Main Logo

Saturday 24 February 2018

රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම


රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම


මෙරට ඇතැම් තරුණයන් කටයුතු කරන ආකාරය තේරුම් ගැනීමට අමාරුයි. පඬි පෝතකයකුට මා ගැන කණගාටුවක් හිතිලා. මා කියා සිටියා (මෙය කලිනුත් කියා තිබෙනවා) 2005 ජනවාරි නවවැනි දා මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත් කෙළේ දි මු අගමැතිව සිටිය දී ම කියා. එදින දිවුරුම් උත්සවයේ දී එවැනි අස් කිරීමේ ලිපියකට මෛත්‍රිපාල අත්සන් කරනවා නම් කළ යුත්තේ ඔහු දිවුරුම් දීමෙන් පසු හා රනිල් දිවුරුම් දීමට පෙර. එවැන්නක් අත්සන් කළ බවක් අප දුටුවේ නැහැ. එමෙන් ම එදින කිසිම විස්තර ප්‍රචාරයක එ බවක් ඒ මොහොතේ හෝ වෙනත් අවස්ථාවක හෝ ප්‍රචාරය වුණේ නැහැ. ඒ සා වැදගත් ප්‍රවෘත්තියක් ප්‍රචාරය නොකර සිටීමට කිසිම හේතුවක් නැහැ.

එහෙත් පඬි පෝතකයා පසු දිනෙක අසා තිබෙනවා ලලිත් වීරතුංග සරත් සිල්වාට එවැනි අස් කිරීමේ ලිපියක් අත්සන් කළ බවක් පැවසූ වග. ලලිත් වීරතුංග එවැන්නක් සරත් සිල්වාට කියා ඇත්නම් පඬි පෝතකයාට අනුව එය නිවැරදි විය යුතුයි. ඔහු පිළිගන්නවා මෛත්‍රිපාල අස්කිරීමේ ලිපියක් අර සුළු මොහොතේ අත්සන් කළ බව. පඬි පෝතකයා කියන්නේ එලෙස අත්සන් කිරීමේ ප්‍රවෘත්තිය නිවේදකයන්ට දිමට අවශ්‍ය නැති බව. පඬි පෝතකයා කියන්නේ එවැනි ලිපියක් අත්සන් කළ බවත් එය ප්‍රචාරය නොකළ බවත්.

ලලිත් වීරතුංග සරත් සිල්වාට එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුවක් තිබිය යුතුයි. ලලිත් වීරතුංග සරත් සිල්වාට කිසිම හේතුවක් නැතිව එවැන්නක් කිව යුත්තේ ඇයි. සමහරවිට සරත් සිල්වා එවැනි ලිපියක් ඇත් ද කියා ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කරන්න ඇති. එසේත් නැත්නම් අස් කිරීමේ ලිපියක් නැති බවට සමාජයේ යම් සාකච්ඡාවක් තියෙන්න ඇති. දැන්නම් එවැනි ලිපියක් තියෙන බව මා පිළිගන්නවා. එහෙත් මා කියා සිටියේ 2015 ජනවාරි නවවැනි දා මෛත්‍රිපාල තමා දිවුරුම් දුන් ප්‍රකාශය අත්සන් තැබීමෙන් පසු රනිල් පත්කිරීමට පළමු එවැනි ලිපියක් අත්සන් නොකළ බවයි.

පඬි පෝතකයා මගේ කීම පිළිගන්නේ නැහැ. එහෙත් ඔහු එසේ නොපිළිගැනීම නිසා මා සිත් තැවුළට පත් වී නම් ඔහු ඒ ගැන කණගාටු වන බව කියනවා. මා සිත් තැවුළට පත් වී නැහැ. ඔහු කණගාටු විය යුතුත් නැහැ. ඔහු මා කියන දේට වඩා ලලිත් වීරතුංග කියන දේ පිළිගන්නවා. මා ඒ ගැන කණගාටු වන්නේ නැහැ. එදින දිවුරුම් උත්සවයේ ශ්‍රව්‍ය දෘෂ්ඨි පටයක් ඇත්නම් මා එය නැරඹීමට කැමතියි. පඬි පෝතකයාටත් එය නැරඹිය හැකියි. ලලිත් වීරතුංග ඊනියා හොඳ ජනාධිපති ලේකම් කෙනකු බව නම් ඇත්ත. මා ඒ බව පිළිගන්නවා. ඔහු ජනාධිපතිවරුන්ට අවශ්‍ය විධියට කටයුතු කළා. එහෙත් රනිල් ඔහු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පේනවා.

