Main Logo

Saturday 7 February 2015

බලු සිංහයා ද සිංහ රාජයා ද (ඉරිදා රිවිර ලිපියකි )

පහත පළවන්නේ 2015 පෙබරවාරි 08 වැනි දා රිවිර පුවත්පතට ලියූ ලිපියකි. බලු සිංහයා හා සිංහ රාජයා ගැන සඳහන් කර ඇති කොටස් පුවත්පතෙහි පළ කර නො තිබිණි. මාතෘකාව ද සඳහන් වූයේ බටහිරයන්ගේ අරමුණ යනුවෙනි. යම්කිසි ආකාරයක පුවත් වාරණයක් ඇති බව පැහැදිලි ය. ජනමාධ්‍ය ඇමති හා ලේකම් ඒ ගැන කියන්නේ කුමක් ද? 

බලු සිංහයා ද සිංහ රාජයා ද 

රයන් ගුඩ්මන් නමැති මහාචාර්යවරයකු ලියූ ලිපියක් පසුගිය ජනවාරි 20 වැනි දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළ වී තිබිණි. ඔහු නිව්යෝක් විශ්වවිද්‍යාලයෙහි නීතිය, දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු බව සඳහන් වෙයි. ඔහු නිව්යෝක් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයකු වී ඇත්තේ 2009 දී ය. එයට කලින් ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයෙහි නීති පීඨයෙහි (පාසලෙහි) මානව අයිතිවාසිකම් හා මානවීය නීතිය පිළිබඳ මහාචාර්යවරයා ද මානව අයිතිවාසිකම් වැඩ පිළිවෙලෙහි අධ්‍යක්‍ෂ ද වී ඇත. ඔහු ඉපදී ඇත්තේ දකුණු අප්‍ර්කාවේ ජොහැන්නස්බර්ග් නගරයෙහි ය. 

ගුඩ්මන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පාඨක අදහස් පිටුවට තම ලිපිය යොමු කර ඇත. ඔහුගේ ලිපියෙහි මාතෘකාව ශ්‍රී ලංකාවෙහි නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට ආධාර කිරීම ය. ඒ ලිපිය සමග පහත දැක්වෙන චිත්‍රය ද පළකර තිබිණි.

    

මේ චිත්‍රය ගුඩ්මන්ගේ නිර්මාණයක් ද පුවත්පත විසින් එකතුකරන ලද්දක් ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් චිත්‍රයෙහි අරුත පැහැදිලි ය. ගුඩ්මන් ඇමරිකන් ආණ්ඩුව නියෝජනය කරන්නේ යැයි මම නො කියමි. එහෙත් ඔහු හාවඩ් විභ්වවිද්‍යාලයෙහි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ කටයුතු කර දැන් නිව්යෝක් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. ගුඩ්මන් ඇමරිකන් ආණ්ඩුව නියෝජනය කළත් නැතත් ඔහුගේ අදහස් දැනගැනීම අපට ද වැදගත් ය. චිත්‍රයෙන් අපේ ජාතික කොඩියට වන අපහාසය ගැන ආණ්ඩුවත් ආණ්ඩුවේ විපක්‍ෂයවත් සෙසු විපක්‍ෂයවත් මා දන්නා තරමට මෙතෙක් විරෝධයක් පලකර නැත. (මේ අවසන් වැකිය පුවත්පතට ලියු ලිපියෙහි සඳහන් නො කෙළෙමි. පාර්ලිමේන්තුවේ දී අද සෙනසුරාදාවත් ඒ පිළිබඳ හඬක් නැගේ යැයි සිතුවෙමි)

එහෙත් එයට පළමු චිත්‍රය ගැන වචනයක් දෙකක් කිව යුතු ය. අද ඇමරිකාව (බටහිරයන්) ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ය, පසුගිය දා ඇමරිකානු රාජ්‍ය අමාත්‍යාංශයේ බිස් වාල් මහත්මිය අප රටේ දින තුනක් ගත කළා ය. ඇයට අප රටේ මානව අයිතිවාසිකම් ගැන මානවීය කැක්කුමක් ඇත. එහෙත් ඇගේ රටේ මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි සාමාන්‍ය ජනයාගෙන් විශේෂයෙන් ම කළු හමක් ඇති අයගෙන් අසා දැනගත යුතු ය. බිස්වාල්ලා වැනි ඉන්දීය සම්භවයක් ඇති කිහිප දෙනකුට ආණ්ඩුවේ උසස් තනතුරු ලැබීමෙන් කල්ලන්ට ඇති ඊනියා අයිතිවාසිකම් ගැන නිගමනවලට පැමිණිය නො හැකි ය. පසුගිය කාලයේ පොලීසිය විසින් ඝාතනය කෙරුණු කළු තරුණයන් පිළිබඳ පරීක්‍ෂණවලින් අදාළ පොලිස් නිලධාරීහු නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.  බිස්වාල් හමු වූ දෙමළ ජාතික සන්ධානය කියා ඇත්තේ තමන් ඊනියා යුද්ධාපරාධ ගැන කරන අභ්‍යන්තර පරීක්‍ෂණයකින් සෑහීමකට පත්නොවන බව ය.  ලංකාවේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සිදුවන්නට යන්නේ කුමක් දැයි අප කියා  ඇත්තේ අද ඊයේ නො වේ. 

