Main Logo

Saturday 20 February 2021

ඩග්ලස් දේවානන්දගෙ උදාන වාක්‍යය

 

ඩග්ලස් දේවානන්දගෙ උදාන වාක්‍යය

 

පසුගිය දහහත්වැනි දා ඩග්ලස් දේවානන්ද තරමක අමුතු කතාවක් කියල. ඔහු දේශපාලනඥයෙක් නිසා මූලික ව ඔහු කියන දෙය ඒ හැටියෙන් ම විශ්වාස කරන්න බැහැ. අර කතාවක් තියෙන්නෙ තාර බර ඇරල ගන්න ඕන කියල. දේවානන්දගෙ ප්‍රකාශයෙ කොටස් දෙකක් තියෙනවා. මේ ගැන යම් ප්‍රකාශයක් ආණ්ඩුව කරන්න ඕන. දේවානන්ද කියන්නෙ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඇමතිවරුන් වන්නෙත් දේශපාලනඥයන් වුණත් ඇමතිවරුන්ගෙ ප්‍රකාශවලට වැඩි බරක් තියෙනවා.

 

දේවානන්ද මේ ප්‍රකාශය කරන්නෙ දෙමළ ජනයාට වෙන්න පුළුවන්. ඔහුට අවසාන වශයෙන් දෙමළ ජාතික සංධානයත් සමග තරගයක් තියෙන්නෙ. දේශපාලනඥයන් තම තමන් අතර තියෙන තරගවල දි ජනතාවට ඇඟවෙන්න, ඒත්තු ගන්නන්න ම නොවෙයි, විවිධ කතා කියනවා. දේවානන්දගෙ ප්‍රකාශය ඊයේ (දහනවවැනි දා) දි අය්‍රිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තිබුණා. ඒ ප්‍රකාශයෙ මුල් කොටසෙ මෙහෙම දෙයක් තිබුණෙ.

 

“Fisheries Minister Douglas Devananda on Wednesday (17) claimed that the Northern Province had been granted land powers in terms of the 13th Amendment to the Constitution.

The NP consists of administrative districts of Jaffna, Kilinochchi, Mullaitivu, Mannar and Vavuniya.

Devananda said that in spite of the absence of consensus among SLPP constituents as regards devolution of power, the government was committed to the Provincial Council system.”

මෙයින් කියැවෙන්නෙ දහතුන්වැනි සංශෝධනයෙ ප්‍රකාර ව උතුරු පළාතට ඉඩම් බලතල දීල කියන එක. ඒ වගේ ම ඔහු කියනවා ශ්‍රී ල පොදු ජන පෙරමුණ සෑදුම්ලත් කොටස්වල බලය බෙදීම ගැන පොදු එකඟත්වයක් නැති වුවත් ආණ්ඩුව පළාත්සභාවලට කැපවෙලා කියල. දේවානන්ද ශ්‍රී ල පොදු ජන පෙරමුණ කියල හිතන් ඉන්නෙ අර ජී එල් පීරිස් සභාපති වුණු සාගර කාරියවසම් ලේකම් වුණු පක්‍ෂය නොව ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය ඇති සංධානය බවයි මේ ප්‍රකාශයෙන් කියැවෙන්නෙ.  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ නායකයා මහින්ද රාජපක්‍ෂ, සංධානයෙ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. සංධානය තම නායකයාගෙ ප්‍රධානත්වයෙන් සති දෙකකට වරක් රැස්වෙන්න තීරණයක් අරගෙන. එය තමයි කළ යුතු ව තිබුණෙ. පහුවෙලා හරි එහෙම රැස්වෙන එක හොඳයි.

 

අද ආණ්ඩු කරන්නෙ සංධානය මිසක් පොදු ජන පෙරමුණ නො වෙයි. ඒ බව බොහෝ දෙනා තේරුම් ගෙන නැහැ. දේවානන්ද ඒක තේරුම් ගෙන තියෙනවා. ඒත් සංධානයට ඔහු කියන්නෙ ශ්‍රී ල පොදු ජන පෙරමුණ කියල. දැන් මීට පස්සෙ සංධානය සති දෙකකට වරක් රැස්වෙන නිසා දේවානන්දට මේ පළාත්සභා ප්‍රශ්නය හා ඉඩම් බලතල එහි දී දීර්ඝ ව සාකච්ඡා කරන්න පුළුවන්. දේවානන්ද උතුරු පළාතට දීල තියෙන ඉඩම් බලතල කියන්නෙ මොනව ද කියල හරියට ම අපි දැන ගන්න ඕන.

