Main Logo

Sunday 28 February 2021

යහපාලනයෙ වැරදිවලට මේ ආණ්ඩුව දොස් අහන්නෙ ඇයි?

 

යහපාලන වැරදිවලට මේ ආණ්ඩුව දොස් අහන්නෙ ඇයි

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාවේ ගන්න කිසිම දෙයක් නැද්ද? අද ඒ ගැන විවිධ දේශපාලනඥයන් කරන ප්‍රකාශවලින් නම් කියැවෙන්නේ එය කුණු කූඩයට දැමිය යුතු බවක්. ඒ වාර්තාව අසම්පූර්ණයි. මා හිතන්නෙ නැහැ කිසිම වාර්තාවක්, ලියවිල්ලක් සම්පූර්ණය කියා. ඕනෑම දැනුමක් ගැන යමක් එක්කෝ එකතු කරන්න පුළුවන් නැත්නම් එයින් යමක් අඩු කරන්න පුළුවන්. බුදුදහම ගැන පමණයි එසේ කිරීමට බැරි. ඒ එහි දැනුම නොදැනුම කරන නිසා. එයට එකතු කරන කොටස් අඩු කරන කොටස් අර වාද මේ වාද ඇති වන්නේ බුදුදහම දැනුමක් කර ගත් බ්‍රාහ්මණයන් හා ඔවුන් අනුගමනය කරන පුන නූල නැති චූල බ්‍රාහ්ණයන් නිසා.

 

පාස්කු ප්‍රහාර කොමිසමෙන් එක් එක් අය එක් එක් දේ බලාපොරොත්තු වන්න ඇති. ඒ බලාපොරොත්තු දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මේ ප්‍රහාරය පිටුපස සිටියේ කවුද? ඒ සහාරාන් නොවන බව නම් බෝම්බ පුපුරවපු දවසෙ ඉඳල ම දැන හිටියා. සහාරාන් පිටුපස එක් පුද්ගලයකු සිටියා ද? රටක් සිටියා ද? රටවල් කිහිපයක් සිටියා ද? ව්‍යාපාරයක් තිබුණා ද?  ආදී ප්‍රශ්න වැළක්. ඒ හා සම්බන්ධ වූ අනෙක් ප්‍රශ්න තමයි ඒ පිටුපස සිටියවුන්ගේ අරමුණ කුමක් ද? ඔවුන් කුමක් බලාපොරොත්තු වුණා ද ආදිය. මා හිතන්නේ නැහැ කොමිසම ඒ ප්‍රශ්නවලට අත ගැහුවා කියලා.

 

බලාපොරොත්තුවල දෙවැනි කොටස තමයි පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක වුණෙ කුමක් නිසා ද? ඒ වළක්වාගැනීමට නොහැකි වූයේ ඇයි ද? ආදී කරුණු සම්බන්ධ ප්‍රශ්න. බෝම්බ පිපිරෙව්වේ කවුද යන්නත් ඒ ගැන දැන සිටි අය කවුද යන්නත් මේ දෙවැනි කොටසේ උප කොටස් ලෙස සලකන්න පුළුවන්. මා එයින් අදහස් කරන්නේ බෝම්බ පිපිරවීමට චක්‍ර ව හෝ සෘජුව හෝ සම්බන්ධ වූ අය කවුද කියන එක. සහාරන්ට බෝම්බ පිපිරවීමට උදවු කළ අය කවු ද?

 

මා හිතන්නේ බලාපොරොත්තුවල මේ දෙවැනි කොටසට නම් යම් පිළිතුරක් පාස්කු කොමිසම් වාර්තාවෙන් ලැබී ඇති බවයි. පළමු කොටසට පිළිතුරු නැහැ කියා අප දෙවැනි කොටසත් විසි කර දානවා ද? මෙරට දේශපාලනඥයන් යම් පිරිසක් මේ දෙවැනි කොටසෙන් චෝදනා ලබනවා. පළමු කොටසට පිළිතුරු නැති නිසා වාර්තාව ප්‍රතික්‍ෂෙප කිරීමෙන් සිදු වන්නේ දෙවැනි කොටසේ චෝදනා ඉදිරිපත් කළ යුතු යැයි නිර්දේශ කෙරෙන්නන්  කිසිම පරීක්‍ෂණයකින් තොර ව නිදහස් වීමයි.

           

කොමිසමකින් නිර්දේශ  කළ පමණින් නීතිපති චෝදනා අමුණන්න ඕන නැති වෙන්න පුළුවන්. නීතිපති පොලීසිය මත රඳා පවතිනවා වෙන්න පුළුවන්. ඒ කුමක් වුණත් කොමිසමේ නිර්දේශ නොසලකා හරින්න බැහැ. කොමිසම් වාර්තාව මුළුමනින් ප්‍රතික්‍ෂෙප නොකර ඒ මත පදනම් ව කළ යුත්තේ කුමක් ද කියා හිතා බලන්න ඕන. මා හිතන්නෙ අර ඇමති අනුකමිටුවෙන් ඉටුවිය යුත්තේ එය කියායි. එසේ නොමැති ව වාර්තාව මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීම අනුවණ කමක්. එමෙන් ම එම කමිටුවෙන් හොයල බලන්න ඕනෙ මුස්ලිම් දේශපාලනඥයන්ට චෝදනා නැත්තෙ මොකද කියන එකත්  රනිල්ට බොහොම ලාවට චෝදනා තියෙන්නෙ මොකද කියන එකත්.

