Main Logo

Saturday 28 November 2020

පාස්කු ප්‍රහාරය වහාබ්වාදය හා ඩීල් දේශපාලනය

 පාස්කු ප්‍රහාරය වහාබ්වාදය හා ඩීල් දේශපාලනය


2019 පාස්කු ප්‍රහාරය ගැන යමක් කීම අදාළ පරීක්‍ෂණය කරන කොමිසමට ප්‍රශ්නයක් නොවේ කියා හිතනවා. 1942 දීත් පාස්කු ප්‍රහාරයක් ලංකාවේ සිදුවෙලා තියෙනවා. ඒ ජපන් ප්‍රහාරයක්. 2019 ප්‍රහාරය ලංකාවට සීමා වූ එකක් නොවන බව අප මුල සිට ම කියා සිටි දෙයක්. මෙහි ඇති ජාත්‍යන්තර සම්බන්ධතා සෙවීමට කලක් ගත වන්න පුළුවන්. එහෙත් අපේ කතන්දරය අනුව මෙය බටහිර රටවල් කිහිපයක් මුස්ලිම් රටවල් කිහිපයක් සමග එකතු වී කරන ලද්දක්. ඒ එක් පැත්තකින් චීන නව සේද මාර්ගයට විරුද්ධ ව. 


මෙරට මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා. එහෙත් එය බාහිර ව ද කෙරෙන්නක්. අභ්‍යන්තර ආක්‍රමණය සිදු වන්නේ ආර්ථිකයෙහි හා පාර්ලිමේන්තුවෙහි. සිංහලයන් පොදුවේ ගත් කල වෙළෙඳාමෙහි අදක්‍ෂයන් වීමත් මෙහි දී බලපානවා. අද තියෙන්නේ එක් පැත්තකින් වෙළෙඳ ලෝකයක්. අනෙක් පැත්තෙන් දැනුම් ලෝකයක්. ඒ දෙක අතර සම්බන්ධයක් නැතිවා නො වෙයි. මේ ලෝක දෙකේ ම සිංහලයන් අදක්‍ෂයන්. 


ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ 2019 ශ්‍රෙණිගත කිරීම්වලට අනුව ලෝකයේ ඉන්න ඉහළ ම බටහිර විද්‍යාඥයන් සියයට දෙකට ලංකාවේ විද්‍යාඥයන් පහළොස් දෙනකු අයත් වෙනවා. පකිස්ථානයේ දෙසීය ගණනක් අයත්වෙනවා. ඉන්දියාවේ තාක්‍ෂණ විද්‍යාල දෙකකින් පමණක් ඒ සියයට දෙකට තිස්හතර දෙනකු අයත් වෙනවා. අර පහළොස් දෙනාගෙන් දොළොස් දෙනකු සිංහල. මේ ශ්‍රෙණිගත කිරීම්වලින් කියැවෙන්නේ පළ කර ඇති පත්‍රිකා ප්‍රමාණය හා ඒවා කියවා ඇති අයගේ සංඛ්‍යාව. ඒ මිසක් බටහිර විද්‍යාවේ කේන්ද්‍රයේ නව සංකල්ප ප්‍රවාද සංස්කරණය කිරීම ගැන නො වෙයි. මට කියන්න අවශ්‍ය සිංහලයන්ට වියුක්ත ප්‍රවාදයක් සංකල්පයක් බිහි කිරීමට නොහැකි වීමයි. 


සිංහලයන් තම දුර්වලතා දැනගෙන වත්මන් ලෝකයෙහි ජීවත්වීමට නම් සුදුසු ක්‍රියා මාර්ග අනුගමනය කරන්න ඕන. මුස්ලිම් ආක්‍රමණය දැනුම පැත්තෙන් නො වෙයි. වෙළෙඳාම පැත්තෙන් ඉඩම් අත්පත් කර ගැනීමෙන්. එහෙත් මෙයින් කියැවෙන්නේ නැහැ මුස්ලිමුන් සියල්ලන් ධනවත් කියා. මුස්ලිමුන් අතර අපරාධකරුවන් ද ඉන්නවා. මට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට බන්ධනාගාරවල ඉන්න අයගෙන් සියයට විස්සකට ආසන්න පිරිසක් මුස්ලිමුන්. 


ලංකාවේ මුස්ලිමුන් ගැන හැමෝම කියන්නෙ අටවෙනි සියවසේ පැමිණ සිංහල කාන්තාවන් විවාහ කරගත් අයගෙන් පැවත එන්නන් කියා. ලෝනා දේවරාජා සාක්‍ෂියට ගන්නවා. ඒක තමයි ඊනියා මූලාශ්‍රය. එහෙත් මෙරට මුස්ලිමුන් දෙමළ කතා කරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට ඉන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අටවැනි සියවසේ කතාව අනුව ඔවුන් කතා කළ යුත්තේ සිංහල. ඉතා සුළු ඉඩක් තියෙනවා අරාබි කතාකරන්න. ආසියාවේ අරාබි කතා කරන මුස්ලිමුන් ඉන්දුනීසියාවේවත් බංග්ලාදේශයේවත් මලයාසියාවේවත් නැහැ. ඒ ඒ රටවල මුස්ලිමුන් කතා කරන්නේ ඒ ඒ ප්‍රදේශයේ භෂාව. මලබාරයෙන් පැමිණි මුස්ලිමුන් කතා කෙළෙ දෙමළ. දැන් තමයි මෙරට මුස්ලිමුන් ටිකක්වත් සිංල කතා කිරීමට හුරු වී තියෙන්නෙ. මෙයිනුත් පැහැදිලි වන්නෙ සිංහලයන්ට වැදගත් ප්‍රශ්න අහන්න බැරි කම. විචාරශීලි බවේ අඩුවක් තියෙන බව.  අහන්නෙ තුට්ටු දෙකේ ප්‍රශ්න. මේසය මනසේ සංස්කරණයක් (නිර්මාණයක්) නම් මනසට මේසය වෙනස් කරන්න බැරි ඇයි? ඔවුන් හිතාගෙන ඇති මනස මේසය නිර්මාණය කරන්නෙ වඩුවකු මේසයක් නිර්මාණය කරනව වගේ කියා.


