Main Logo

Wednesday 19 July 2023

කෙහෙළිය බටහිර ඖෂධ හා ධම්මික පැණිය

 

කෙහෙළිය බටහිර ඖෂධ හා ධම්මික පැණිය

 

කෙහෙළිය රඹුක්වැල්ලට අපල කාලයක් ලබල. මා දන්නවා තාර්කික විද්‍යාත්මක බුද්ධිමතුන් අපල ගැන විශ්වාසයක් නැහැ කියල. ඔවුන් විශ්වාසය තියන්නෙ කළු කුහර ගැන පණු හිල් ගැන පරමාණු ගැන අංශු ගැන බහු විශ්ව ගැන ගුරුත්වාකරෂණය ගැන සහ තවත් දේ ගැන. මා විශ්වාස කියන්නෙ අය කිසිවකුත් කිසිවක් දැක නැති නිසා. කිසිවක් ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර නැහැ. වෙනත් අය විශේෂයෙන් බටහිර විද්‍යාඥයන් කියන නිසා ඔවුන් විශ්වාස කරනවා. අපල ධම්මික පැණිය ආදිය විශ්වාස කරන්නෙ මිථ්‍යා මතධාරී ලිං මැඩියන් පමණයි. මා බුද්ධිමතකු උගතකු නොවන නිසා මට ඔය හැම එකක් එකයි. නාථ දෙවියන් ආසනික් ධම්මික පැණිය ආදිය ගැන මා ලියා ඇති දේ බුද්ධිමතුන් දන්නවා. ඔවුන්ට රිසර්ච් ගේට් (Research Gate) අඩවියෙන් කියව ගන්න පුළුවන් මා කළු කුහරවල ව්‍යුහය ගැන ලියා ඇති ලිපියක්.  එය පූර්ව පත්‍රිකාවක් (pre print) පමණයි.  මා හිතන්නෙ කළු කුහර කියන්නෙ පෘෂ්ඨ වර්ගයක් කියලා. ඒකත් ප්‍රතිව්‍යුහගතකරණයක්. 

 

කවුද අහල තිබුණ මෙරට විද්වතුන්ට අදහස් නැත්තෙ මොකද කියල. මා ගැන තමයි අවුරූදු තිස්පහක් පමණ ප්‍රධාන වශයෙන් ලියල තියෙන්නෙ. එයට පිළිතුරු දීල තියෙනවා.  කරන්න දෙයක් නැහැ මා චින්තනය අභිසංස්කරණය ආදිය ගැන ලියල තියෙන ඒව කියවන්න. මටත් බටහිර විද්‍යාවෙ අදහස් නැහැ. එහෙත් සිංහල බෞද්ධයකු හැටියට මට අදහස් එනවා. හිතන විට හිතෙනවා. ඒක තේරෙන්නෙ නැත්නම් ටිකක් වෙලා අරගෙන හිතන්න.

 

මා විද්වත් ගවේෂකයකු සමීක්‍ෂකයකු නොවන නිසා මෙරට රෝහල්වල දිනපතා මිය යන රෝගීන් ගැන දත්ත එකතු කරලා නැහැ.  විද්වත් බුද්ධිමත් තාර්කික කවුරු හරි මට කියනවා මේ දිනවල රෝහල්වල මිය යන රෝගීන් සංඛ්‍යාවෙ අසාමාන්‍ය වැඩිවීමක් තියෙනවා කියල. මා ඔය විද්‍යාත්මක විධික්‍රමයක් ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ. මා පරීක්‍ෂණ සමික්‍ෂණ ආදිය කරන්න දන්නෙත් නැහැ. ඒකයි මා අහන්නෙ අර විධියෙ දත්ත ගැන. අපි ඔය මිය යන අය පිළිබඳ විස්තර දැන ගන්නෙ ජනමාධ්‍යවේදීන්ගෙන්. අයත් ඉතා බුද්ධිමත් උදවිය. ඔවුන්ටවත් පුළුවන් මා ඉල්ලන දත්ත සපයන්න. දත්ත තියෙන්නෙ දත් දොස්තරලා ගාව කියල නොදත් දොස්තර කෙනකුගෙන්වත් අහගන්න පුළුවන් වෙයි ? අපොයි නැහැ මා රාජිත සේනාරත්න ගැන නොවෙයි කියන්නෙ.

 

මා රනිල් වික්‍රමසිංහට හරි කෙහෙළිය රඹුක්වැල්ලට හරි කඩේ යනවා කියල කාට හරි පඬි නැට්ටකුට කියන්න පුළුවන්. කෙහෙළියට කොහොම වෙතත් පඬි නැට්ටන් රනිල්ට කියන්නෙ රනිල් රාජපක්‍ෂ කියල. කෙහෙළිය රාජපක්‍ෂලගෙත් ඇමති කෙනෙක් වුණා. සමහර විට මේ ලිපියත් පඬි නැට්ටකුට අනුව රාජපක්‍ෂවාදියකු කෙහෙළියට කඩේ යෑමක් වෙන්න පුළුවන්. ඒත් රාජපක්‍ෂලා ධම්මික පැණිය වෙනුවෙන් කතා කෙළේ නැහැ. රාජපක්‍ෂලා නාථ දෙවියන් කී ආසනික් කතා ඇහුවෙ නැහැ. ඔවුන් හිතුවෙ මා ප්‍රීමා සමාගමෙන් මුදල් අරන් මෙරට බත් කන එක නවත්තන්න හදනවා කියලා. බැසිල්ගෙන් අහන්න. මහින්ද මට කිවුවෙ ආසනික් කතාව නිසා ඉරාකය අපේ තේ ගැනීම නවත්තල කියල. වුණත් මා සරත් ෆොන්සේකටවත් සජිත්ටවත් මෛත්‍රිපාලටවත් පක්‍ෂ වුණෙ නැහැ. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මා කොන්දක් නැති නිවට නිවටයකු කියලා. ඒක නම් ජී එල් පීරිස් විතරක් නොවෙයි මාක්ස්වාදීන් ඇතුළු විද්‍යාඥයන් දන්නවා.

