Main Logo

Friday 2 February 2018

පුද්ගලයා හා පක්‍ෂය



පුද්ගලයා හා පක්‍ෂය


බොහෝ දේ ලිවීමට තියෙනවා. ඒත් ඒ කිසිවක් අනෙක් අයට වැදගත් නොවන බව පැහැදිලියි. මුහුණු පොතේ අයට මා ඩීල්කාරයකු. දෙරණේ දිලිත් ජයවීරට මා ගේම්කාරයකු. එහෙත් මේ කිසිවකුවත් මගේ ඩීල් ගැන ගේම් ගැන කියන්නේ නැහැ. අඩු ගණනේ මට දැන ගැනීමටවත් කියනවා නම් හොඳයි.  අද දිලිත් අධ්‍යක්‍ෂ ධුරය දරණ සමාගමකට එ ජා ප මැතිවරණ ප්‍රචාරක දැන්වීම් භාරදීලා. දෙරණ ඇලෝෂියස්ගේ ජනයුගය මිළ දී ගැනීමට යන බවට ආරංචියක් තියෙනවා. ඒ සියල්ල ව්‍යාපාරික කටයුතු වෙන්න ඇති. එහෙත් අපේ දේ රැකගන්නවා යැයි කියන දෙරණ අපේ දේ නොරකින බව නම් පැහැදිලියි. දෙරණ ගැන මට සැකයක් ඇති වෙලා ටිකක් කල්. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු.

ජනමාධ්‍යයට තබා සමාජයීය මාධ්‍යටවත් මා ගැන විශ්වාසයක් නැහැ. නැත්නම් ඔවුන් මට ඩීල්කාරයකු කියන එකක් නැහැ. මා සිංහල බෞද්ධයකු හා ජාතිකවාදියකු පමණයි. මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. මොකක් දෝ කරුමයකට මට විශ්වවිද්‍යාලවල උගන්වන්න ලැබුණා. එහෙත් මා උගන්නපු දෙයක්වත් කිසිවකු මගෙන් ඉගෙන ගත් දෙයක්වත් නැහැ. ඒ ගැන ජී එල් පීරිස්ගෙන් හා මහින්දගේ තවත් හිතවත් මහාචාර්යවරයකු වූ ඈපාසිංහගෙන් දැනගන්න පුළුවන්. ඔවුන් සහ තවත් අය එකතු වී මා කොළඹින් අස් කිරීමට කටයුතු කළා. ඒ මා ඉගැන්නුවේ නැති නිසා හා දේශනවල දී දේශපාලනය කරපු නිසා කියා ඒ අය කියාවි. 

මේ සියල්ල මා මාක්ස්වාදියකු හා විද්‍යාඥයකු නොවන බව සමාජය තේරුම් ගැනීමෙන් පසුව සිදු වූ දේ. මා දෙවියන් ගැන කී දේ උගතුන්ට අප්‍රිය වුණා. විද්‍යාව පට්ටපල් බොරු බව කී පසු ජාතිකවාදීන් ද මා සමග උරණ වුණා. විදුසර පත්‍රයෙහි මට ලිපි ලිවීමේ අවස්ථාව නැති කළා. එයට කලින් දිවයින මා අයින් කර තිබුණා. විද්‍යුත් නාළිකා මා බැහැර කළා. කොහොමටත් ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් තමන්  සියල්ල දත් පුද්ගලයන් ලෙස පෙනී ඉන්නවා. දැන් මා ඒ ජනමාධ්‍ය මට ආරාධනා කළත් මා ඒ ආරාධනා පිළිගන්නේ නැහැ. මෑතක් වන තුරු ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකු පමණක් මා යමක් කියන බව පිළිගත්තා. එහෙත් ඔවුන් ද දැන් මා ප්‍රතික්‍ෂෙප කරනවා. ඒ මහින්ද හා මෛත්‍රිපාල රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට එකතු විය යුතු බව පැවසීමෙන් පසු.

මා කොහොමටත් රනිල් අගමැති කමෙන් ඉවත් කළ යුතු බව කියන්නේ 2015 මුල සිට ම. අද නම් බොහෝ දෙනා ඒ ගැන කියනවා. එහෙත් ඔවුන්ට අවශ්‍ය එකවිට රනිලුත් මෛත්‍රිපාලත් ඉවත් කිරීමට. එය කරන්නේ අර තුනෙන් දෙක ලබා නොදී බවයි ඔවුන් පවසන්නේ. එහෙත් එය කරන්නේ කෙසේ ද යන්න ගම්මන්පිළවත් කියන්නේ නැහැ. ඔහුගේ කතා හා ඩිලාන් පෙරේරාගේ කතා අතර එතරම් වෙනසක් නැහැ.

