Main Logo

Thursday, 11 February 2021

උලෙළ උළෙල හා මිය(න්මා)

 

උලෙළ උළෙල හා මිය(න්මා)

 

බටහිර භෞතික විද්‍යාඥයකු වීමට නොහැකි වූ මා බටහිර වාග් විද්‍යාඥයකු නොවන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා බටහිර වාග් විද්‍යාවේ මළපොතේ අකුරක්වත් දන්නෙ නැහැ. මෙහි කියන දේ බටහිර වාග්විිද්‍යාවට එකඟ ද නැද්ද කියල දැනගන්නත් මට වුවමනාවක් නැහැ.  ඒත් මා හිතුවා මට හිතෙන විධියට උලෙළ ගැන වචනයක් දෙකක් කියන්න.  නිදහස් දින රාජ්‍ය උත්සවයෙ උලෙළ කියන එක උළෙල කියල ලියැවිලා තියෙනවා කියනවා. ඇත්ත වෙන්න ඇති. ඒත් මීට ඉස්සර අවරුදුවලත් එහෙම ලියැවිලා තියෙනවා. මා කියන්න හදන්නේ කලින් වැරැද්දක් කරල තියෙනව නම් මෙවරත් ඒ කරන්න පුළුවන් කියන එක නො වෙයි. කලින් වතාවල ඒ ගැන කතා නොකෙරුවෙ මොකද කියන එකයි මා අහන්නෙ.

 

මාත් න ණ ල ළ පාවිච්චිය ගැන විශාරදයෙක් නො වෙයි. මාත් වරද්දන අවස්ථා එමටයි. මට ඒ සම්බන්ධ නීති රීති පාඩම් කර මතක තබා ගැනීමේ හැකියාවකුත් නැහැ. මගේ මතකය දුර්වල බව මා කිහිප වතාවක් ම කියා ඇති. න ණ ල ළ වෙනස කවදා සිට සිංහල භාෂාවේ තියෙනවා ද කියන්නත් මා දන්නේ නැහැ. පැරණි සෙල්ලිපිවල න ණ ල ළ සඳහා වෙන ම රූප තියෙනවා ද කියන එක කවුරු හරි පුරා විද්‍යාඥයකු අපට කියල දෙනව නම් හොඳයි.

 

ශබ්දවලට තමයි රූප තියෙන්නෙ. සිංහලයෙ කලින් ෆ ශබ්දය තිබුණෙ නැහැ. ඉංගිරිසින්ගෙන් පස්සෙ වෙන්න ඕන ෆ ශබ්දය ඇතුල් වුණෙ. ඒකට දැන් රූපයක් තියෙනවා. න ණ ල ළ ශබ්දත් එහෙම ද දන්නෙ නැහැ. අපට ඤ ඥ ශබ්දත් ස ශ ෂ ශබ්දත් තියෙනවා. ඒ අතර ඟ ඳ ඬ ඹ නාසික ශබ්දත් තියෙනවා. එහෙම නැත්නම් ඒවට රූප තියෙනවා. අප කවුරුත් දන්නවා සමහර ශබ්ද උපදින තැන් අනුව දන්තජ, තාලුජ, මූර්ධජ කියල වර්ග කෙරෙනවා. දන්තජ ශබ්ද උපදින්නෙ දත් ඇසුරෙන්. තාලුජ තල්ල ඇසුරෙන්. මූර්ධජ මුදුණින්. මේ ඉපදෙන තැන් තීරණය වන්නෙ දිව ඇසුරෙන්. මේ ශබ්දවලට අමතර ව, ඝ ඛ භ වැනි ප්‍රාණාක්‍ෂරත් තියෙනව. ඒව හ ශබ්දය සමග බද්ධ වෙලා උගුර ඇසුරෙන් උපදින ශබ්ද. හ උපදින්නෙත් උගුර ඇසුරෙන්. තවත් ග්‍ර ක්‍ර බ්‍ර වගේ ශබ්දත් තියෙනවා ර ශබ්දය සමග බද්ධ වෙච්ච. බ ම ප ශබ්ද තොල් ඇසුරෙන් ඉපදෙන ඒව.  ව අමුතු ම ශබ්දයක්. ඒකට තොල් දත් දෙක ම ඕන. සෘ කියල ශබ්දයකුත් තියෙනවා. සෘණ කියන තැන. ඒත් දැන් ඒක නැහැ. දැන් තියෙන්නෙ පීසීආර් නෙගටිව්.  කලකට පෙර ඉලු කියල ශබ්දයක් තිබුණා. ඒ වගේ ම ලංකාව කියල ලිවුවෙ අර ඩ යන්න වගේ අකුරක් එක්ක. අදත් විද්‍යාලංකාර කියල ලියල තියෙන්නෙ ඒ අකුරත් එක්ක. අර යංශෙත් තියෙනවා. තවත් ශබ්ද ඇති. මේ වෙලවෙ මගේ හිතට එන්නෙ නැති.

