Main Logo

Sunday 14 February 2021

ඉන්දියාවේ හා ලංකාවේ මැකෝලිගේ දරුවෝ්



 
ඉන්දියාවේ හා ලංකාවේ මැකෝලිගේ දරුවෝ් 


තොමස් බැබින්ටන් මැකෝලි ඉපදිල තියෙන්නෙ 1800 ඔක්තෝම්බර් 25 වැනි දින එංගලන්තයේ ලෙස්ටර්ෂයර් කියන කෝරලයේ. එහෙත් ඔහුගේ පියා ස්කොට් ජාතික සම්භවයක් ඇත්තෙක්. මැකෝලි ඉංගිරිසි ලිබරල්වාදියකු ලෙසයි කියැවෙන්නෙ. ඔහු එකල තිබු විග් පක්‍ෂයේ සාමාජිකයෙක්. ටෝරි පක්‍ෂයට විරුද්ධයි. ටෝරි පක්‍ෂය පසු කලෙක කොන්සර්වෙටිව් පක්‍ෂය බවට පරිවර්තනය වුණා. විග් පක්‍ෂය ලිබරල් පක්‍ෂය වී කම්කරු පක්‍ෂය ඇති වීමෙන් පසු දුර්වල වුණා. 


මැකෝලි ගැන  ඉතිහාසඥයකු ලෙසත් කියැවෙනවා. ඒ කොහොම වුණත් ඔහු ඉතිහාසගත පුද්ගලයෙක්. ඒ විශේෂයෙන් ම මැකෝලිගේ දරුවන් නිසා. එය ඉන්දියාවේ ව්‍යවහාර වන යෙදුමක්. ඉන්දියාවේ පාලනය පැවතියේ මැකෝලිගේ දරුවන් අත. ගාන්ධි ගියේ වෙනත් මගක. එහෙත් බලය අත් වුණේ ජවහර්ලාල් නේරු වැනි මැකෝලිගේ දරුවන්ට. ඉන්දියාවේ අද ඇති වී තිබෙන භාරතීය ජනතා පක්‍ෂය මැකෝලිගේ දරුවන්ට නාමික ව විරුද්ධයි. එහෙත් ඉන්දියාවේ පාලනය තවමත් ඇත්තේ මැකෝලිගේ දරුවන් අත. 


මැකෝලි 1833 වන විට එංගලන්ත වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. 1833 තමයි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ඉන්දීය ආණ්ඩුව නම් පනත සම්මත කෙරී ඇත්තේ. මේ කාලය වන විට මැකෝලිගේ පියාගේ මුදල් තත්වය නරක අතට හැරී ගොස්. ඒ නිසා මැකෝලිට සිදු වී තියෙනවා මන්ත්‍රී ධුරයෙන් අස් වී වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් හොයා ගන්න. අද ලංකාවේ තත්වය දෙස බලන විට නම් එය විශ්වාස කරන්න බැරි දෙයක්. ඒ කෙසේ වෙතත් ලංකාවේ අස්වීමට සලස්වන මන්ත්‍රීවරුන්ට සංස්ථා සභාපතිකම් ආදිය හිමි වෙනවා. ළඟදී ම මන්ත්‍රීවරයකු අස්වීමට ඉඩ තියෙනවා. 


මන්ත්‍රී ධුරයෙන් අස් වූ මැකෝලිට ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර (ලංකාවට අග්‍රාණ්ඩුකාරයකු ලැබුණේ 1948 නිිදහසත් සමග. ඉන් පෙර නෝත්ගේ කාලයේ සිට හිටියේ ආණ්ඩුකාරවරු) මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත්වීමක් ලැබී තියෙනවා. 1834 දී ඉන්දියාවට ගිය ඔහු ඉන්දීය ශ්‍රේෂ්ඨ මණ්ඩලයේ  1834 සිට 1838 දක්වා සේවය කර තියෙනවා. ඔහු එකල කී කියුම් අද ප්‍රසිද්ධයි. ඔහු පර්සියන් හා සංස්කෘත භාෂාවලට වැදගත්කමක් දුන්නේ නැහැ. ඔහු ඉංගිරිසියට තමයි සැලකුවේ.  පර්සියන් හා සංස්කෘත කාව්‍ය ඔහුට වැදගත් වී නැහැ. ඔහුගේ එක් කියමනකට අනුව මුළු ඉන්දියාවේ හා පර්සියාවේ ඇති සියලු පොත්වලට වඩා වටිනා පොත් බටහිර තනි පොත් රාක්කයක තියෙනවා. 


මැකෝලි වඩාත් ප්‍රසිද්ධ ඔහුගෙ 1835 මැකෝලි වාර්තාව (සටහන) නිසා. එහි කොටසක් මෙසේයි. "I feel... that it is impossible for us, with our limited means, to attempt to educate the body of the people. We must at present do our best to form a class who may be interpreters between us and the millions whom we govern, – a class of persons Indian in blood and colour, but English in tastes, in opinions, in morals and in intellect."


