Main Logo

Friday 26 February 2021

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තෝ

 

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තෝ

 

ශ්‍රී ල නි පක්‍ෂය පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව ප්‍රතික්‍ෂෙප කිරීමට තීරණය කරලා.  ඒ පක්‍ෂයේ කිසිවකු හරි කිහිප දෙනකු එකතු වී හරි සම්පූර්ණ වාර්තාව කියවන්න ඇති. රනිල් නම් වාර්තාව ප්‍රතික්‍ෂෙප කරපු බවක් කියල නැහැ. අඩු තරමෙන් දැනට වාර්තා වෙන්නෙ නැහැ. වාර්තාවෙන් මෛත්‍රිපාලට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කරන්න කියල තියෙන නිසා ද ශ්‍රී ල නි පක්‍ෂය වාර්තාව ප්‍රතික්‍ෂෙප කරන්නෙ. නැහැ එහෙම නොවෙයි මෙහෙමයි කියල ශ්‍රී ල නි පක්‍ෂය උත්තර බැඳල.  කොහොමත් මේ කොමිසම පත් කරනු ලැබුවෙ මෛත්‍රිපාල විසින්. ශ්‍රී ල නි ප කියන්නෙ කොමිසම පත් කෙරුවෙ එකකට වාර්තාව තවත් එකකට කියල. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වාර්තාවක් කියලයි කියන්නෙ.

 

ශ්‍රී ල නි පක්‍ෂය හිතන්නෙ මේ වාර්තාව යම් අයකුගේ අවශ්‍යතාව මත මෛත්‍රිපාල සිරගත කිරීමට ලියපු එකක් කියල. මෛත්‍රිපාල සිරගත කළා ය කියල කිසිවකුටවත් දේශපාලන වාසියක් ලැබෙන්නෙ නැහැ. ඔහුගෙ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන්න තරම් ඔහු අද කිසිවකුටවත් තර්ජනයක් නො වෙයි. මා හිතන්නෙ නැහැ ඔහු වටා ජනතාව සංවිධානය කරන්න පුළුවන් කියල.

 

අනුර කුමාර සහ තවත් අයගෙ ප්‍රජා අයිතිවාසිකම් නැති කරන්න යනව කියලත් ජ වි පෙ ඉලන්දාරි ටික ලොකු කතාවක් ගෙනි යනවා. අනුර වගේ අය දේශපාලනයෙ කාට තර්ජනයක් ද? අර සියේට තුනේ පඬි නැට්ටන් ඇතුළු වමාලට නම් ජ වි පෙ දේශපාලනයෙ වැදගත් බලයක් වෙන්න පුළුවන්. ඔය ජ වි පෙරමුණට ඔහොම තියෙන්න ඇරිය ම සියේට ගණන ටික ටික අඩුවෙලා යාවි.

 

මෛත්‍රිපාල ඡන්දයෙන් ජනාධිපති වුණ එක ඇත්ත. ඒ වගේ ම ඔහු 2018 ඔක්තෝම්බරයෙ දි වෙන කිසිවකු නොකරන දෙයක් කරමින් රනිල් ව්‍යවස්ථානුකුල ව අගමැතිකමෙන් පහ කිරීමෙන් තමන් එඩිතර තීරණ ගැනීමට හැකි පුද්ගලයකු බව පෙන්නුව එකත් ඇත්ත. ඒත් ඔහුට ජනතාව ආකර්ෂණය කරන්න බැහැ. ඔහු ජනාධිපති වුණෙ ජනතාවට මහින්ද රාජපක්‍ෂට පාඩමක් උගන්වන්න අවශ්‍ය වෙලා තිබුණ නිසා පමණයි. මෛත්‍රිපාලට එදා ශ්‍රි ල නි පක්‍ෂයෙන් යන්න සලස්සපු එකත් වැරදියි.

 

වාර්තාවෙ රනිල් ගැන බොහොම ලාවට සඳහන් වෙන්නෙ. ඒ රනිල්ගෙ දක්‍ෂකම.  ඒ දක්‍ෂකම ලැබෙන්නෙ කොහොමද කියන එක මා කියන්නෙ නැහැ. මුස්ලිම් අන්තවාදය පැතිරවීමේ දී ඔහුගෙන් යම් අක්‍රීය දායකත්වයක් ලැබිල තියෙනවා. ඒ වගේ ම ඔහු රාජ්‍ය නායක නොවූවත් අගමැති. රජයේ එක් පාර්ශ්වයක නායකයා.

 

පාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණ කියල වාසුත් කියනව. ඒ කුමන අසම්පූර්ණත්වයක් ද කියල හරිහැටි කියල තිබුණෙ නැහැ. එහෙත් කොමිසමෙන් කිසිවකු බලාපොරොත්තු වුණා නම් ජාත්‍යන්තර සම්බන්ධකම් හොයන්න ඒක කඩ කර ගන්න වෙනවා. පාස්කු ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර සම්බන්ධතා අතර බෝන් අගේන්, චීන නව සේද මාර්ගය ආදියත් තියෙනව කියල පේනවා. ඉන්දියාවටත් මෙහි කොටසක් නැතිව නොවෙයි. ඒ වගේ ම සිංහලයන් කුපිත කරල මුස්ලිමුන්ට ප්‍රහාරයක් එල්ල කරවීමත් තිබුණ.