 

පාස්කු ප්‍රහාරය ගැන මුස්ලිම් දේශපාලනඥයන් කිසිම දෙයක් දැන සිටියෙ නැද්ද? මුස්ලිම් අන්තවාදයක් පැතිරෙනව කිවුවම රනිල් ඒ බව විශ්වාස කළෙ නැත්තෙ ඇයි? ඇමති අනු කමිටුව පත් කළ විගස එයට බොහෝ අය විරුද්ධ වුණත් එයට කළ හැකි වැඩ කොටසක් තියෙනවා. ඇමති අනු කමිටුව දැන් ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?

 

දෙමළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිවකු ඇහුවෙ නැහැ ප්‍රභාකරන් පිටුපස හිටියෙ කවුද කියල. ඒ මොකද කියන එක ප්‍රශ්නයක්. දෙමළ ත්‍රස්තවාදය පමණක් නොව දෙමළ ජාතිවාදය පිටුපස ම එංගලන්තය හා ඉන්දියාව හිටි බව අප කාලයක ඉඳල ම කියනවා. අදත් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නෙ ඒ රටවල් මගිනුයි. එයට අමතර ව මෙරට විවිධ ක්‍රිස්තියානි සභාත් දෙමළ ජාතිවාදයට ආධාර කළා. ඇතැම් කතෝලික පූජකවරු දෙමළ ජාතිවාදයට එළිපිට ම ආධාර කළා. අර ලංකා සභාවෙ ප්‍රධානියා වූ කෙනත් ප්‍රනාන්දු බිෂොප්තුමා ප්‍රභාකරන්ගේ මානුෂිකත්වය ගැන චරිත සහතික දුන්න. විවිධ පෞද්ගලික හේතු නිසා සිංහල බුද්ධාගමට විරුද්ධ පඬි නැට්ටන් ද දෙමළ ජාතිවාදය වෙනුවෙන් කතා කළා.

 

හැමෝම වගේ කතා කෙළෙ සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳ ගන්න. ඒත් ප්‍රශ්නය මොකක් ද කියල කවුරුන්වත් කිවුවෙ නැහැ. කොහොමත් එංගලන්තයෙන් ආධාර හා අනුග්‍රහ ලබපු කොටි නන්දිකඩාල් කලපුවේ දි පරාද වුණා. එංගලන්තෙට ඒක දරා ගන්න බැහැ. බටහිරයන් ඇුතැම් විට ත්‍රස්තවාද ඇති කරල ඒ පරාද කරන කොට ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. එංගලන්තය ජෙනීවාහි අපට විරුද්ධ ව රටවල් කිහිපයක් අල්ල ගෙන ඊනියා මානව හිමිකම් කඩකිරීම් ගැන කියන්නෙ තමන් ආධාර කළ ප්‍රභාකරන් සුරතලා පරාජය කිරීම විඳ දරා ගන්න බැරුව. මෙරට බොහෝ දෙනා එක්කෝ ඉන්දියාවට නැත්නම් එංගලන්තයට පක්‍ෂපාතියි. 

 

දෙමළ ජාතිවාදය පිටුපස හිටියෙ කවුද කියල ඇහුවෙ නැති අයත් පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නෙ කවුද කියල අහන එක හොඳයි. ඒක හොයා ගන්න ඕන. අප නම්් එය සාකච්ඡා කරල තියෙනව. ඒත් එංගලන්තෙට හරි ඉන්දියාවට හරි බය පක්‍ෂපාත අය ඒ පිළිගන්නෙ නැහැ.

 

පාස්කු ප්‍රහාරය ගැන දැන ගෙන හිටි අය ඒ බව කියන එකක් නැහැ. කොමිසමට සහාරාන් පිටුපස සිටි අය හොයා ගන්න බැරි වුණත් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි අය ගැන දැන ගන්න තිබුණා. ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් මෛත්‍රිපාලත් රනිලුත් වග කියන්න ඕන. ඊනියා යහපාලන ආණ්ඩුව පොදුවේ වග කියන්න ඕන. ඒත් අද කෙරෙන කතාවලින් පේන්නෙ මේ ආණ්ඩුව වග කියන්න ඕන වගේ දෙයක්. ප්‍රහාරය සිද්ධ වුණෙත් විවිධ සතපහකට වැඩක් නැති පරීක්‍ෂණ කෙළෙත් අවසානයෙ පාස්කු කමිටුව පත් කෙළෙත් ඊනියා යහපාලනෙන්. ඒත් දොස් අහන්නෙ මේ ආණ්ඩුව. ඒක නම් ප්‍රශ්නයක්.    ඒකට වග කියන්න ඕනෙ කවුද? ජනාධිපති නම් වෙන්න බැහැ.