 

ඔය බටහිර ඖෂධ කියන්නෙ මහා ජාවාරමක්. ආයුධ ජාවාරම වගේ තමයි. අපොයි නැහැ මා සමාජවාදයක් ගැන කතා කරනවා නොවෙයි. මළගිය ඇත්තො ගැන කතා කෙළේ සරච්චන්ද්‍ර උන්නැහෙ. සමහර සෞඛ්‍ය ඇමතිවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ආදීන් ජාවාරමේ ඉන්නවා කියල කියනවා. මා දන්නෙ නැහැ. මා සමීක්‍ෂණ කරල නැහැ. සමහරවිට මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො දන්නවා ඇති. ජනමාධ්‍යවේදීන්ට පුළුවන් උන්වහන්සේ විමසන්න.

 

ඖෂධවල ප්‍රමිතිය ගැනත් මා දන්නෙ නැහැ. මා පේරාදෙණියෙ රසායන විද්‍යාවෙ පළමු වසර පරීක්‍ෂණයේ ප්‍රායෝගික කොටස අසමත්. මට තියෙන්නෙ DFP (D Fail in Practical) අසමත් බවක්.  තව ටිකෙන් රසායන විද්‍යාව විෂය ලෙස අසමත් වෙලා විශ්වවිද්‍යාලය හැර යන්න සිද්ධ වෙනවා.  ගණිතය හා භෞතික විද්‍යාව ඉගෙන ගැනිල්ලත් නවත්තන්න වෙනවා. දැන් ගේන්නෙ බාල ඖෂධ ? ඩොලර් නැති හින්ද ? මා හිතන් හිටියෙ ජාමුල ඩොලර් දෙනවා කියලා. බැරි වෙලාවත් ඩොලර් යටි මඩි ගහනවා ? කාගෙ හරි මඩිය තරවෙනවා ? එහෙමත් නැත්තන් කෙහෙළිය ඉවත් කරල මඩිය තරකරන්න කවුරු හරි සූදානම් වෙනවා ? මේ මරණ ගැන ලැබෙන ප්‍රසිද්ධියත් අර කාලෙ ගෑස් පිපිරීමට ලැබුණු ප්‍රසිද්ධිය වගේ එකක් ?   

 

අද ටිකකට ඉස්සෙල්ල මා නේචර් (Nature) සඟරාවෙ කියෙවුව ඔය සායන නැහැසුම් ගැන ප්‍රවෘත්තියක් වූ විශේෂාංග ලිපියක් Medicine is plagued by untrustworthy clinical trials. එය නාථ දෙවියන් මට ලැබෙන්න සැලැස්සුව දන්නෙ නැහැ. එහි කියන්නේ සමහර නැහැසුම් ව්‍යාජ ඒවා බවයි. ගැන අදහසක් පළ කරන්න මා බටහිර වෙදමහතකුවත් විද්‍යාඥයකුවත් නො වෙයිඑයට සබෑඳිය Nature 619, 454-458 (2023)

doi: https://doi.org/10.1038/d41586-023-02299-w. කෙහෙළිය හරි වෙන කවුරු හරි එය කියවනවා නම් හොඳය කියා මා හිතනවා.

 

අර ඖෂධයක් නොවූ ධම්මික පැණිය ගැන නම් බොහෝ දේ ලියැවුණා. ගැන නැහැසුම් කෙරුවෙ අනුරාධපුරේ බුද්ධි අංශ නිලධාරියකුගෙ මෙහෙයුම් යටතෙ කියල තමයි ආරංචි වුණේ. නැහැසුම්වලින් පසු ධම්මික පැණිය ප්‍රතික්‍ෂෙප කළා. ගෝඨාභය නැහැසුම් විශ්වාස කළා කියා මා දන්නේ නැහැ. කෙසේ වෙතත් මා දන්න කාරණ දෙකක් තියෙනවා. එකක් ලංකාවෙ කොවිඩ් එතරම් දරුණු ලෙස පැතිර ගියේ නැති බව. දෙවැන්න ධම්මික පැණිය බීල කිසිවකු නොමළ බව. මළවුන්ගේ අවුරුදු දා මේ සියල්ල මතක් වෙන්නෙ මගේ මෝඩකමට වෙන්න ඇති. කොහොම වුණත් පඬි නැට්ටන්ට මැන්ටල් මගේ මෝඩකම් ගැන ලියල ආතල් ගැනීමට මා මේ ලිපිය ප්‍රතිචාර සඳහා විවෘත කරනවා. ආතල්ගම දැන් තියෙන්නෙ මෙටාවෙ.  

 

බටහිර රෝහල්වල දිනපතා රෝගීන් මැරෙණවා. මා හැමදාමත් අහන ප්‍රශ්නය සිංහල පාරම්පරික ප්‍රතිකාරවලින් සියයට කී දෙනකු මිය යනවා ? බැරිවෙලාවත් පාරම්පරික වෙදකමෙන් දිනපතා රෝගීන් මිය ගියොත් පඬි නැට්ටන් මොනවා කියාවි ? පඬි නැට්ටන් කියාවි පාරම්පරික වෙදකමෙන් සුව නොවුණු අය බටහිර රෝහලකට ගෙනි යනවා කියලා. අනෙක් පැත්තත් වෙන බව මා දන්නවා. කාට කියන්න ?