 

ඒත් ජාත්‍යන්තරයට මැදිහත් වෙන්න ඉඩ ලබා දුන්නෙ ඊනියා යහපාලන ආණ්ඩුව. ඒ ආණ්ඩුව හැම මට්ටමක ම දෙකට බෙදිල හිටියෙ. පොලීසිය හමුදාව බුද්ධි අංශය හැම තැනම දෙකට බෙදිල. ඒ දෙපැත්තෙ නායකයො රනිල් හා මෛත්‍රිපාල. රනිල්ගෙ මොකක්ද දක්‍ෂකමකට ඔහු වැරදිකාරයකු ලෙස නම් කෙරෙන්නෙ නැහැ.    

 

ලංකාවෙ මුස්ලිම් ප්‍රශ්නය දෙමළ ප්‍රශ්නයටත් වඩා ජාත්‍යන්තරකරණීයයි. ලෝකයේ ක්‍රිස්තියානි රටවල් එක් පැත්තකින් බැඳිල. මුස්ලිම් රටවල් අතරත් යම් බැඳීමක් තියෙනවා. කතෝලිකයන් අතරත් යම් ජාත්‍යන්තරයක් තියෙනවා. කාදිනල්තුමා යුක්තිය ඉටු නොවුණොත් තම ජාත්‍යන්තරයට යෑමට කටයුතු කරන බව තර්ජනාත්මක ව කියනවා. එතුමාට බෝන් අගේන් ප්‍රශ්නයක් තියෙනවා.

 

මේ ආණ්ඩුවෙත් පාර්ශ්ව දෙකක් තියෙනව. සමහර දිනවල උදේ ගන්න තීරණ හවස් වෙන කොට වෙනස් වෙනවා. මුස්ලිම් ප්‍රශ්නයේදීත් එහෙමයි. මුස්ලිම් දේශපාලනය අභ්‍යන්තර ව මෙන් ම බාහිර ව ද ඩීල් දේශපාලනයක්. මා හිතන්නෙ නැහැ ජනාධිපති ගෝඨාභය ඩීල් දේශපාලනයක ඉන්නවා කියල. ඒත් ඉන්න අය ගැනත් කියන්න පුළුවන්. අද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්න මුස්ලිම් මන්ත්‍රී ඡන්ද අවශ්‍යයි. ඒ අතර ජෙනීවා මානව හිමිකම් මණ්ඩලයෙ අර රටවල් හයේ යෝජනාව පරාජය කිරීමට මුස්ලිම් රටවල ඡන්දය අවශ්‍යයි.  ඒ සඳහා නොයෙකුත් කප්පන් දෙන්න සමහරු සූදානම්.

 

ජෙනීවාහි අප පැරදුණා කියල අප නැති වෙන්නෙ නැහැ. ඉන්දියාව අපට පක්‍ෂ වෙන එකක් නැහැ. ජෙනීවාහි පැරදුණත් නිව්යෝක්හි අපට විරුද්ධ ව කිසිවක් කරන්න බැහැ. වැඩිම වුණොත් රටවල් කිහිපයක් ආර්ථික සම්බාධක තනි තනිව පනවාවි. ජෙනීවාහි දිනීම අපේ අරමුණක් වෙන්න ඕන නැහැ. අප අර කොමසාරිස්වරියට හොඳ පිළිතුරක් දීල තියෙනවා. එය තවත් සැරෙන් කිවුව නම් හොඳය කියා හිතෙනවා.

 

යහපාලන ආණ්ඩුව අසමත්. ඒ ගැන කතා දෙකක් නැහැ. පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තරය වගේ ම සමස්ත යහපාලනයත් වග කියන්න ඕන. එයට ප්‍රධාන හේතුව ඒ ආණ්ඩුවේ බෙදීම. අවාසනාවකට මේ ආණ්ඩුවේත් බෙදීමක් තියෙනව. ඒ බෙදීම වහාම නැති කර ගන්න ඕන. එහි දී ප්‍රතිපත්ති මිස ඩීල් අවශ්‍ය නැහැ.  සිංහලයන් මේ ආණ්ඩුව පත්කර ගත්තෙ තමන්ට අවුරුදු පන්සීයක් තිස්සෙ සිදුවන අසාධාරණය නැති කර ගන්න. ඊනියා උඩරට නීතිය කියල හඳුන්වන සිංහල නීතිය අනුව ප්‍රධාන වශයෙන් රට කරවන්න. පෘතුගීසීන් එන්න කලින් මුළු ලංකාවෙ ම තිබුණෙ අද උඩරට නීතිය කියල හඳුන්වන නීතිය. ඒ සිංහල නීතිය උඩරට නීතිය කියල නම් කෙරුවෙ ඉංගිරිසින්. අවුරුදු දෙසීයකට කලින් තිබුණ සිංහල නීතිය අද ඒ විධියට ම ක්‍රියාත්මක කරන්න බැරි බව අප දන්නවා. අපට රෝම ලන්දේසි හා ඉංගිරිසි නීතිත් අවශෝෂණය කර ගන්න වෙනවා. එහෙත් ඒ දෙවනු කී නීති නිසා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වන අසාධාරණකම් නම් නැති කරන්න ඕන.