Main Logo

Friday 9 February 2018

බටහිර දැනුමේ අඩුපාඩු



බටහිර දැනුමේ අඩුපාඩු


බටහිර දැනුමෙ තියෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වන්නෙ වෙන් කිරීම. සමස්තය කැබලිවලට කඩා විශ්ලේෂණය කිරීම. එහි සංස්ලේෂණයට වඩා විශ්ලේෂණය වැදගත්. වෙන් කිරීම සමස්තයට වඩා වැදගත්. සමස්තය කතෝලික චින්තනයෙ අංගයක්. කතෝලික කියන එකේ තේරුමත් සමස්තය යන්න. මේ වෙන් කිරීම ප්‍රධාන තැනකට පත් කෙළේ මාටින් ලූතර්. ඔහු පාප් වහන්සේට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීමේ දීත් වෙන් කිරීම පෞද්ගලිකත්වය බලපෑවා. තම තමන්ට තනියම දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න පුළුවන් බව මාටින් ලූතර්ගෙ අදහස වුණා.
 

වෙන් කිරීම ඇරිස්ටෝටලීය න්‍යාය, ද්විකෝටික න්‍යාය සමග බැඳිලා. කතෝලික චින්තනයෙ න්‍යාය ත්‍රිකෝටිකයි. දෙවියන් වහන්සේත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාත් එක් අයකු විය හැක්කේ ත්‍රිකෝටික න්‍යායෙහි. ඇරිස්ටෝටලීය න්‍යායෙහි ද්විකෝටිකය තිබුණත් එය ප්‍රායෝගික ව කරන්න පුළුවන් වුණෙ  මාටින් ලූතර්ට. ගැලීලියෝ කතෝලික වුවත් ඔහුට වෙන් කිරීම බලපෑවා. නිව්ටන්ලා හා පසුව සියලු බටහිර විද්‍යාඥයන්ට මේ වෙන් කිරීම හා ඒ සමග බැඳුණු විශ්ලේෂණය බලපෑවා.

සමස්තය කොටස්වලට කඩන්න පුළුවන් බව කීම බටහිර විද්‍යාඥයන්ට ඉතා  වැදගත් වුණා. එය වෙනත් අදියරයකට ගෙනාවෙ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන්. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අවුරුදු සීයයක් ගෙවී තිබුණත් බටහිරයන්ට එහි සංකල්ප සම්භාව්‍ය සංකල්පවලින් ම තේරුම් ගන්න සිද්ධ වෙලා. මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය නීල්ස් බෝර්ට තේරුම් ගියා. එහෙත් ඔහුට එයට පිළියමක් තිබුණෙ නැහැ. බටහිර භාෂා බොහෝ දුරට වෙන් කිරීමට වැදගත් තැනක් දෙනවා.

මේ වෙන් කිරීම සාධාරණීකරණය කරන්නෙ බටහිර ගණිතයෙන්. බටහිර ගණිතයෙ කුලකවාදයෙන්. කුලකවාදයෙ ප්‍රශ්න තියෙනවා. මා ඒ නිසා කුලකවාදය අයින් කරන්න කියනවා නොවෙයි. බටහිර ගණිතයට කුලකවාදය නැතිව බැහැ. සම්මත කුලකවාදය වෙනුවට වෙනත් කුලකවාද ගොඩ නැගීමට ඇතැම් ගණිතඥයන් උත්සාහ කරලා තියෙනවා. එහෙත් ඒ කුලකවාදවලින් ගණිතයක් ගොඩ නගන්න බැහැ.