 

සාමාන්‍යයෙන් ශබ්දයක් උච්චාරණය අනුව හඳුනගන්න පුළුවන්. ඒත් මේ සමහර ශබ්ද ෆ වගේ පිටින් ආපු ඒව. සාමාන්‍ය සිංහල මිනිසුන්ට ඒ ශබ්ද කරන්න බැහැ. උගතුන්ට පුළුවන්. උගතුන්ට ඕන මළ ජරාවක් පුළුවන්. සිංහලයන් ග්‍ර බ්‍ර බැරි නිසා ගිරිගෝරිස් බුරම්පි ආදී වශයෙන් ශබ්ද කළා. ප්‍රමුඛ කියන එක පරමුක වුණා. සෙල්ලිපිවල ගිරිගෝරිස් නම් නැතුව ඇති. ඒත් මගේ හිතේ පරමුකල ඉන්නවා.  සාමාන්‍ය කියන එක සාමාන්නිය වුණා. න ණ ල ළ උච්චාරණය අනුව හඳුනගන්න පුළුවන් අය ඉන්නවා. මට නම් බැහැ. ශ ෂ උච්චාරණය අනුව හඳුනගන්න පුළුවන් ද? මා කියන්නෙ සාමාන්‍ය සිංහලයකුට. ඒත් කාට හරි තර්ක කරන්න පුළුවන් අධ්‍යාපනයකින් පස්සෙ සාමාන්‍ය සිංහලයකුටත් උච්චාරණය අනුව න ණ ල ළ ස ෂ හඳුනගන්න පුළුවන් වේවි කියල.

 

උලෙළ කිව්වත් උලෙල කිවුවත් උළෙල කිවුවත් උළෙළ කිවුවත් එක ම විධියට නොවෙයි ඇහෙන්නෙ. ඒත් ඒ වෙනස හඳුනගන්න එක ලෙහෙසි නැහැ. කාට හරි අහන්න පුළුවන් මේ මොන ඉලවුවක් ද කියල. ඒක ඉලවුවක් ද ඉලව්වක් ද? ව් යන්න වූ අතර ඇති වෙනස මොකක් ද? වෙනසක් තියෙනව. ව් යන්නට උ යන්න එකතු වුණා ම තමයි වු හැදෙන්නෙ. ව් උච්චාරණයෙ දි තොල් දත් එක්ක එකතු වෙනවා, වු උච්චාරණයේ දි තොල් උල් වෙනවා. කාගෙ වගේ ද කියල අහන්න එපා.

 

ඇට නැති දිව ඕන අතකට නවන්න පුළුවන් කියල කතාවක් තියෙනවා. දිවේ ඇට තිබුණ නම් ඔය ශබ්ද හුඟක් නැති වෙන්න තිබුණා. අර දන්තජ තාලුජ මූර්ධජ නම් කරල තියෙන්නෙ දිව ගිහින් වැදෙන තැන් අනුව. ම ව ප වගේ ශබ්දවල දි නැත්නම් හ ශබ්දයෙ දි දිව පොඩි විවේකයක් ගන්නව. දිවට ඇට නැති වුණාට දිවට ඕන ඕන තැන්වල හිතුමතේට ගිහින් වැදෙන්න බැහැ. සමහර කොන්දේසි තියෙනවා. මේ කොන්දේසි වැදගත් වෙනවා.

 

අපි තාලුජ ගැන කතා කළත් සිංහලේ තාලුජ ශබ්ද වැඩිය නැහැ. ශ ශබ්දය ඉන් එකක් වෙන්න ඕන. ශ තාලුජ ද මුර්ධජ ද කියල අහන්නත් බැරි නැහැ. සාමාන්‍ය සිංහලයාට නම් ශබ්දය කියන වචනෙ නැහැ. ඔහුට තියෙන්නෙ සද්දෙ. සමහරු මේ දවස්වල සද්දෙ වහලා. ඒකත් අලුත් ව්‍යවහාරයක්. ඒක අළුත් ව්‍යවහාරයක් වෙන්නෙ නැත්තෙ ඇයි?  අළු ගා ගන්න පුළුවන්. 

 

යම් ශබ්දයක් නිපදවීම සඳහා දිව ගිහින් වැදෙන තැන් බොහෝ විට තීරණය වෙන්නෙ අදාළ වචනයෙ ඊට පෙර ශබ්දය හා පසු ශබ්දය (එසේ ඇත්නම්) අනුව. එය බොහෝ විට මිසක් හැම තිස්සෙම නො වෙයි. අපි අලුත් කියන වචනය හා අළු කියන වචනය ගමු. අළුත් කියල කියන්න පුළුවන් ද බලන්න. ඒ් වචනයෙ අ ශබ්දයෙන් පස්සෙ ළු ශබ්ද කරල ඒ එක්ක ම දිව දත් ගාවට ගේන එක අමාරුයි. මා කියන්නේ බැහැ කියන එක නොවෙයි. උත්සාහයක් දැරුවොත් බැරි නැහැ. ඒත් ඒක ස්වයංක්‍රීය ව (තවම වචනයක් නැති කමට) සිද්ධ වෙන්නෙ නැහැ. ඒත් අලුත් කියල ශබ්ද කරන එක අපහසු නැහැ. අනෙක් අතට අළු කියල නවතින ව නම්, අළු කියන එක අලු කියන එකට වඩා පහසුයි.

