Main Logo

Friday 6 November 2020

 බටහිර දැනුම් ආධිපත්‍යය යටතෙ කොවිඩ් සමග වාසෙ


බටහිර වෙදමහත්තුරුන්ට පින්සිද්ද වෙන්න අපට කොවිඩ් සමග සාමාන්‍ය ම නොවුණත් සාමාන්‍ය විධියට ජීවත් වෙන්න පුළුවන් වෙලා. දැන් තියෙන්නෙ සිතියම් ඇඳීමේ ප්‍රශ්නය විතරයි. ග්‍රාම නිලධාරි මහතුන්ට ගමේ සිතියම පාරවල් හා ගෙවල් එක්ක (ගූගල් හරියන්නෙ නැහැ) දීල කොවිඩ් ආසාදිත අය ඉන්න තැන් ලකුණු කරවන එක විතරයි තියෙන්නෙ. ඒක කොහොම හරි කරන්න ඕන නැත්නම් කොවිඩ් අලුත්ගේලා අර මොකක් ද කමිටුවකින් යන්න යාවි. ගියත් විශාල ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මාධ්‍ය හරහා සියලු උපදෙස් ලබා දෙනවා. පාදෙණිය කොහෙ ගිහිල්ල ද කියල මා මේ කල්පනා කරන්නෙ. ජනාධිපතිවරණ දවස්වල නම් ඔහු ගෝඨාභය රාජපක්‍ෂගෙ වගේ ම සජිත් ප්‍රේමදාසගෙ රැස්වීම්වලත් දැක ගන්න පුළුවන් වුණා. 


කොවිඩ් කියල රට ම වහන්න තියා පළාතක්වත් දිගු කාලයකට වහන්න බැහැ. මෙරට මා හිතන විධියට (මා වැරදි වෙන්න පුළුවන් මේ ගැන සමීක්‍ෂණයක් කරන්න මට විද්වතකු හොයා ගන්න බැරි වුණා) විශාල පිරිසක් ජීවත් වන්නෙ එදිනෙදා වැඩක් කරගෙන. ඔවුන්ට රට හරි ගම හරි හුඟ කාලෙකට වහල තියන එක ප්‍රශ්නයක්.  රටක් හැටියටත් ඒ ප්‍රශ්නෙ තියෙනවා. දැන් තියෙන මේ ආර්ථිකය අනුව භාණ්ඩ අපනයනය නොකළොත් රට අපණයනය වෙනවා. අපට තව තවත් ණය ගන්න වෙනවා. ඒ නිසා මොන විධියකට හරි අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන කම්මල් අරින්න ඕන. 


මේ ඔක්කොම කොවිඩ් සමග තුලනය කරන්න (කිරන්න) වෙනවා. එතන දි තමයි බටහිර වෙදමහත්තුරු පිහිටට එන්නෙ. ඒ කියන්නෙ ඔවුන් ප්‍රතිකාර හරි එන්නත් හරි වෙන රසායනික දෙයක් ගේනව කියන එක නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ලොක්කටත් බේතක් නැති වෙලාවෙ මෙරට බටහිර වෙදමහත්තුරු මොනව කරන්න ද? ඔවුන් අපට ආච්චි අම්මලගෙ කතා අලුතෙන් කියනවා. පරෙස්සම් වෙන්න. මීටරේ දුරෙන් ඉන්න. මීටරේ නැති අයට ඒක කොච්චර කිව්වත් වැඩක් නැහැ. මුව ආවරණ පළඳින්න. අත් හෝදන්න. 


ඒත් නිකමටවත් කියන්නෙ නැහැ දුම් හට්ටිය අල්ලන්න, වෙනිවැල්ගැට බොන්න වගේ කතා. ඔය ජනමාධ්‍යත් වැඩි කාලයක් දෙන්නෙ බටහිර වෙදමහත්තුරුන්ට මිසක් පාරම්පරික වෙදමහත්තුරුන්ටවත් ආයුර්වේද වෙදමහත්තුරුන්ටවත් නො වෙයි. ජනමාධ්‍යවලත් ඉන්නෙ උගතුන්. ඒ කියන්නෙ මොකක් හරි බටහිර අධ්‍යාපනයක් ලබල ඒකෙ ආධිපත්‍යය පිළිගන්න අය. බටහිර විද්‍යාවෙ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් තියෙනව කියල ඉගෙන ගත්ත අය. අඩු තරමෙන් විද්‍යාවෙ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන තියෙනව කියන්නවත් ඔවුන්ට උගන්නල. 