මේ මැතිවරණයෙන් පොහොට්ටුවට සභා වැඩි ප්‍රමාණයක් අත් වේවි. එහෙත් ඒ මහින්දට දෙන ඡන්ද ද, ජී එල් පීරිස්ට දෙන ඡන්ද ද. බැසිල්ට දෙන ඡන්ද ද, අපේක්‍ෂකයාට දෙන ඡන්ද ද, නව ව්‍යවස්ථාවට විරුද්ධව දෙන ඡන්ද ද, කියා කීමට ක්‍රමයක් නැහැ. එහෙත් ප්‍රතිඵලවලින් පසු එක් එක් අය ඒ සඳහා විවිධ අර්ථකථන කරාවි. නව ව්‍යවස්ථාවට, රාජ්‍ය දේපළ විකිණීමට, රණවිරු දඩයමට විරුද්ධව දෙන ඡන්දයක් නම් හොඳයි. එහෙත් මුහුණු පොතේ අයට නම් ඒ එකක්වත් වැදගත් නැහැ. ඔවුන්ට අවශ්‍ය හැකිනම් මෛත්‍රිපාල ඉවත් කිරීමයි. ඒ වෛරී දේශපාලනය.

මේ ඡන්ද ක්‍රමයෙන් ඡන්දදායකයාගේ අයිතිවාසිකම් පැහැර ගෙන. අද අපට ලකුණු කරන්නට සිදු වී ඇත්තේ අපේක්‍ෂකයාටත් පක්‍ෂයටත් එක්වර. කොට්ඨාශයට ඉදිරිපත් වන අපේක්‍ෂකයාට කැමති වී ඔහු හෝ ඇය හෝ ඉදිරිපත් වන පක්‍ෂයට අකමැති නම් අප ඡන්දය ලකුණු කරන්නේ කොහොම ද? එහෙමත් නැත්නම් පක්‍ෂයට කැමති වී අපේක්‍ෂකයාට අකමැති නම් ඡන්දය ලකුණු කරන්නේ කෙසේ ද? බොහෝ කලකට පෙරත් ඒ ප්‍රශ්නය තිබුණා. එහෙත් අනුපාත ක්‍රමයෙන් පසු එය වෙනත් ආකාරයකින් ඉදිරිපත් වෙනවා. අප ඡන්දය දුන් පසු ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරන්නේ මැතිවරණ කොමිසමට හා පක්‍ෂයට අවශ්‍ය ආකාරයට මිස අපේ කැමැත්ත අනුව නො වෙයි. මට අවශ්‍ය වුවත් නැතත් කාන්තා අපේක්‍ෂකයන් යම් පිරිසක් තෝරා ගන්න වෙලා.

මේ ටික කියවලා යමකු කියන්න පුළුවන් මා පුරුෂාධිපත්‍යය වෙනුවෙන් ලියන දේශපාලන විඥානය වර්ධනය නොවූ අයකු ය කියා. අද දේශපාලනයේ පක්‍ෂ මිස පුද්ගලයන් නැත කියා පඬියකු ඉදිරිපත් වී මට කියා දෙන්න පුළුවන්. අප කතිරය ලකුණු කළ යුත්තේ පක්‍ෂයට මිස අපේක්‍ෂකයාට නොවන බවත් ඔවුන් කියාවි. අද මා පදිංචි වී සිටින මා ලියා පදිංචි වී සිටින කොට්ඨාශයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගෙන් කවුද කියා අසාවත් ඇත්තේ එක් අයකු පමණයි. මා පුද්ගලයන් ගැන හොයන්නේ මගේ නුගත්කම නිසා යැයි ප්‍රබුද්ධයන් කියාවි. එහෙත් අද මහින්ද පක්‍ෂ තත්වය ඉක්මවා ගිය අයකු ලෙස බොහෝ දෙනාට අමතක වෙනවා. ඔහු අද පුද්ගලයෙක්, ඔහු සාමාජිකත්වය දරණ පක්‍ෂය කුමක් දැයි බොහෝ දෙනාට වැදගත් නැහැ. මෙය මෙරට ක්‍රියාත්මක වන ඡන්ද ක්‍රමයේ ප්‍රශ්නයක්. මහින්දට ජනබලයක් තිබෙනවා. ඔහුට විධායක බලයක් නැහැ.

මෛත්‍රිපාලට එවැනි පෞද්ගලික ආකර්ෂණයක් නැහැ. ඔහු ජනාධිපතිවරණයට තරග කෙළේ ඔහු සාමාජිකත්වය දැරූ පක්‍ෂයෙන් නො වෙයි. එහෙත් ඔහු ජයග්‍රහණය කෙළේ ඔහුගේ පෞද්ගලික ඡන්දයකින් නො වෙයි. එක්සත් ජාතික පක්‍ෂයේ හා දෙමළ ජාතික සංධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ ඡන්දවලින්. ඔහුට නෛතික විධායක බලය මිස විධායක බලයක්වත් ජනබලයකවත් නැහැ. ඔහු අද ඒ දෙකම ඉල්ලනවා.

රනිල්ට ජනබලයක් නැහැ. එහෙත් ඔහුට නෛතික ව නූනත් විධායක බලතල තියනවා.මහින්දවාදීන් ජනබලයත් විධායක බලයත් රනිල්ට පැවරීමට වක්‍ර ව කටයුතු කරනවා.

පුද්ගලයා හා පක්‍ෂය අතර සම්බන්ධය අප හිතන තරම් සරල නැහැ. මට එය තේරෙන්නේ නැත්තේ මා උගතකු හෝ බුද්ධිමතකු හෝ නොවන නිසා වෙන්න පුළුවන්. එය තේරුම් ගන්නා අය මට ඩීල්කාරයා, ගේම්කාරයා, දේව පිස්සා ආදී නම් පටබඳිනවා.           


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-02