ඔහුට අවශ්‍ය වී ඇත්තේ සමස්ත ඉන්දියාවට ම බටහිර අධ්‍යාපනයක් ලබා දීමට. එහෙත් එය කළ නොහැකි බැවින් ඔහුට අවශ්‍ය වී ඇත්තේ ඉංගිරිසින් හා ඉන්දියානුවන් අතර විවරණකරුවන්, තෝල්කයන් පිරිසක් බිහි කිරීමයි. ඒ පිරිස පාටින් හා ලෙයින් ඉන්දියානු එහෙත් රුචිය මතය සදාචාරය බුද්ධිය (ධී ශක්තිය) අතින් ඉංගිරිසි විය යුතු බවයි මැකෝලිගේ අදහස වුණෙ. ඒ වන විටත් ඉන්දියාවේ පමණක් නොව ලංකාවේත් ඉංගිරිසි පාසල් ආරම්භ වී තිබුණෙ. රිච්මන්ඩ් විද්‍යාලය 1814 දීත් යාපනයෙ මෙතෝදිස්ත පාසල් කිහිපයක් ඒ ආසන්නයේත් රාජකීය විදුහල 1835 දීත් ඇරඹිලා. 


ඉන්දියාවේ පැරණි ම ඉංගිරිසි පාසල ලෙස ගැනෙන්නේ චෙන්නායි හි 1715 ඇරඹුණු ශාන්ත ජෝර්ජ් පාසල. ඉන්පසු ත්‍රිචි, කොල්කතා, මුම්බායි, ඩාජිලින් හා තවත් පෙදෙස්වල 1835ට පෙර ඉංගිරිසි පාසල් පිහිටුවා තියෙනවා. එහෙත් මැකෝලි තමයි 1835 දි මේ පාසල්වලින් කෙරෙන්න ඕන මොකක් ද කියන එක පැහැදිලි ව කී තැනැත්තා. ඉන්දියාවෙ බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් මැකෝලිගේ දරුවන් බිහි කෙරිල තියෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය ඉතා සුළුවෙන් නමුත් යම් ඉන්දියානු බවක් රැක ගෙන තියෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදායෙ නිර්මාණශීලීත්වයක් ද තියෙනවා.


එහෙත් ලංකාවෙ අපට එවැනි සම්ප්‍රදායක් දහනවවැනි සියවස මුල දි තිබුණෙ නැහැ. මුහුදුබඩ පෙදෙස්වල පෘතුගීසීන් හා ලන්දේසීන් අපේ සම්ප්‍රදාය නැති කරල තිබුණෙ. රට මැදත් නායක්කාර් ආභාසය නිසා අපට එතරම් දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නැහැ. අපේ පිරිවෙන් සම්ප්‍රදාය කඩා වැටිල. වැලිවිට සංඝරාජ හිමියන් දහනවවැනි සියවසට කලින් අපේ සම්ප්‍රදාය නැවත ගොඩ නැගීමට උත්සාහයක් අරගෙන තිබුණත් ඒ සාර්ථක වී නැහැ.


අනෙක් අතට අපේ සම්ප්‍රදායෙ අනුරාධපුර යුගයෙ එක්තරා අවධියකින් පස්සෙ ඇනහිටි බවකුත් පේන්න තියෙනවා. අවසානයේ දහනවවැනි සියවසේ අග ඇති වූ බෞද්ධ ප්‍රබෝධය ඉදිරියට යෑමත් වැළැක්වීමට මැකෝලිගෙ දරුවන්ට හා ඕල්කට්තුමාට හැකි වුණා. අනගාරික ධර්මපාලතුමාට පහර දී එතුමන් ඉන්දියාවට පළවා හැරියා. නිිදහස් අධ්‍යාපනය නිසා වෙනත් ම ආකාරයක මැකෝලිගේ දරුවන් පිරිසක් බිහි වුණා. 


ලංකාවෙ මැකෝලිගෙ දරුවන් හා ඉන්දියාවෙ මැකෝලිගෙ දරුවන් අතර වෙනසක් තියෙනවා. මැකෝලිට අවශ්‍ය වුණෙ ඉංගිරිසින්ගේ ධී ශක්තිය ඇති පිරිසක් බිහි කර ගන්නට. ඉන්දියාවෙ බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිසා එය යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. ලංකාවෙ එය සම්පූර්ණයෙන් ම අසාර්ථක වුණා. අපේ රටේ බිහි වුණෙ අමු ම අමු අනුකාරකයන් පිරිසක්. මෙය තවදුරටත් සාකච්ඡා කරන්න ඕන.