Main Logo

Saturday 21 November 2020

අපේ ඇඟේ තියෙන චතුස්කෝටිකය, ප්ලූටෝ හා ප්ලේටෝ

 අපේ ඇඟේ තියෙන චතුස්කෝටිකය, ප්ලූටෝ හා ප්ලේටෝ 


ජාත්‍යන්තරවාදය අද පුස්සක් පමණයි. එහි ප්‍රකාශකයන් වූ ධනවාදයත් මාක්ස්වාදී සමාජවාදයත් අද කඩන් වැටිල. ඒ දෙක ම ද්‍රව්‍යවාදී දරශන පදනම් කර ගත්තෙ. මාක්ස්වාදියකු කියන්න පුළුවන් ධනවාදය එහෙම නො වෙයි කියල. ඒත් ධනවාදීන් හා බටහිර දැනුම් සංස්කාරකවරුන් එහෙම සිතුවෙ නැහැ. බටහිර විද්‍යාඥයන්  දෙවියන් වහන්සේ ඇදහු අයත් ඇතුලුව වැඩ කෙළෙ ද්‍රව්‍යවාදීන් හැටියට. ඒත් විසිවැනි සියවසේ මේ ද්‍රව්‍යවාදය කඩා වැටෙන්න ගත්ත. එය මුලින් ම සිද්ධ වුණෙ සාපේක්‍ෂතාවාදයේ. නීරීක්‍ෂකයා ඉදිරියට එන්න ගත්ත. ඉන් පසු ක්වොන්ටම් භෞතිකයෙ. නිරීක්‍ෂකයාට තවත් බලතල ලැබුණා. 


බටහිර දර්ශනයේ ද්‍රව්‍යවාදී අංශය දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ බටහිර භෞතික විද්‍යාවේ බලපෑම නිසා. ඒ අතර සෝවියට් දේශයෙන් බලාපොරොත්තු වූ සමාජවාදය ලැබුණේ නැහැ. ස්ටැලින්ගේ තනි රටේ සමාජවාදය යටතේ මිනිසුන් මානසික වහලුන් වුණා. ඊනියා දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්ලර්ට මුසෝලිනිට විරුද්ධව චර්චිල්ලා ස්ටැලින්ල එකතු වුණා. එකතු වෙලා යුද්ධෙ දිණුවා. ඒ වුණාට ධනවාදයත් සමාජවාදයත් පැරදුණා. ඊනියා නව යටත්විජිතවාදය ඇති වුණා. මැක්ස්වෙල් ජ්‍යාමිතිකරණයකට ලක් කරන්න උත්සාහ කළ අයින්ස්ටයින් අසමත් වී මිය ගියා. 


ඊනියා ද්‍රව්‍යවාදීන් මාක්ස්ගෙ වැරදි හොයන්න පටන් ගත්ත. එහෙමත් නැත්නම් මාක්ස් අසමත් වුණෙ මොකද කියල හොයන්න පටන් ගත්ත. ඔවුන් එංගල්ස් වැරදි කාරයා කළා. ෆෙයාබාක්ටත් දොස් කිවුව. අල්තූසර්ල ග්‍රාම්ස්චිලා සැක පහළ කළා. ඒ කාටවත් විකල්ප තිබුණෙ නැහැ. ද්‍රව්‍යවාදීන් මනෝ විශ්ලේෂණයට වැටුණා. අර යථාර්ථය වෙනුවට යථාව කියල එකක් ගෙනාවා. ලකාන්ල කරළියට ආවා. දැන් ජිජැක්ල ඉන්නවා. මෙයිසුත් ඉන්නවලු. 


