Main Logo

Friday 20 February 2015

කඳවුරු ඉවත් කිරීම

කඳවුරු ඉවත් කිරීම

පලාලි කඳවුර අවට අක්කර දහසක් ඇතුළු තවත් කඳවුරු කිහිපයකට අයත් ඉඩම් බෙදා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කඳවුරු අවශ්‍ය වන්නේ රටේ ආරක්‍ෂාව සඳහා ය. රට සම්පුර්ණයෙන් ම ආරක්‍ෂිත නම් විශේෂ කඳවුරු එකක්වත් අවශ්‍ය නැත. එහෙත් අපට ප්‍රශ්නය වී ඇත්තේ රටේ ආරක්‍ෂාව ගැන ආණ්ඩුවට සහතිකයක් දිය හැකි ද යන්න ය. රටේ ආරක්‍ෂාව ගැන තම ජනාධිපතිවරණ ප්‍රකාශයේ වචනයක්වත් සඳහන් නොකළ මෛත්‍රිපාල සිරිසේනට වඩා වැදගත් වන්නේ ජනාධිපතිකම ආරක්‍ෂා කර ගැනීම බව අපි දනිමු. විශේෂයෙන් ම මහින්ද රැල්ලක් ඇති වී තිබෙන විට ජනාධිපතිකම ආරක්‍ෂා කරගැනීම වැදගත් වෙයි. එයට අමතර ව රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරයේ තටු කපා ඒවා අගමැති ධුරයට සවි කිරීමට අර අඳිමින් සිටියි.

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු බෝම්බ පිපිරීම් නතර වීමට එක් හේතුවක් නම් ආරක්‍ෂක අමාත්‍යාංශය හා බුද්ධි අංශය ඒ ගැන පරීක්‍ෂාවෙන් සිටීම ය. හමුදා කඳවුරු ද එහි දී ප්‍රයෝජනවත් විය. පලාලේ කඳවුර නොවන්නට කොටින්ට පලාලේ ගුවන් තොටුපළට යන එන ගුවන් යානාවලට වෙඩි තැබීම ප්‍රශ්නයක් නොවන බව අතීත අත්දැකීමෙන් කිව හැකි ය. 

මෙරට තවමත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන් ම රනිල් සිරිසේන ආණ්ඩුව පත්වීමෙන් පසු දෙමළ ජාතිවාදීහු පෙරට පැමිණ සිටිති. අද උතුරු පළාත් මහා ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ වඩුකොඩෙයි යෝජනාවලට ආපසු යෑමට ය. දෙමළ ත්‍රස්තවාදය නැවතත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම දෙමළ ජාතික සංධානය විසින් සකස් කෙරෙමින් පවතියි. ඒ අතර බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට සුපුරුදු ආකාරයට නැවතත් සිංහල ජාතිකත්වයට එරෙහි ව ක්‍රියා කරයි. 

රටේ ආරක්‍ෂාව ගැන සැලකිල්ලක් දක්වන ආණ්ඩුවක් කඳවුරු ඉවත් කිරීමට පෙර දෙමළ ජාතිවාදය පරාජය කිරීමට සිත යොමු කරනු ඇත. එහෙත් මේ ආණ්ඩුව එසේ නො කරයි. ඔවුහු බටහිරයන් සමග එකතු වී ඊනියා මානව අයීිතිිවාසිකම් කඩ කිරීම් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරති. හමුදාව අධෛර්යමත් කරති. පසුගිය ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය අන්දමට කටයුතු නොකළ බැවින් බටහිරයෝ අපට විරුද්ධව ව්‍යාජ මානව අයිතිවාසිකම් කඩවීම් චෝදනා ඉදිරිපත් කළහ. අද ඒ යෝජනා ඉදිරිපත් කිරීම කල් දමා ඇත්තේ ආණ්ඩුව බටහිරයන්ට දෙමළ ජාතිවාදයට හා කොටින්ට උඩගෙඩි සපයමින් කප්පන් දී ඇති බැවිනි. මංගල සමරවීර හා විජිත හේරත් මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරන්නේ රටට පක්‍ෂව නොවන බව පැහැදිලි ය. 

දින සියය ඇතුළත මේ සියල්ල කරන රනිල් වික්‍රමසිංහ මහා මැතිවරණයෙන් බලයට පැමිණියහොත් කුමක් කරනු ඇත් දැයි සිතාගත හැකි ය. කඳවුරු ඉවත් කිරීම පිළිබඳ නිමල් සිරිපාල වැනි පාරාජික ශ්‍රී ල නි ප නායකයන් කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමු.  


නලින් ද සිල්වා

2015 පෙබරවාරි 20