බටහිර වෙදමහත්තුරුන්ට වෙනත් වෛද්‍ය ක්‍රමයක දැනුම කියන එක තහනම් කරල. වෙනත් වෛද්‍ය ක්‍රමයක් නිර්දේශ කරන්නත් බැහැ. එහෙම කළොත් බටහිර වෙදමහත්තයා කියන එක නැති වෙනවා කියනවා. දැන් මේ වගේ තහංචි පනවන්නෙ කවුද? ලංකාවෙ ඒක කරන්නෙ වෛද්‍ය සභාව. වෛද්‍ය සභාව පාර්ලිමේන්තුවට උඩින් තියෙන එකක් නොවෙයි. ඊයෙ පෙරේදා අර බටහිර වෙදමහත්තයෙක් හරි හාමිනේ කෙනෙක් හරි වෙන්න නම් උසස් පෙළ ජීව විද්‍යා ධාරාවෙ සම්මාන දෙකක් හා සාමාන්‍ය සාමාර්ථයක් අවම වශයෙන් තියෙන්න ඕන කියල නීතියක් පාර්ලිමේන්තුවෙ සම්මත කළා. වෛද්‍ය සභාවට තනියම එහෙම නීති පනවන්න බැහැ. 


ඔය උසස් පෙළ නීතියත් මහ තකතීරු නීතියක්. ඒ කාලෙ ඔය වගේ නීතියක් තිබුණ නම් පඬියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වුණු කාලෝට බටහිර වෙදමහත්තයෙක් වෙන්න බැරි වෙනවා. ඔහු සමත් විෂය හතරකින් දෙකයි. භෞතික විද්‍යාවත් අසමත්. එහෙත් ඔහු වැඩියෙන් කතා කෙළෙ ගණිතය භෞතික විද්‍යාව වගේ දේ. ඔහු කතා කළ දේ ගැන මා කියන්න යන්නෙ නැහැ. ඒ කොහොම වෙතත් සත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව පමණක් සමත් වෙලා ඔහු බටහිර වෙදමහත්තයෙක් වුණා. පදක්කමුත් දිනාගෙන. අද තියෙන විධියට නම් ඔහු උසස් පෙළ සමත් වෙන්නෙ එක විෂයක් පමණයි. නරක ද බටහිර වෙදමහත්තයෙක් වෙන්න පහේ ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරල ඒකෙන්  අවම ලකුණූ ප්‍රමාණයක් ගන්නත් ඕන කියල නියම කරාම.


කලකට පෙර අවුරුදු පනහකට පමණ පෙර, අප පේරාදෙණියෙ සාමාන්‍ය පෙළෙන් පස්සෙ ගණිතය හදාරපු නැති අයට උපාධියට ගණිතය ඉගැන්නුවා. ඒ කාලෙ විෂය දෙකකින් පමණක් ගන්න පුළුවන් උපාධිත් තිබුණා. සමහර ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන් විෂය දෙකෙන් එකක් හැටියට ගණිතය තෝර ගත්තා. ඒ අය විවිධ රැකියා කරල අද විශ්‍රාම සුවයෙන් කල් ගෙවනව වෙන්න ඕන. 


වෛද්‍ය සභාව කියනව නම් බටහිර වෙදමහත්තුරුන්ට වෙනත් වෛද්‍ය ක්‍රම නිර්දේෂ කරන්න බැහැ කියල කරන්න තියෙන්නෙ අදාළ නීතිය වෙනස් කරන එක. බටහිර වෙදමහත්තුරුන් වෙනත් වෛද්‍ය ක්‍රම නිර්දේශ කළ පමණින් වෙදමහත්තයාකම නැති නොවන විධියට නීතියක් ගෙන ඒම. දේශීය වෙදමහත්තුරුන්ටත් බටහිර වෙදකමේ ආධිපත්‍යය පිළිගන්න සලස්සල. ඒක නේ මේ චූර්ණයෙ අර පැණියෙ මේ මේ සංරචක තියෙන බව විද්‍යාත්මක ව පෙන්නල තියෙනවා කියන්නෙ. 