දැන් ඉතින් ද්‍රව්‍යමය යථාර්ථය වෙනුවට මනෝමය යථාර්ථයක් ගැන කියවනවා. හැබෑවට ම යථාවට මොකද වුණෙ. දැන් ඉතින් ගුණ ගැන තමයි කතාව. ඒත් ගුණරත්න ගැන නොවෙයි. ප්ලූටෝ වෙනුවට නැවතත් ප්ලේටෝ ඇවිල්ල. ප්ලූටෝ රාහුගෙ මුඛයට වැටිල. හඳ රාහු මුඛයෙ ගිලුණා ලෙසේ කියන්න පුළුවන්. රාහු කියන්නෙ ග්‍රහවස්තුවක් නම් නොවෙයි. ඒ නවග්‍රහයන්ගෙන් කෙනෙක්. ප්ලූටෝ කියල වෝල්ට් ඩිස්නි කාටූනයකුත් තියෙනවා. අද බටහිර දර්ශනය කාටුනයකට වැඩි දෙයක් නො වෙයි. ඊනියා ද්‍රව්‍යවාදීන් ඒ ගොල්ලන්ගෙම භාෂාවෙන් වාස්තවික විඥානවාදයකට (objective idealism) වැටිල. වැඩි කල් යන්න ඉස්සෙල්ල ආත්මීය විඥානවාදයකට (subjective idealism) වැටෙයි. ඒවයෙ තේරුම අහන්න එපා. නම දැනගත්ත ම ඇති. අර සිරිමල් විතරක් පරණ මාක්ස් එක්ක ඉන්නවා. 


අපට ඇති විඥානවාදයකුත් නැහැ. ද්‍රව්‍යවාදයකුත් නැහැ. අප ඒ දෙක ම ප්‍රතික්‍ෂෙප කරනවා. බටහිර දාර්ශනිකයන් තව තවත් ගුණ හොයන් යාවි.  විශ්වාස නැහැ කිය කිය විශ්වාස කරනවා. ඕනෑම දැනුමක් විශ්වාසය මත පදනම් වෙන්නෙ. තහවුරු කළ දැනුම් කියන්නෙ යම් විශ්වාසයකින් හරි විශ්වාසවලින් හරි පටන් අරන් ඇරිස්ටෝටල් විශ්වාස කරගෙන ඔහුගෙ තර්කය යොදගෙන ලබා ගන්නා අනුමානවලට (inference) , නිගමනත් (deduction) තියෙනව. උද්ගමනත් (induction)  තියෙනවා. උද්ගමනවලට ගණිතයෙ කියන්නෙ අභ්‍යුහන. වැඩියෙන් ම නොතේරෙන නම මතක තියා ගන්න. එය යොදා ගන්න. ඒ තමයි පඬි නැට්ටකු වීමට ඇති ඒකායන මාර්ගය. ඔය උද්ගමන ලබා ගන්නෙත් ගණිතයෙ දි නම් තර්කයෙන්. ගණිතයෙන් පිට උද්ගාමි තර්කනය (inductive reasoning), උද්ගාමි අනුමාන (inductive inference) ආදිය යොදා ගැනෙනවා. කාට කියන්න ද? තර්කයත් විශ්වාසයකට වැඩි දෙයක් නො වෙයි. 


මා මේ කතන්දර කිවුවෙ සල්ලි ටිකක් හම්බ කරගන්න. මට නොවෙයි රටට. අර යුරෝපීය සංගමයෙ බලවතුන් අපට කියල අපි ඇතැම් ආනයන තහනම් ඉවත් කර ගත්තෙ නැත්තන් ඔවුන්ගෙ නිෂ්පාදනවලට ප්‍රශ්නයක් වෙයිලු. මා දැන ගෙන හිටියෙ නැහැ අපි එතරම් බලවත් කියල. එ මදිවට යුරෝපා සංගමය අපට වෙළඳාම කියන්නෙ මොකක් ද කියලත් මතක් කරල දීල. මා ඔය ජාත්‍යන්තර වෙළඳාමෙ වැඩ ගැන ටිකක් හරි දැන ගත්තෙ තානාපති රස්සාවට ආවට පස්සෙ. යුරෝපා සංමය අපට කියන්නෙ ඔවුන්ට අපේ නිෂ්පාදන ගැනීම නවත්තන්න වෙයි කියල. ඒක තර්ජනයක්. 


