීමට නොව ඔවුන්ගෙන් නිදහස් වීමටයි. බටහිර දැනුම වමාරන පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ටත් වියුක්ත ව හිතන්න බැහැ. ඔවුන්ට සංයුක්තය හා වියුක්තය අතර වෙනසවත් තේරෙන්නේ නැහැ. 


වමක් නැතිවත් කෙකර ගාන වමාලා නව යටත්විජිතවාදයට විරුද්ධ ව ලියනවා කතා කරනවා. එහෙත් නව යටත්විජිතවාදයේ අංගයක් වූ රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ තිප්පලවල්. නව යටත්විජිතවාදය කියන සංකල්පය ම වමාලාගේ සංස්කරණයක් නොවෙයි. එයත් බටහිර උගතුන්ගේ ම සංස්කරණයක්. නව යටත්විජිතවාදයට විරුද්ධ කොටසක් ඇති කිරීමත් නව යටත්විජිතවාදයේ අංගයක්. නව යටත්විජිතවාදයෙන් දැනුම් යටත්විජිතවාදය අවධාරණය කෙරෙන්නේ නැහැ. අපට නව යටත්විජිතවාදයෙන්  නිදහස් විය හැක්කේ නව යටත්විජිතවාදය විසින් සංස්කරණය කෙරෙන දැනුම යොදා ගෙන නම් නො වෙයි. නව යටත්විජිතවාදී වමාලා, ලිබරල් වාදීන් ආදී සියල්ලන් දැනුම් ආධිපත්‍යය නැත්නම් දැනුම් යටත්විජිතවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් වඩාත් ම විරුද්ධ වන්නේ දැනුම් යටත්විජිතවාදය ගැන කතා කරන්නන්ටයි.    


අප රට නිදහස් කර ගැනීමේ මාවතේ එක් සන්ධිස්ධානයක් වනුයේ මේ ආණ්ඩුවයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවීම සඳහා කරන අරගලයේ එක් පියවරක් ලෙස තමයි අප මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ. මේ ආණ්ඩුව පිහිටුවා ගැනීමේ දී අප මහා කාර්යයක් කළා ය කියා මා කියන්නේ නැහැ. ඒ සඳහා අපෙන් වූ දායකත්වය නොගිණිය හැකි තරම්. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවාවි කියා අප හිතන්නේ නැහැ. එහෙත් ඒ සඳහා මේ ආණ්ඩුව අවශ්‍යයි. පඬි නැට්ටන් අහන්න පුළුවන් අරක කිරීම මේක කිරීම සිංහල බෞද්ධ ද කියා. ඒවා වැදගත් ප්‍රශ්න නෙවෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න යන්නේ සජිත් සමග ද අනුර කුමාර සමග ද සුමන්තිරන් සමග ද? 


මට වැදගත් වන්නේ පඬි නැටි ප්‍රශ්න නොව ඇතැම් ජාතිකවාදීන් අහන ප්‍රශ්න. අවුරුද්දක් ගිහින් කරපු වැඩ මොනව ද කියල අහන්න පුළුවන්. ඒත් මේ ආණ්ඩුව පිහිටුවා තවම මාස තුනක් පමණයි. ඒ මාස තුනත් කොවිඩ් මාස. මෙහි දී නම් කිව යුතු කරුණක් තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ගත්ත ම අප තවමත් දැනුම් යටත්විජිතවාදයේ ගොදුරක් නිසා ආධිපත්‍ය දරන්නේ බටහිර වෙදමහත්තුරු. ඔවුන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. කොවිඩ් අලුත්ගේ ඉන්නවා ද? ඒත් ඔවුන් සමහරු දේශීය වෙදකම කිරීමටත් විරුද්ධයි. දේශීය වෙදමහත්තුරුන්ට තම වෙදකම නොකරන ලෙස තර්ජනය කරන බටහිර වෙදමහතතුරු ඉන්න බවටත් වාර්තා වෙනවා. නම් අහන්න එපා. 