පාසල්වල ළමයින්ට යම් ඡෙදයක් දී එය තේරුම් ගත්තා දැයි බැලීමට ප්‍රශ්න අහනවා. එය හොඳයි. ඒ අතර තවත් ඡෙදයක් දී ළමයින්ට ඒ ඡෙදයේ කරුණු ගැන ප්‍රශ්න අහන්න කියන්න ඕන. ප්‍රශ්න පත්‍රවල ළමයින් ප්‍රශ්න ඇසීමත් තියෙන්න ඕන. එමගින් තුටටු දෙකේ ප්‍රශ්න නොඅසන්නත් උගන්නන්න පුළුවන්.  


මගේ කතාවට අනුව අටවැනි සියවසේ පැමිණි මුස්ලිමුන් දහහතරවැනි සියවසේ මලබාරයෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ගේ සංස්කෘතික ආධිපත්‍යයට යටවෙලා දෙමළ කතා කරන්න පටන් අරන්. ලංකාවේ මුස්ලිමුන්ට මෑතක් වන තුරු වහාබ්වාදයක් තිබුණේ නැහැ. මෙරට මුස්ලිමුන් සිංහලයනට විරුද්ධව යොදා ගත්තෙ ඉංගිරිසින්. ඉංගිරිසින් මුහුදුබඩ පළාත් අල්ල ගත්ත කාලෙ හිටන් ඒ වැඩේ කෙරුව. අද වන විට බටහිරයන් වහාබ්වාදයත් යොදා ගන්නවා. ඒත් මෙරට මුස්ලිමුන්ගෙන් යම් ප්‍රමාණයක් වහාබ්වාදයට විරුද්ධයි. 


දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් අප විරුද්ධ වුණේ වෙල්ලලාල ප්‍රභූන්ට ඉංගිරිසින්ට පසුව ත්‍රස්තවාදයට හා ඉන්දියාවට මිසක් සාමාන්‍ය දෙමළ ජනයාට නො වෙයි.  මුස්ලිමුන් සම්බන්ධයෙන් ද අප විරුද්ධ විය යුත්තේ වහාබ්වාදීනට හා ඔවුන් පිටුපස සිටින බටහිර රටවලට හා අරාබි රටවලට. වහාබ්වාදයට විරුද්ධ මුස්ලිමුන්ට අප ආමන්ත්‍රණය කරන්න ඕන. මුස්ලිම් වහාබ්වාදී අන්තවාදයට විරුද්ධ කරන සටන දෙමළ ජාතිවාදයට විරුද්ධ ව කළ සටනට වෙනස්. මුස්ලිමුන් සිංහලයන් අතර ජීවත්වෙනවා. දෙමළ ජාතිවාදීන් චෙල්වනායගම් අනුව ගොස් අවසන ආයුධ ගත්තට මුස්ලිමුන් අෂ්රොෆ් අනුව ගොස් වෙන මගක් අනුගමනය කරනවා.    


ඒ වෙනත් මගේ ඇත්තේ ඩීල් දේශපාලනය. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමට ගිය මෛත්‍රිපාල සිරිසේන කියල තිබුණ මුස්ලිම් මන්ත්‍රීවරුන් නැතිව රට පාලනය කරන්න බැරි වගේ කතාවක්. ඔහු තවදුරටත් කියල තිබුණ පහුගිය දා විස්ස තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගත්තෙ මුස්ලිම් මන්ත්‍රීවරුන් නිසා කියල. මේ මුස්ලිම් ඡන්ද මත යැපීම වහා ම වෙනස් කරන්න ඕන. මුස්ලිම් මන්ත්‍රීවරුන් විස්සට නිකම් ම ඡන්දෙ දුන්න කියල හිතන්න බැහැ. ඒ ඩීල් දේශපාලනයෙන් පොරොන්දු වෙච්ච දේ ටික කලකින් දෙන්න උත්සාහ කරාවි. එහි දී ජාතිකවාදීන් සම්පූර්ණයෙන් ම විරුද්ධ වන්න ඕන. 


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ සිංහල ඡන්දවලින් පමණක්. ඒ බව කීම නිසා මුස්ලිම් රටවල් අපට අරියාදු කරන්නත් ඇති. පොහොට්ටුවට තුනෙන් දෙකක් නොලැබෙන බව අප දැන හිටියා. ඔය ප්‍රමාණය හරි ලැබුණෙ රනිල්ට හා සජිත්ට පින්සිදුවන්න එ ජා ප හිතවතුන් යම් පිරිසක් ඡන්දපොළට නොගිය නිසා. කෙසේ නමුත් තුනෙන් දෙකේ බලයක් නොමැති වීම නිසා ඩීල් දේශපාලනයට යොමු වෙනවා. ඩීල් දේශපාලනයට තිත තියන්න ඕන. මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බැරි එක හේතුවක් තමයි ඩීල් දේශපාලනය. මුස්ලිම් අන්තවාදීන් එක් පැත්තකින් වහාබ්වාදය මතත් අනෙක් පැත්තෙන් ඩීල් දේශපාලනය මතත් පදනම් වෙනවා.