අපි මේ ආනයන නවත්තන්න හදන්නෙ විදේශ විනිමය ඉතුරු කර ගන්න. අපේ ඩොලර් සංචිතය රැක ගන්න. අපට මහා ලොකු සංචිතයක් නැහැ. අපට තව තවත් ණය ගන්න එකත් ප්‍රශ්නයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ චීනයට කියා ඇත්තේ අපට අවශ්‍ය ණය නොව ආයෝජන කියා. යුරෝපීය සංගමය අපට තහංචි පනවන්න හදනවා. අපට මුදල් එන ක්‍රම අවහිර කරන්න හදනවා. අප ජාත්‍යන්තර ක්‍රිස්තියානි ආධිපත්‍යයට යට වීම ප්‍රතික්‍ෂෙප කිරීම යන්නෙන් කියන්නේ ලෝකයේ තනි වෙන්න කියන එක නො වෙයි. අප ලෝකයත් එක්ක ගණුදෙනු කරන්න ඕන.


එහි දී අප අපේ දක්‍ෂකම් හඳුනාගන්න ඕන. අපට බ්‍රාහ්මණ සම්ප්‍රදායක් නැහැ. පඬි නැට්ටන් තර්කය ගැන දෙඩුවත් ඔවුන්ටත් තරක කරන්න බැහැ. ඔවුන්ගේ ලිපිවල ඇති නිගමන සලකන්න. ඔවුන් හිතුවට ඇරිස්ටෝටල් ඔවුන්ගෙ ඇඟේ ඉන්නව කියල ඔවුන් හිතුවට අදාළ තර්කය සාමාන්‍ය දෙයක් කියල කපුටා කළුය කියන එක දැනුමක් කියල ඔවුන්ගෙ ඇඟේ ද්විකෝටිකය නැහැ. ඔවුන් හැරෙන්න සිංහලයන්ගෙ ඇඟේ තියෙන්නෙ චතුස්කෝටිකය. 


පරිගණකවලට තියෙන්නෙත් වෙන ම තර්කනයක්.  ලෝකයේ තියෙන සියලු අංශුවලට ගුරුත්වාකර්ෂණයක් නියම කළාට සියල්ලෙහි ප්‍රවාදයක් සංස්කරණය කරන්න බටහිර භෞතික විද්‍යාඥයන්ට බැහැ. අයින්ස්ටයින් අසමත්. අනෙක් විද්‍යාඥයන් ගැන මා කතා කරන්නෙ නැහැ. ලෝකයේ සියලු බැංකුවලට හරියන්න ප්‍රක්‍රමණ ලියන්න බැහැ. තොරතුරු තාක්‍ෂණය තියෙන්නෙ ඇරිස්ටෝටල්ගෙන් පිට. අපි ඉන්නෙත් ඇරිස්ටෝටල්ගෙන් පිට.   පහත සඳහන් වාක්‍ය කිහිපය සලකා ලබා ගන්න පුළුවන් අනුමානය මොකක් ද?


"නමුත් 2005 වසරේදී සොයා ගත්දෙයක් තමයි ප්ලූටෝ ග්‍රහවස්තුවට වඩා විශාල ග්‍රහ වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා කියන එක. ඒ අනුව සූර්යා වටා පරිභ්‍රමණය වන ග්‍රහ වස්තූන් වල විශාලත්වය අනුව ප්ලූටෝ කියන්නේ නවවැනි විශාලම වස්තුව නොව දස වැන්නයි. එම නිසා 2006 වසරේදී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් ප්ලූටෝ නිල වශයෙන් ග්‍රහලෝකයක් නොවන ලෙස වර්ගීකරණය කරනු ලැබේ. " 


ඔය කියන ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ මා ද සාමාජිකයෙක්. ප්ලූටෝ ග්‍රහවස්තුවක් බවත්  ග්‍රහලෝකයක් නොවන බවත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය තීරණය කර ඇති බවක් මා නම් දන්නෙ නැහැ. මේ අර ප්ලූටෝ කාටූනය ගැන කියැවෙන්නක් ද? මෙය චතුස්කෝටිකයකට එකඟ වන්නෙත් නැහැ. 


ඒ කොහොම වෙතත් චතුස්කෝටිකය ඇඟේ තියෙන සිංහලයන් මෙරට ඉන්නවා. ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත්‍රයේ අලුත් දේ සංස්කරණය කරන්න පුළුවන්. මා හිතනවා අපට සල්ලි ටිකක් හම්බ කර ගන්න පුළුවන් මේ ක්‍ෂෙත්‍රයේ කියල. එ ගැන ආණ්ඩුව සැලකිල්ලක් දක්වනවා නම් හොඳයි.