Main Logo

Tuesday 17 February 2015

ජෙනිවා මානව හිමිකම් වාර්තාව කල් දමයි

ජෙනීවා මානව හිමිකම් වාර්තාව කල් දමයි

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ලංකාණ්ඩුවට විරුද්ධව මාර්තු මාසයේ ජෙනීවාහි දී ගෙන ඒමට නියමිත ව තිබූ මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ වාර්තාව  අප කලින් කියා සිටි පරිදි ම කල්දමා ඇත. ජෙනීවා හි ආණ්ඩුවේ විශේෂ නියෝජිතයකු ලෙස ජයන්ත ධනපාලගේ ප්‍රධාන කාර්යය වූයේ මේ වාර්තාව ගෙන ඒම කල්දමා ගැනීම බව අපි සඳහන් කළෙමු. මේ කොමිසමට ගෙනෙන වාර්තා  සකස් කිරීමේ දී ඇමරිකාවේ මතය වැදගත් වෙයි. පසුගියදා ඇමරිකාවේ සංචාරය කළ මංගල සමරවීර ද වාර්තාව ගෙන ඒම කල්දැමීමට කතාකර ඇති බව පැහැදිලි ය. 

එසේ කල්දැමීමට විසුරුණු දෙමළ ජනයාගේ සංවිධාන දහහතරක් පමණ ද මෙරට දෙමළ ජාතික සංධානය ද විරුද්ධ වෙයි. එහෙත් බටහිරයන් ඒ විරුද්ධත්වය සැලකිල්ලකට ගෙන නැත. එයින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් වෙයි. එනම් බටහිර රටවල් විසුරුණු දෙමළ ජනයාගේ ඡන්දය මත නොයැපෙන බව ය. බටහිරයෝ ද මෙරට ඔවුන්ගේ හෙංචයියෝ ද බටහිර රටවල් දෙමළ ජාතිවාදයට ආධාර කරන්නේ ඒ රටවල දෙමළ විසුරුණු ජනයාගේ ඡන්දය ගැනීමට බව කියති. එහෙත් එය බටහිරයන්ගේ පට්ටපල් බොරුවක් පමණකි. බටහිරයන්ට විසුරුණු දෙමළ ජනයාගේ ඡන්දය නො වටියි. බටහිරයන්ට අවශ්‍ය නම් විසුරුණු දෙමළ ජනයාගේ මතය නොසලකා සිටිය හැකි ය. එහෙත් විසිරුණු දෙමළ ජනයාට පැවැත්මක් ඇත්තේ බටහිරයන් නිසා ය. බටහිරයෝ අවශ්‍ය වූ විට විසිරුණු දෙමළ ජනයා සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගනිති.

බටහිරයන් ලංකාවට විරුද්ධ මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ  වාර්තාව කල්දමා ඇත්තේ ප්‍රධාන වශයෙන් ම කරුණු දෙකක් නිසා ය. පළමුවෙන් ම ආණ්ඩුව බටහිරයන්ට ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් කිරීමට පොරොන්දු වී ඇත. මෙය කිසි දිනෙක අභ්‍යන්තර පරීක්‍ෂණයකට පමණක් සීමා නොවනු ඇත. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහාමැතිවරණයෙන් එ ජා ප ජයගතහොත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පත්වන මූලික වශයෙන් ම එ ජා පාක්‍ෂික ආණ්ඩුවක් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ද අවසර දෙනු ඇත. (අද රජිව් විජේසිංහගේ හා ෆයිසර් මුස්තාෆාගේ ප්‍රශ්න මූලික වශයෙන් ම එ ජා පාක්‍ෂිකයන්ගේ කැබිනට් මණ්ඩලයක් ඇති කිරීමට රනිල් වික්‍රමසිංහට ඇති අවශ්‍යතාව නිසා පැන නගීියි. චම්පික රණවකලාට මැතිවරණයෙන් පසුව රනිල් ආණ්ඩුවක් පිහිටුවුවහොත් කුමක් වේ දැයි රතන හිමියන්ට සමහර විට වැටහෙනවා විය හැකි ය. එපමණක් නොව මෛත්‍රිපාලට නාමික ජනාධිපතිධුරයක් හිමිවීමට ඉඩ ඇත). මේ පරීක්‍ෂණ කෙළවර වනු  ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දංගෙඩියට යැවීමෙනි. 

දෙවනුව ආණ්ඩුවට මැතිවරණයට ඉදිරිපත්වීමට තුරුම්පුවක් ලැබෙනු ඇත. ආණඩුව කියනු ඇත්තේ තම විදේශ  ප්‍රතිපත්තියෙහි සාර්ථකත්වය නිසා මානව අයිතිවාසිකම් කඩකිරීමේ ලංකාවට විරුද්ධ වාර්තාව  කල්දමා ඇති බව ය. ඒ කල්දැමීම සඳහා ඔවුන් දී ඇති කප්පම සඳහන් නොකරනු ඇත. එමෙන් ම ඔවුන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පරීක්‍ෂණ ගැන නොකියනු ඇත.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 17