Main Logo

Tuesday 6 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


ඊනියා නිදහස් උත්සවය ඉවරයි. මුහුණු පොතේ පඬි පෝතකයන් දන්නේ නැහැ ඊනියා කියන වචනෙ තේරුම. එ වුණත් ඒ සමහර අය හැමදේකට ම ප්‍රතිචාර දක්වන්නවා. ඔවුන්ගේ හඩු බසින් කියනවා නම් කමෙන්ට් දානවා. එයින් ම තේරෙන කරුණ තමයි අපට නිදහස තව බොහෝ දුර බව.

මට කල්පනා වෙන්නෙ ලංකා ජාතික සංගමයෙ ප්‍රභූන් (සුද්දන් බිහි කළ ප්‍රභූන්) පෙත්සම් මගින් ඉල්ලපු නිදහස නො වෙයි. සෙංකඩගල නිළමෙලා ඉල්ලපු නිදහසත් නො වෙයි. මා කල්පනා කරන්නේ වෙල්ලස්සේ කුමාරයා ඉල්ලපු නිදහස මොකක් ද කියලා. වෙල්ලස්සෙ කුමාරයා කියන්නෙ කවුද කියන එක කලින් ලිපිවල සඳහන් වෙනවා. ඒවා කියවන්නෙ නැතිව පඬියකු හරි පඬි පෝතකයකු හරි අහන්න පුළුවන් කවුද වෙල්ලස්සෙ කුමාරයා කියලා.

මා ඊයේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දේශනයකට ගියා. ඒකට එතරම් පිරිසක් සහභාගි වුණේ නැහැ. දේශනය නව ව්‍යවස්ථාව ගැන. බොහෝ දෙනා නව ව්‍යවස්ථාව ගැන දන්න නිසා එයට සහභාගි නොවන්න ඇති. ඒ කොහොම වෙතත් ඒ රැස්වීම සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මට මා කලකට ඉහත කියා ඇති ඇති දෙයක් මතක් කළා. ඒ විමලධර්මසූරිය රජුගේ සිට අද දක්වා ම අපට අපේ රජවරුන් පාලකයන් නොසිටි බව. මට දැන් හිතෙනවා එය දොන් ජුවන් ධර්මපාල දක්වා දික් කළ යුතු බව.

කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විමලධර්මසූරිය අපේ රජකු නොවන්නේ කෙසේ ද කියා. එතුමා පුහුණුව ලැබුවේ පෘතුගීසීන්ගෙන්. පසුව එතුමා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරපු එක ඇත්ත. එහෙත් ඒ පුහුණුව එතුමාගෙන් මුළුමණින් ඉවත් වුණේ නැහැ. දොන් ජුවන් ධර්මපාල ගැන කියන්න දෙයක් නැහැ. ඔහු රජ කළෙත් පෘතුගාලයෙ රජු. මේ සියල්ලන් ට පෘතුගීසි බලපෑම තිබුණ. ඉන් පසු සෙනරත් රජු ඔහුගේ පුත් රාජසිංහ ආදීන්ටත් පෘතුගීසි බලපෑම තිබුණා. ඉන් පස්සෙ ලන්දේසි බලපෑම තිබුණ.

පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා අඩු වැඩි වශයෙන් ඉංගිරිසි බලපෑම තිබුණ. ඉදිරියටත් තියෙනවා. පාලකයන්ට මේ බලපෑමෙන් නිදහස් වෙන්න පුළුවන් ද? ඒ බලපෑමෙන් නිදහස් වෙන එක අනෙක් අයටත් වලංගුයි. අද අපට ලැබෙන්නේ බටහිර අධ්‍යාපනයක්. අප සිංහලයන්, සිංහල බෞද්ධයන් වන්නේ නමින්. අද වන විට අප සංකේත බෞද්ධයන් වී අවසන්. අප හිතන්නේ පතන්නේ බොහෝ විට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. අප යොදා ගන්නේ යුදෙව් ක්‍රිස්තියානි දැනුම.

අපට අද ඇත්තේ සංස්කෘතික ආධිපත්‍යයක්. අප මෙවර එඩ්වඩ් ගෙනාවේත් අවුරුදු විස්සකට පෙර චාල්ස් ගෙනාවේත් දේශපාලන ආධිපත්‍යයකට වඩා සංස්කෘතික ආධිපත්‍යයක් නිසා. ඒ අතර ආර්ථික ආධිපත්‍යයකුත් තියෙනවා. එය ව්‍යාජ සමාජවාදීන් කියන ආර්ථික ආධිපත්‍යය ම නො වෙයි. ව්‍යාජ සමාජවාදීන් ද බටහිර සංස්කෘතික ආධිපත්‍යයේ ගොදුරු. ඔවුන් යොදා ගන්නේ කිසිදා වලංගු නොවූ මාක්ස්වාදී අදහස්. ඒවා පට්ට ම පට්ටපල් බොරු.

