Main Logo

Friday 3 April 2015

කරලියැද්ද ඇමතිකම අත්හරියි

කරලියැද්ද ඇමතිකම අත්හරියි

කරලියැද්ද නීත්‍යානුකූල නොවන ආණ්ඩුවේ ඇමතිකම අත්හැර ඇත.  ඔහු තම ඇමති ධුරයෙන් ඉවත් වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් ද? ඔහු කියා තිබුණේ ඇමතිකම දරමින් තමන්ට ගමට යෑමට නොහැකි බව ය. මෙය අප සුළුවෙන් තැකිය යුතු කියමනක් නො වේ. ඔහුට ගමේ, එනම් ශී්‍ර ල නි පක්‍ෂයේ සාමාජිකයන්ගේ හා අනුගාමිකයන් ආදීන්ගේ පක්‍ෂපාතීත්වය නැතිවෙයි. ඔහුට ක්‍රියාත්මක වීමට සිදුවන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා නායකයන්ගේ තීරණ මත නොව ගමේ ආධාරකරුවන්ගේ අපේක්‍ෂාවන් පරිදි ය. 


මෙයින් කියැවෙන ප්‍රධාන කරුණ නම් සිංහල ජාතිකත්වය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන බව ය. ශ්‍රී ල නි පක්‍ෂය පවතින්නේ එහි සාමාජිකත්වය, අනුගාමිකයන් හා ආධාරකරුවන් නිසා මිස නායකයන් නිසා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය සිරසෙන් ද හදවතින් ද ඇඟෙන් ද යටත්විජිත විරෝධී වෙයි. එ ජා ප යටත්විජිත ගැති වෙයි. පක්‍ෂ දෙක අතර ප්‍රධාන වෙනස ද එයයි. ජනවේග කල්ලියේ රාජිත සේනාරත්න ඒ බව නො දනියි. අද ඇමති එස් බී දිසානායකට පවා තමා රඟදැක්වීමක් කරන බවට පක්‍ෂ සාමාජිකයන් ඉදිරියේ රඟ පෑමක් කිරීමට  සිදු වී තිබේ. 

බණ්ඩාරනායක මහතා 1951 දී ආරම්භ කළේ ලිබරල් පක්‍ෂයක් මිස ජාතිකත්වයේ පක්‍ෂයක් නො වේ. එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කරනු ලැබුයේ මෙරට ජනතාව විසින් ය. 1815 දී සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් වංචාකාරීව සිංහලේ අල්ලා ගැනීමෙන් පසුව (එයට පෙර ද) සිංහලයෝ රටේ නිදහස වෙනුවෙන් සටන් කළහ. එය කැප්පටිපොළ නිළමෙතුමාගේ නායකත්වයෙන් ඇරඹිණි. විර පුරං අප්පු, ගොංගාලෙගොඩ බණ්ඩා ආදීහු සටන ඉදිරියට ගෙන ගියහ. 

දහනවවැනි සියවස අවසන මේ නිදහස් සටන සංස්කෘතික ස්වරූපයක් ගත්තේ ය. එනම් යටත්විජිත විරෝධී සටනේ සංස්කෘතික සංරචකය ඉදිරියට පැමිණියේ ය. ධර්මපාලතුමා ඒ සටනෙහි නායකත්වය ගත්තේ ය. එහෙත් මෙරට කළු සුද්දෝ එතුමාට විරුද්ධ වූහ. ලේක් හවුසිය එතුමාට ඉතා තදින් පහර දුන්නේ ය. අවසානයේ දී එතුමා රට අත්හැර ගියේ ය. එතුමාට පහර දුන්නෝ පසුව එ ජා ප වටා ගොනු වූහ. ඔවුන් අද එතුමා සමරන්නේ දේශපාලන වාසියක් ලබාගැනීමට පමණ ය. 

ධර්මපාලතුමා නැතිව ද නිදහස් සටන ඉදිරියට ගියේ ය. භාෂා ප්‍රේමිහු එහි ප්‍රධානත්වය ගත්තෝ ය. බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව පිහිටුවූයේ පොන්නම්බලම් අර්ැණාශලම් හින්දු මහා සභාව පිහිටුවා අවුරුදු ගණනක් ගෙවීමෙන් පසුව ය. එතුමා එංගලන්තයේ සිට පැමිණි මුල් කාලයේ රට ගැන එතරම් දැනුමක් තිබී නැති බව පැහැදිලි ය. එතුමා රටට සන්ධීය (ෆෙඩරල්) ක්‍රමයක  යෝජනා කළේ ය. 

1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප ආරම්භ කළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එහෙත් මෙරට නිදහස් සටනේ යෙදී සිටි අයට (ජාතික කොංග්‍රසයේ පෙත්සම් කරුවන්ට නො වේ. මේ පෙත්සම් කරුවෝ සුද්දන්ට කත් ඇදී කලු සුද්දෝ වුහ. ඔවුහු අද එ ජා පක්‍ෂයේ වෙති.) එය ප්‍රමාණවත් නො වීය. සිංහලත්වයට මෙරට හිමි තැන ලබාගැනීමට අවශ්‍ය වුවෝ ශ්‍රී ල නි පක්‍ෂය ක්‍රමයෙන් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කළහ. 

එහෙත් ඇතැම් අවස්ථාවල සිංහල විරෝධීහු පක්‍ෂයේ ජාතිකත්වය නැති කිරීමට උත්සාහ කළහ. අනූවේ දශකයේ මුල රාජිත, වික්ටර් අයිවන් ආදීන් චන්ද්‍රිකා එංගලන්තයේ සිට ගෙන්වා ගත්තේ ද පක්‍ෂයේ ජාතිකත්වය නැතිකිරීමට ය. එහෙත් එය අසාර්ථක විය. අද ද රාජිත හා වෙනත් අය පක්‍ෂය ජාතිකත්වයේ මගින් ඉවත් කිරීමට උත්සාහ කරති. එහි ප්‍රතිඵලයක් ලෙස නිවටයන් පිරිසක් පක්‍ෂයේ නායකත්වයට පත් වී ඇත. ඒ හේතුවෙන් පක්‍ෂය අද දෙකට කැඩී ඇත. එහෙත් බිඳ වැටී නැත. පක්‍ෂය දෙකඩ කළෝ ඔත්තු සේවාවලට සේවය කළ නිවට නායකයෝ ය. පක්‍ෂ සාමාජිකත්වය හා අනුගාමිකත්වය වැඩිකල් නොගොස් නිවට නායකයන් පළවා හරිනු ඇත. කරලියැද්දේ ඇමතිකම අත්හැරියේ ඔහුට ඒ බව තේරුම් ගොස් ඇති බැවිනි.  

නලින් ද සිල්වා

2015 අප්රේල් 03