ජනාධිපති අද ඉන්නේ පල්ලම් බහින තත්වයක. රනිල් ඉතා උපක්‍රමශීලී ව බලය තහවුරු කර ගනිමින් ඉන්නවා. සති කිහිපයකට පෙර ඔහු තම ව්‍යාපෘතිය ඇරඹුවේ එ ජා ප පසුපෙළ මන්ත්‍රීන් දමනය කර ගැනීමෙන්. මා එදා ම කිහිප දෙනකුට පෞද්ගලික ව පැවසුවා රනිල් ඉවත් කිරීම පරාජය වන සටනක් බව. අද මෛත්‍රිපාල එදාට වඩා දුර්වලයි. ඔහුගේ කණ්ඩායමේ සමහර ඇමතිවරුන් ඔහු අත්හැර යෑමට කතා කරනවා. ඒ කතා බලපෑම් මත අනෙක් පැත්තට යන්නත් පුළුවන්.

ඉරිදා සිදුවන්නේ යැයි කියන ඇමති මණ්ඩල සංශෝධනයෙන් රටට වැඩක් නැහැ. සංශෝධනයෙන් වැඩක් වීමට නම් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. එය දාම් ලෑල්ලෙන් ඉත්තන් ඉවත් කරනවා වැනි වැඩක්. එහෙත් මෛත්‍රිපාලට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ශක්තියක් නැහැ. ඒ ශක්තිය දිය හැක්කේ මහින්දට පමණයි. එහෙත් මහින්ද ගණන් බලන්නේ 2020 දී ජය ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.

මෙය කණාගාටුදායක තත්වයක්. අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් ද කල්පනා කරන්නේ ආසන සංවිධායකකම් ගැනයි. 2020 ගැන නිශ්චිත ව නොදැන ආසන සංවිධායකකම්වලින් ඇති ඵලය කුමක් ද? කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි වන්නේ ආසන සංවිධායක කොට්ඨාස සංවිධායක ආදිය වැදගත් වන්නේ නම් ඒ ඉතා ආන්තික ව බවයි. අද රටේ පවතින තත්වය අනුව වැදගත් වන්නේ මහින්ද සාධකයයි.

ආසන සංවිධායකකම්, මැතිවරණ සංවිධායකකම් මහින්ද තරම් වටින්නේ නැහැ. ජනවාරි අටවැනි දා ඇතැමුන් මෛත්‍රිපාලට ඡන්දය  දුන්නේ මහින්ද මට්ටු කිරීමට. මහින්දගේ පරාජයත් සමග ඔවුන් තමන්ට දොස් කියා ගත්තා. ඔවුන් එක් රැයකින් මහින්දවදීන් වුණා. මෛත්‍රිපාලට ඡන්දය දුන් අය අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම හිස් හිස් තරුණ තරුණියන් සිටියා. අප පෙන්වා දී ඇත්තේ මෛත්‍රිපාලගේ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමෙන් සිදුවන්නේ රනිල් ශක්තිමත් වීම පමණයි. එදා මෙන් අදත් බටහිර රටවල් ඉන්නේ රනිල් සමග. අද නම් ඉන්දියාව ඇත්තේත් එතැනයි

මේ බලවේගවලට මුහුණ දෙන්න ලෙහෙසියෙන් බැහැ. මට තේරෙන විධියට රනිල් ඉවත් කිරීමේ සටන දැන් පැරදිලා. එහෙත් කිසිවකු එය අත්හැර නැත්නම් මා ඔහුට සුබ පතනවා. හැකි නම් රනිල් ඉවත් කළ යුතුයි. ඒ සඳහා 2020 වන තෙක් බලා සිටින්නේ වෙනත් අරමුණු ඇති අයයි. 2020 වීමට පෙර මෙරට බොහෝ දේ සිදු වේවි.   



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-24