 

දේවානන්ද තම ප්‍රකාශයෙ දෙවැනි කොටසෙ මෙහෙම දෙයක් කියනවා. "NP Land Commissioner had received powers enjoyed by his counterparts serving in other provinces, Minister Devananda said emphasizing that the latest development proved the post-war reconciliation process was a success. The Tamil public would positively respond to the government stand. The NP Land Commissioner was now authorized to issue an entire range of permits pertaining to land matters, he said.

Devananda, who is the General Secretary of the Jaffna-based Eelam People’s Democratic Party (EPDP) pointed out that the likes of Public Security Minister retired Rear Admiral Sarath Weerasekera publicly opposed the devolution of power."

මෙතැන දි දේවානන්ද කියන්නෙ උතුරු පළාතෙ ඉඩම් කොමසාරිස්ට දිවයිනේ අනෙක් පළාත්වල ඉඩම් කොමසාර්ස්වරුන් සතු බලතල ලැබී ඇති බව. ඔහු තව දුරටත් කියන්නෙ උතුරු පළාතෙ ඉඩම් කොමසාරිස්ට ඉඩම් සම්බන්ධ කරුණු ගැන බලපත්‍ර පූර්ණ පරාසයක නිකුත් කිරීමට බලය පැවරී ඇති බවයි. සරත් වීරසේකර බලය විමධ්‍යගත කිරීමට ප්‍රසිද්ධියේ විරුද්ධ බව කීමටත් දේවානන්ද අමතක කරන්නෙ නැහැ. වීරසේකර විතරක් නොවෙයි සිංහල ජනතාවගෙන් ඉතා විශාල බහුතරයක් ඊනියා බලය විමධ්‍යගත කිරීමට විරුද්ධයි. අවශ්‍ය නම් ජනමතවිචාරණයක් පවත්වමු.

 

ඒ කුමක් වුණත් ඩග්ලස් දේවානන්දගෙ ප්‍රකාශය ගැන ආණ්ඩුව දරන මතය ප්‍රකාශ කරන්න ඕන.  දේවානන්දත් පැහැදිලි ව යමක් කියන්නෙ නැහැ. ඔහුට අනුව මේ වන තුරු උතුරු පළාත හැරෙන්න අනෙක් පළාත්වලට මෙතෙක් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ව ඉඩම් බලතල ලැබිල තියෙනවා. දැන් උතුරටත් ඒ බලතල හිමි වෙලා. මෙහි දී පැහැදිලි කර ගන්න ඕන ප්‍රධාන කාරණය මෙතෙක් අනෙක් පළාත්වල දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ව ඉඩම් බලතල ක්‍රියාත්මක වුණා ද කියන එක. අප දන්නේ නම් දහතුනේ සඳහන් ඉඩම් හා පොලිස් බලතල කිසිම පළාතක ක්‍රියාත්මක නො වූ බවයි. ඉඩම් බලතල සම්බන්ධ නඩු තීන්දුවක් තියෙනව දහතුන ප්‍රකාර ව ක්‍රියාත්මක කිරීමට බැහැ කියල.

 

දෙවනුව දැන ගන්න ඕන කාරණය තමයි මේ උතුරට දීල තියෙනව කියන ඉඩම් බලතල මොනව ද කියන එක. එ දහතුන ප්‍රකාරව ද? දහතුන නැතත් මෙරට ඒ ඒ පළාත්වල ඉඩම් කොමසාරිස්වරු ඉන්නව. ඔවුන්ට දහතුන නැතත් යම් බලතල තියෙනවා. අපට දැන ගන්න ඕන දැන් ඉඩම් කොමසාරිස්වරුන්ට දහතුන්වැනි සංශෝධනය ප්‍රකාර ව බලතල දීල තියෙනවා ද? ඒ මොනවා ද? එසේ බලතල දී ඇත්නම් ඒ කවර දිනක ද?