Main Logo

Friday 20 February 2015

නුගේගොඩට පැමිණියේ කවු ද?

නුගේගොඩට පැමිණියේ කවු ද?

පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. ඒ දෙවනු කී අයගෙන් යම් පිරිසක් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලි වෙති. අපට ඔවුන්ට කීමට සිදු වී ඇත්තේ ගිය නුවණ ඇතුන් (අලින්) ලවාවත් ඇද්දවීමට බැරි බව ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අයගෙන් සමහරු වෙනසක් පතා එසේ කළහ. ඒ වෙනස ඇති වී තිබේ. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ කොටියකු ලෙස ය. අද අලින් සහ කොටින් එකතු වී ඇත. ඔවුන් සියල්ලන් පසු පස බටහිරයෝ සිටිති. සිදු වී ඇති වෙනසක් අනුව අප කල් තබා කී පරිදි ම මාර්තු මාසයේ ජෙනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට තිබූ ඊනියා මානව හිමිකම් කඩවීමේ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ඇත. එයින් මැතිවරණයේ දී එ ජා පක්‍ෂය තම ඊනියා නිවැරදි (එනම් බටහිර හා ඉන්දීය ගැති) විදේශ ප්‍රතිපත්තිය ගැන කියවා වාසි ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එහෙත් ඔවුන් නොකියන කරුණ වනුයේ දැනට අභ්‍යන්තර පරීක්‍ෂණයකට පමණක් සීමා කරන්නේ යැයි කියන ඊනදයා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ලක්කෙරෙන බව ය. 

නුගේගොඩ රැස්වීමට බස්වලින් සෙනග පැමිණියේ යැයි රාජිත සේනාරත්න නම් සිංහල බෞද්ධ විරෝධී ඇමති කියයි. ජනතාව බස්වලින් පැමිණෙන්නේ නැතිව රාජිතලා ගමන් බිමන් යන ආකාරයෙන් කාර්වලින් පැමිණෙන්න ද? ජනතාවට ලංගම බස් නොලැබුණු බවට අපි මැසිවිලි නො කියමු. රාජිත දැනටමත් පරාජිත වී ඇති බව පැහැදිලි ය. 

කෙසේ වෙතත් රාජිතටත් වෙනත් එවැනි පාරාජික වූ ශ්‍රී ලංකා කාරයන්ටත් දැනගැනීම පිණිස කිව යුත්තේ නුගේගොඩට බස්වලින් පැමිණියේ රට බෙදීමට විරුද්ධ ජනතාව බව ය, රටේ ඒකීයභාවය ආරක්‍ෂා කළ යුතු යැයි කියන්නන් බව ය, දෙමළ ජාතිවාදයට විරුද්ධ අය බව ය, දෙමළ බෙදුම්වාදයට විරුද්ධ අය බව ය, දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව පුවත්පත් නිවේදන හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා නොවී හදපත්ලෙන් ම සතුටුවන අය බව ය, පාරාජික ශ්‍රී ලංකා කාරයන් පක්‍ෂයෙන් එළවා දැමිය යුතු යැයි කියන්නන් බව ය, සිංහල බෞද්ධ විරෝධී ජනවේග කල්ලියකට තව දුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉඩ නොදිය යුතු ය කියන්නන් බව ය, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූවන් බව ය, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට විරුද්ධ වූවන් බව ය, ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්‍ෂණවලට විරුද්ධ වූවන් බවය, මහින්්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ හා රණවිරුවන් දංගෙඩියට යැවීමට විරුද්ධ වූවන් බව ය, රුපියල් දහදාහට කහකුඩුවලට රට පාවා නොදෙන්නවුන් බව ය, රටේ ආරක්‍ෂාව බඩේ ආරක්‍ෂාවට වඩා වැදගත යැයි සිතන්නන් බව ය, ….. .. .. .. .. .. .. .. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 20