බටහිර දැනුමට තියෙන ආධිපත්‍යය කොවිඩ් එක්ක හොඳට ම පැහැදිලි වුණා. බටහිර වෙදකමට ඒ සඳහා නිර්දේෂ කරන්න පුළුවන් මීටරේ දුර තියාගන්න අත් හෝදන්න කියන දැනුම පමණයි. ඒත් දැනුම් ආධිපත්‍යය නිසා වෙනත් වෛද්‍ය ක්‍රමයකට බේතක් තිබුණත් ඒක නිර්දේෂ කරන්න ඉඩ දෙන්නෙ නැහැ. බටහිර දැනුමක් තියෙන ජනමාධ්‍යවේදීන් ඔක්කොට ම හපන්. ඔවුනුත් අර දැනුම් ආධිපත්‍යයෙ නියෝජිතයන්. එක් ජාලයක් හැරෙන්න අනෙක් ජනමාධ්‍ය ජාල මට කිසි ඉඩක් දෙන්නෙ නැත්තෙ මා බටහිර දැනුම් ආධිපත්‍යය නොපිළිගන්නා නිසා. 


හැම ක්‍ෂෙත්‍ර්‍රයක ම වගේ බටහිර දැනුම කඩා වැටිල. ඒත් එය තවමත් ආධිපත්‍යය දරනවා. ඒ ආධිපත්‍යය රැක ගැනීම සඳහා අවශ්‍ය ජාලය සකස් කරගෙන තියෙනවා. විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, ජනමාධ්‍ය ආදී සියල්ල ඒ ජාලයෙ අවයව. බොහෝ දේශපාලනඥයන් ද ඒකෙ ඉන්නවා. මේ ආධිපත්‍යයට බුදුදහමත් යට කරල. බුදුදහම විද්‍යාත්මක කරල. බෞද්ධ දර්ශනයක් ගැන කියවනවා. බුදුහාමුදුරුවො විද්‍යාඥයෙක්ලු දාර්ශනිකයෙක්ලු. බුදුදහම විද්‍යාත්මක නම් මා වහාම අබෞද්ධයකු වෙනවා. මා විද්‍යාඥයකු නොවෙයි. විද්‍යාව පට්ටපල් බොරු. ගුරුත්වාකර්ෂණය කියන්නෙ පට්ටපල් බොරුවක්. දැන් අර සුපුරුදු ප්‍රශ්න අහාවි. ගුවන්යානා යන්නෙ කොහොම ද හදවත් සැත්කම් හරි ද ආදී තාක්‍ෂණවේදී ප්‍රශ්න. මා බෞද්ධයකු වන්නේ ඒ බටහිර විද්‍යාත්මක නොවන නිසා. ඒත් ඒක එක ම නිර්ණායකය නො වෙයි.  


ඒ මොනව වුණත් කොවිඩ් සාමාන්‍යය වෙලා. කොවිඩ්වලට බය වෙන්නවත් ඒ ගැන ලැජ්ජ වෙන්නවත් ඕනෙ නැහැ. කරන්න තියෙන්නෙ පරෙස්සම් වෙන එක. ඒක කීම විතරයි බටහිර වෙදමහත්තුරුන්ට කරන්න පුළුවන්. මට හොඳ හොඳ කතා කටට එනවා. කිවුවයි කියල හිතා ගන්න. බටහිර වෙදමහත්තුරු කියන කතාවලට අමතර ව අපි කියනවා දුම් හට්ටිය අල්ලන්න, පස් පංගුව බොන්න, වෙනිවැල්ගැට වගේ දේ බොන්න. මේ කතා කියන්න ඕන පාරම්පරික හා ආයුර්වේද වෙද මහත්තුරු. කවුරු හරි පඬියකු අහන්න පුළුවන් මා මොන ආකාරයක හරි වෙදමහත්තයෙක් ද කියල. අපොයි නැහැ. ජනමාධ්‍ය වැඩි වැඩියෙන් බටහිර නොවන වෙදමහත්තුරුන්ට කාලය දෙන්නෙ නැත්තෙ මොකද කියල අහන්න ඕන නැහැ. ඒ අයත් ආධිපත්‍යයට යටයි.