බටහිරයන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට අභියෝගයක් නැති රටවල් ය. බටහිරයන්ට අවශ්‍ය ලෝකයේ අනෙක් රටවල් තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට ය. අපේ සිංහයා පිට උඩ නැග ඇමරිකන් ජාතික කොඩිය රැගත් ඇමරිකානුවෙක් අප මෙහෙයවයි. සිංහයා ක්‍රියා කළ යුත්තේ ඇමරිකානුවාට අවශ්‍ය අන්දමට ය. ඇමරිකානුවා ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියන්නේ කුමකට ද අප ද එයට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කිව යුතු ය. ඇමරිකානුවා අපේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට ආධාර කරන්නේ සිංහයා පිට උඩ නැග ඌ බලු සිංහයකු කිරීමෙනි. 

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමෙන් පසු අපට ඇත්තේ බලු සිංහයෙකි. අද අපේ අභිමානය දිය වී ගොස් ය. බිස්වාල්ලා ඔවුන්ට වුවමනා ආ කාරයට අපේ විදේශ ප්‍රතිපත්තිය ද හසුරවති. මෙතෙක් කල් ජෙනීවාහි දී ඔවුන්ට අවශ්‍ය වූ දේ නොකෙරීම නිසා එනම් දෙමළ ජාතිවාදයට කප්පම් නොගෙවීම නිසා බටහිරයෝ අපට එරෙහිව යෝජනා සම්මත කරගත්හ. මෙරට නියෝජනය කළ ඇතැම්හු වසරක් දෙකක් දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට රටට එරෙහිවූ පොරොන්දු දී රට පාවාදුන්හ. එමගින් යොජනාව පරාද කළහ. එහෙත් එය රට පාවාදීමෙන් කළ පරාජයකි. 

බටහිරයන් ජෙනීවාහි දී අපට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් යෝජනා සම්මත කරගන්නා විට එ ජා ප නායකයන් ද ඔවුන්ගේ හෙංචයියන් වූ කසිකබල් උගතුන් ද කියා සිටියේ එසේ සිිදුවූයේ අපේ විදේශ ප්‍රතිපත්තියෙහි වරදක් නිසා බව ය. එහෙත් අප ජෙනීවාහි දී පරාජය වූයේ දෙමළ ජා තිවාදයට කප්පන් නොගෙවා සිංහ රාජයකු ලෙස කටයුතු කළ නිසා ය. දෙමළ ජාතිවාදයට ගෙවන කප්පම් අතර දහතුන මෙන් ම ඊනියා යුද්ධාපරාධිකරණ අභ්‍යන්තර ව හෝ ජාත්‍යන්තරව හෝ පැවැත්වීම ද වෙයි. අද ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීමට එකඟ වී ඇත. සිංහයා බලු සිංහයකු වී ඇත. බලු සිංහයාගේ පිටේ කසිකබල් ඇමරිකන් මහාචාර්යවරු ඇමරිකන් කොඩිය ඔසවාගෙන යති. කිසිම දිනෙක දෙමළ ජා තිවාදීන් හා ඔවුන් පිටුපස සිටින බටහිරයන් (විශේෂයෙන් ම ඇමරිකානුවන් හා ඉංගිරිසින්) ,අභ්‍යන්තර පරීක්‍ෂණවලින් සෑහීමකට පත්නොවනු ඇත. ඒ බව ගුඩ්මන්ගේ ලිපියෙන් ගම්‍ය වෙයි. ඔහු ගුඩ්මන් (හොඳ මිනිසා)වන්නේ අපට නොව දෙමළ ජාතිවාදයට හා බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට ය. 

පසුගිය දා එංගලන්තයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා ද ලංකාවේ සංචාරය කළේ ය. ඔහු අපට කියා සිටියේ අධිආරක්‍ෂිත කලාප ඉවත්කරන ලෙස ය. අපේ ආරක්‍ෂිත කලාප අප පවත්වාගෙන යා යුත්තේ අපට අවශ්‍ය ආකාරයට මිස ඉංගිරිසින්ට අවශ්‍ය ආකාරයට නො වේ. එහෙත් සිංහයා දැන් බලු වී ඇත. මෛත්‍රිපාලනයට ආරක්‍ෂිත කලාප අවශ්‍ය නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශයෙහි රටේ ආරක්‍ෂාව ගැන සඳහන් නොවූයේ එය මුද්‍රණය කළ මුද්‍රණාලයෙහි වරදක් නිසා නො ව බටහිරයන් ඊනියා ප්‍රජාතන්ද්‍රවාදයක නාමයෙන්, ඊනියා මානව අයීිතිවාසිකම් නාමයෙන්,  සිංහයා බලු කිරීමට සිටි නිසා ය. පසුගිය දා සොල්හයිම් උදම් ඇනුයේ තමන් මහින්ද රාජපක්‍ෂ පරාජය කළ බව කියමිනි.