 

මෙතන දි එක් කරුණක් පැහැදිලි කර ගන්න ඕන. වචනයක් කියන එක, එක දිගට කියැවෙන ශබ්ද සමූහයක් හැටියටයි සලකල තියෙන්නෙ. අළු වචනය ශබ්ද සමූහයක්. ඉන් පස්සෙ තව ශබ්ද සමූහ එන්න පුළුවන්. අළු ගා ගන්නවා කියන්න පුළුවන්. එහි අළු හා ගා අතර සුළු හරි ඉඩක් තියෙනවා. ඒ නිසයි අළු කියන වචනය හා ගා අතරත් අලුත් කියන වචනයෙ අලු හා ත් අතරත් ඇති වෙනස. ත් ශබ්දය අලු සමග ම කියැවෙනවා. අළු ගා ගන්නව කිව්ව ම අළු හා ගා අතර පොඩි හරි ඉඩක් තියෙනවා. අලුවා කිව්වොත් කොහොමද?

 

සාමාන්‍යයෙන් ර ශබ්දයට පස්සෙ න ශබ්දය එන්නෙ නැහැ. ර උච්චාරණය කරන විට දිව උඩට යනවා. එතන ඉඳන් න කියන්න දිව දත් ගාවට ගේන එක ලෙහෙසි නැහැ. ඒත් දිව උඩ ම තියාගෙන ණ කියන්න පහසුයි. රණබිම, රණවිරු, තොරණ ආදී ශබ්ද සමූහ හැදෙන්නෙ එහෙමයි. රණවක , පරණවිතාන එක වගේ.

 

ඒත් මේ කොන්දේසි හැම තැන ම හරියන්නෙ නැහැ. ම ශබ්දයෙන් පස්සෙ ල කියන්නත් ළ කියන්නත් අමාරු නැහැ. ඒ නිසා මල මළ දෙක ම වෙන්න පුළුවන්. වල වළ, තන තණ ඒ වගේ. ඒ තැන්වල දි සන්දර්භය තමයි පිහිටවෙන්නෙ. ඒත් ල ළ න ණ යෙදෙන්නෙ කොහොම ද කියල කලින් දැන ගෙන ඉන්න ඕන. දිව හරව හරවා තීරණය කරන්න බැහැ. මෙතන දි කාට හරි පොඩි ප්‍රශ්නයක් තියෙන්න ඇති. කරන්න කියන තැන ර යන්නට පස්සෙ ණ් යෙදෙන්නෙ නැත්තෙ මොකො ද? අපි කලින් කිව්වෙ  ර යන්නට පස්සෙ ණ කියල. ර කියල දිව යන්නෙ ණ ශබ්දයට මිසක් න ශබ්දයට නො වෙයි. ඒත් රන් කියන කොට දිව යන්නෙ න් වෙත මිසක් ණ් වෙත නොවෙයි.

 

මෙතන දි ං ගැනත් කියන්න ඕන. න් ණ් ං සමානකම් තියෙනවා. ඒත් වෙනස්කම් වැදගත්. ලංකාව ශබ්ද කරන්න. ඒක ලන්කාව වත් ලණ්කාවවත් නො වෙයි. උගුරත් එක්කයි සම්බන්ධ වෙන්නෙ. ඉස්සර හෝඩියෙ අං කියල තිබුණෙ මේ ං ශබ්දය.

 

නාසික ගැනත් වචනයක් කියන්න ඕන. ඟ ඳ ඬ, න් සමග එකතු වෙන්නෙ . ඹ එකතු වෙන්නෙ ම් සමග. ඒ ඒ භාෂාවෙ ඒ නාසික එකතු වෙන විධියත් වෙනස් වෙනවා. සිංහලයෙ ජ සමග සම්බන්ධ නාසිකයක් නැහැ. ඒත් අර ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක සංජෙ මංජෙර්කාර්ගෙ භාෂාවෙ නාසිකය ජ සමග සම්බන්ධයි. අපට මංජෙර්කාර් කියල හරියට කියන්න බැහැ.

 

මට දැනට තේරෙන විධියට මියන්මාරය කියන එක වැරදියි. මෙහි මා යන්න නාසිකයක්. න්මා යන්න නාසික මා. සිංහලයෙ එහෙම එකක් නැහැ. මෙහෙ අය මිය(න්)මා කියල කියන වගෙයි මට ඇහෙන්නෙ. අපි ඉතින් සුද්දො වගේ මියන්මාර් සිංහල කරල මියන්මාරය කියල කියනවා.

 

මේ සියල්ල මගේ වැඩ කරන්නෙ නැති හිතළු වෙන්න ඇති. එතකොට අර උලෙළ. දිව නැවෙන්නෙ උලෙළ කියන්න ද උළෙල කියන්න ද?