අද අපට ආර්ථික නිදහසක්වත් දේශපාලන නිදහසක්වත් නැහැ. මෙරට ආර්ථිකය ද දේශපාලනය ද මෙහෙයවනු ලබන්නේ බටහිර රටවල් කිහිපයක් හා ඉන්දියාව විසින්. චීනයත් දැන් අපට බලපෑම් කරනවා. දෙමළ ජාතිවාදය මුළුමනින් ම එංගලන්තයේ නිර්මාණයක්. දැන් ඉන්දියාවත් එයට මැදිහත් වෙලා. නව ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ අපට නොව ඔවුන්ටයි. ඒ සිංහල ථෙරවාද බුද්ධාගම නැති කිරීමට, බැරි නම් දුර්වල කිරීමට. එට්කා, හම්බන්තාට වරාය, කොළඹ වරාය නගරය ත්‍රිකුණාමල වරාය ආදිය මගින් අප ඉන්දියාවට හා චීනය යටවෙලා.

එ සියල්ලට ම වඩා සංස්කෘතික ආධිපත්‍යය මගින් අප යටපත් කර ගෙන. මා මොහොතකට කලින් අහගෙන හිටියා මහාචාර්ය ජේ බී දිසානායක වල්පොල රාහුල හිමියන්ගේ බුදුන් වදාළ ධර්මය පොත ගැන වර්ණනාවක් කරනචා. ඒ පොතින් කෙරෙන්නේ බුදුදහම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අනුව විකෘති කිරීමක්. එහෙත් බොහෝ දෙනකු එය තේරුම් ගෙන නැහැ. තේරුම් ගත් අයට සමාජයේ පිළිගැනීමක් ලබා දෙන්නේත් නැහැ. අද බොහෝ හාමුදුරුවන් වහන්සේ හා ගිහි බෞද්ධයන් ක්‍රිස්තියානි නූතනත්වයට එකඟ වන ලෙස බුදුදහම විකෘත කරනවා.

විශේෂයෙන් ම බටහිර විද්‍යාවට අනුකූල වන ලෙස බුදුදහම විග්‍රහ කරනවා. බුදුදහම විද්‍යාත්මක බව බොහෝ දෙනා පවසනවා. එසේ කීමෙන් ඒ සියලු දෙනා බුදුන්වහන්සේට අගෞරව කරනවා. එහෙම අගෞරව කරන සිංහල බෞද්ධ විද්‍යාඥයන් යැයි කියන්නන්ට තමන්ගේ ම වූ ප්‍රවාදයක් සංකල්පයක් ගොඩ නගා ගන්න බැහැ. බටහිර විද්‍යාව අනපෝහනය හෙවත් හිතළු මත රැඳී ඇති බවත් ඒ පට්ටපල් බොරු බවත් බුදුදහම ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගන්න ඕන බවත් මේ බෞද්ධයන්ට තේරෙන්නේ නැහැ. මේ බෞද්ධයන් අඩුම තරමෙන් ස්වාක්ඛාතො ගාථාව තේරුම් ගන්න උත්සාහ ගන්නවා නම් හොඳයි.

අද අපට ආර්ථිකයෙන් හා දේශපාලනයෙන් පමණක් නොව බටහිර දැනුමෙන් ද පොදුවේ බටහිර සංස්කෘතියෙන් ද නිදහස් වීමට අවශ්‍යයයි. අද සංස්කෘතිය පාලනය වන්නේ ජනමාධ්‍යයෙන්, විශේෂයෙන් ම රූපවාහිනියෙන්. සිරස විතරක් නොවෙයි දෙරණත් අප පාලනය කරනවා. ඒ දෙක ම දේශපාලනිකවවත් සංස්කෘතිකවවත් සිංහල බෞද්ධ සංස්කෘතියේ නැහැ.

අප නිදහස  ලබන්නේ මේ සියලු ආධිපත්‍යයෙන් නිදහස් වූ දිනයි. එය තවත් බොහෝ දුරකින් ඈතින් තිබෙන බව පැහැදිලියි. එහෙත් කරන්න දෙයක් නැහැ. ඒ නිදහස දිනා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් සොයා ගැනීම අතිශයින් දුෂ්කර කටයුත්තක් බවට පත් වී තිබෙනවා.     


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-06