ගුඩ්මන්ගේ ලිපියෙහි අඩංගු කරුණු කිහිපයක් පමණක් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැනගැනීම පිණිස සඳහන් කරමි.   (1) ඇමරිකානු රාජ්‍ය ලේකම් කෙරීට අනුව මේ ලංකාවට අවුරුදු දහයකට වඩා කාලයකට පසුව නව පරිච්ඡෙදයක් පෙරළීමට ලැබුණු මහඟු අවස්ථාවකි. (2) එහෙත් ගුඩ්මන්ට අනුව ලංකාව රාජපක්‍ෂ රෙජිමයට නැවත බලයට නොපැමිණෙන බව සහතික කළ යුතු ය. අළුත් ආණ්ඩුව සිය ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. එය එසේ වනු වස් ආධාර කළ හැක්කේ ඇමරිකාවට හා ඇමරිකාවට පමණකි. (3) මහින්්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ තවමත් දේශපාලන වශයෙන් මියගොස් නැත. නව ජනාධිපති තම බලය තහවුරු කරගත යුතු ය. (4) මෙහි දී ඇමරිකාවට කළ හැක්කේ කුමක් ද? කෙරීට අනුව  ආමරිකාව නව ආණ්ඩුව සමග කලක් තිස්සේ පවතින මානව අයිතිවාසිකම් කතාව නැවත ගනු ඇත. ඇමරිකාව රාජපක්‍ෂ රෙජිමය යටතේ සිදු වූ යුද්ධාපරාධ ගැන එක්සත් ජාතින්ගේ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන ඇත. (5) ගෝඨාභය රාජපක්‍ෂ ඇමරිකන් පුරවැසියෙකි. 1996 යුද්ධාපරාධ පණත යටතේ ඇමරිකාවට ඔහු හඹා ගිය හැකි ය. (6) ඔහු හා ඔහුගේ සහෝදරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු කිරීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා වෙයි. ඔහු නව ආණ්ඩුවට ගෞරව කරන බවට ඉඟියක් නැත. (7) නව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය රැකීමට තීරණාත්මක ව මැදිහත් විය හැක්කේ රාජපක්‍ෂ රෙජිමය බලයට පත්වීමට ඇති තර්ජනය නැති කිරීමෙනි. (8) නව ජනාධිපති යුද්ධාපරාධ ගැන දේශීය පරීක්‍ෂණයක් පවත්වන බව කියා ඇත. ඒ වැදගත් ය. එහි දී සුදු කොඩි කතාවද විභාග කෙරෙනු ඇත. ඒ කතාවට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටත්වන්නට පැමිණි අයට වෙඩී තැබීමට අණකර ඇතැයි කියැවෙයි. ඇමරිකන් රාජ්‍ය දෙපාරතමේන්තුව කොංග්‍රසයට වාර්තා කර ඇති අන්දමට ඒ බව හිටපු හමුදාපති කියා ඇත. (9) ලංකාණ්ඩුවට මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධ වීම දේශපාලන අභියෝගයක් වනු ඇත. ලංකාණ්ඩුව පරීක්‍ෂණයක් නොකරන්නේ නම් රාජපක්‍ෂ මහතාට විරුද්ධව පරීක්‍ෂණයක් පවත්වන බව ඇමරිකාවට සංඥා නිකුත් කළ හැකි ය.(10) ලංකාණ්ඩුව තම පරීක්‍ෂණය කිරීමට අවස්ථාව දීමෙන් පසු ඇමරිකාව පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණයක් කරනු ඇති බවට ඔබාමා පාලනයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ හැකි ය. එවැනි සංඥා මගින් ඇමරිකාවට මේ තීරණාත්මක අවස්ථාවෙහි රාජපක්‍ෂලා දේශපාලන වශයෙන් කොන්කිරීමට කටයුතු කළ හැකි ය. එය රටේ අතීතයෙන් මිදී රටේ හොඳම අනාගතය උදාකළ හැක්කේ  තම පාලනය යටතේ බවට හැඳිනගැනීමට නව ජනාධිපති කරන වෑයම උද්දීපනය කරනු ඇත. ඇමරිකාව ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයට සංක්‍රමණය වීමට ආධාර කිරීමට තම භූමිකාව ඉටු කළ යුතු ය.

බටහිර බුද්ධිමතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වෙයි. අපට මේ බටහීිර කණහිළුන් පරාජය කළ හැකි ය. ඒ සඳහා දේශපාලන වශයෙන් සංධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කරවිය යුතු ය. අපි ඇමරිකානුවන් ඉදිරියේ බලු සිංහයන් වෙමු ද? සිංහ රාජයන් වෙමුද? තීරණය මහා මැතිවරණයේ දී ගනිමු.
නලින් ද සිල්වා

2015 පෙබරවාරි 07