ජනේරුව සුබ ද?
ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා
කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි
දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි
දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත්
වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි
සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ
වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ
ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට
දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.