එපමණක් නොවෙයි දෙමළ මුස්ලිම් ජනවර්ග ජනකොටස්වලටත් තැන දෙන්න ඕන. තැන දෙනවා කියන එකෙන් මා අදහස් කරන්නේ ජනවර්ග අනුපාතය අනුව රැකියා දීමවත් ඇමතිකම් දීමවත් නොවෙයි. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. එහි දී ජාතිය ජනවර්ගය ජනකොටස කුමක් ද යන්න සොයා නොබැලිය යුතුයි. සියලු ඇමතිකම් සියලු තනතුරු සිංහල බෞද්ධයනට පමණක් හිමි විය යුතු ය යන්න සිංහල බෞද්ධ රාජ්‍යයක ප්‍රතිපත්තිය නො වෙයි. ඒ සඳහා ඉතිහාසයෙන් උදාහරණ සපයා ගන්න පුළුවන්. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ කියා හිතා ගෙන නොවෙයි මා මේ දේ පවසන්නේ. 


ඒ කුමක් වුණත් සිංහල බෞද්ධ රාජ්‍යයක් යනු සිංහල බෞද්ධයන්ගෙන් පමණක් සමන්විත රාජ්‍යයක් නො වෙයි. අද බටහිරින් අනුග්‍රහය ලබන මුස්ලිම් ආක්‍රමණයක් මෙරට තියෙනවා. මා නිතර කියන්නේ අද ලෝකයේ ඇති සියලු ඊනියා ජනවාර්ගික ප්‍රශ්න බාහිරින් ඇති කෙරෙන බව. මුස්ලිම් ආක්‍රමණය වෙළඳාමේ, ඉඩ කඩම් අත් කර ගැනීමේ ආදී ක්‍ෂෙත්‍රවල ක්‍රියාත්මක වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය වාණිජ සංස්කෘතියක් නොවීමත් මෙහි දී බලපානවා. 


එහෙත් එපමණකින් අප මුස්ලිම් සංස්කෘතියට විරුද්ධ නොවිය යුතුයි. අප මුස්ලිම් ආක්‍රමණය පරාජය කරන්න ඕන. එය දෙමළ ජාතිවාදය පරාජය කළාට වඩා වෙනස්. දෙමළ වෙල්ලාල ජාතිවාදය අවසානයේ දී ආයුධ අතට ගත්තා. පොන්නම්බලම් ත්‍රිත්වය (රාමනාදන්, අරුණාශලම්, ජී ජී) ගත් මග නොගෙන චෙල්වනායගම් වෙනත් මගක් ගත්තා. එය අවසානයේ දී සිංහලයන්ට වාසි වුණා. 


අද මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ ව ඇතැම් ජනමාධ්‍ය ක්‍රියාත්මක වන්නේ සත්භාවයකින් නොවන බව මගේ වැටහීමයි. අප ඔවුන්ගේ ඉත්තන් නොවිය යුතුයි. අප ආණ්ඩුවකින් හැම විට ම එකාන්ත පිළිතුරු බලපොරොත්තු නොවිය යුතුයි. බුදුහාමුදුරුවන් ද ඒකාන්ත පිළිතුරු නොදුන් අවස්ථා තියෙනවා. අවශ්‍ය වන්නේ වාචික ඒකාන්ත පිළිතුරක් නොව ක්‍රියාකලාපයක් පමණයි. අපි දෙකයි පනහේ ඇරිස්ටෝටල්ලා නොවිය යුතුයි. 


මා මේ කියන දේට බොහෝ ජාතිකවාදීන් විරුද්ධ වන බව මා දන්නවා. ජාතික ව්‍යාපාරයට ඕනෑම මොහොතක මා එලවා දමන්න පුළුවන්. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මෙහි දී මා එක් එක් ප්‍රශ්න අරගෙන කතා කෙළේ නැහැ. එහෙත් භූමදාන ප්‍රශ්නය ගැනත් වෙනත් ප්‍රශ්න ගැනත් මා වෙනත් තැන්වල ලියා තියෙනවා.  


මේ ආණ්ඩුව සියයට සියයක් නිවැරදි කියා මා කියන්නේ නැහැ. සියයට පනහක්වත් නිවැරදි නොවන්න පුළුවන්. එහෙත් අප මේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන. ඒ අතර ඩීල් දේශපාලනය පරාජය කරන්න ඕන. ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන කියන්නෙ තානාපතිකම රැක ගන්න නම් නොවෙයි.  එහෙම කියන අය වමාලා හා ලිබරලුන් අතර පමණක් නොව ජාතිකවාදීන් අතර ද සිටින බව  මා දන්නවා.