බටහිර ගණිතයෙ ඊනියා ඇත්ත සත්‍යය කියලා සංකල්පයක් නැහැ. බටහිර වඩාත් ම වියුක්ත වූ රූපික න්‍යායෙහි (ෆෝර්මල් ලොජික්) ඇත්ත කියන සංකල්පය භාවිතා වන්නේ නැහැ. එහි ඇත්තේ සංස්ථාපනය කිරීම. එහෙත් බටහිර විද්‍යාවට එය හරියන්නෙ නැහැ. බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය සමගයි. පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය පැවැත්ම සමග බැඳිලා. පැවැත්ම එසේත් නැත්නම් ඇති දේ යන්න ඒ ලෝකයෙහි වැදගත්. සත්බව කියන්නෙත් පැවත්ම. ඇත්ත සත්‍යය යන සංකල්ප මේ ඇති බව පැවැත්ම සමග බැඳිලා.

බටහිර ගණිතය අප ශුද්ධ ගණිතය ලෙස හඳුන්වන්න, බටහිර න්‍යාය හා බටහිර විද්‍යාව අතරමැද තියෙන ක්‍ෂෙත්‍රයක්.ඒ ව්‍යවහාරික ගණිතය නම් නොවෙයි. බටහිර ගණිතයෙහි ඇත්ත කියන සංකල්පය අර්ථදක්වන්න කිහිප දෙනකු උත්සාහ කර තිබෙනවා. ටාස්කි කියන අය ඉන් ප්‍රධාන කෙනෙක්. එහෙත් මේ කිසිවකුට ගණිතයෙහි ඇත්ත යන්න නිරවුල් ව අර්ථදක්වන්න හැකි වෙලා නැහැ. බර්ට්‍රන්ඩ් රසල් වරක් කියා තිබුණේ අප ගණිතයෙහි කියන්නේ කුමක් ද යන්න නොදන්නා බවයි.         

මා බටහිර දැනුම විවේචනය කරන්නෙ එය ප්‍රතික්‍ෂෙප කිරීමට නො වෙයි. එහි ඇති අඩුපාඩුකම් පෙන්වීමට හා එහි ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කිරීමට. මගේ උත්සාහය බටහිර දැනුමේ අඩුපාඩුකම් පෙන්වීමට මිස වැරදි පෙන්වීමට නො වෙයි. මගේ උත්සාහය බටහිර දැනුම යොදා ගැනීමේ දී එහි ඇති අඩුපාඩුකම් ගැන විමසිලිමත් වීමටත් අපේ දැනුම ආධ්‍යාත්මික නොවන ආකාරයකින් ගොඩ නැගීමේ දී අප ක්‍රියා කළ යුතු ආකාරය ගැන මග පෙන්වීමක් කිරීමටත්.

බටහිර කුලකවාදය පිළිබඳ රසල්ගේ විවේචනයක් තියෙනවා. එය කුලකවල ඇති පරස්පරයක් පෙන්වීමට ගොතන ලද්දක්. එහි කියැවෙන්නේ මෙවැනි දෙයක්. R යනු ඒ ඒ කුලකයට අයත් නොවන සියලු කුලකයන්ගේ කුලකය යැයි සිතමු. දැන් ප්‍රශ්නය වන්නේ R කුලකය එයට අයත් ද යන්නයි. අර්ථදැක්වීම අනුව අප එය එයට අයත් යැයි සැලකුවහොත් එය එයට අයත්වන්න බැහැ. අනෙක් අතට එය එයට අයත් ලෙස සැලකුවහොත් එය එයට අයත්වන්නේ නැහැ. මෙය රසල්ගේ පරස්පරය හෙවත් විරුද්ධාභාසය ලෙස හැඳින්වෙනවා. 

කුලක පිළිබඳ මගේ විවේචනයක් අවුරුදු තිහකට පමණ පෙර ඉදිරිපත් කළා. එය දේවානම්පිය තිස්ස රජුගෙන් මිහිඳු මහා රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්න අරභයා කරන ලද්දක්. ඒ විවේචනය මෙරට උගතුන් අතර සාකච්ඡාවට භාජනය වුණේ නැහැ. අපි හෙට එය නැවතත් සාකච්ඡා කරමු. මේ අඩුපාඩු සියල්ල ඇරිස්ටෝටලීය න්‍යායෙන් ගලා එන දේ. ද්විකෝටික න්‍යාය පමණක් භාවිතයෙන් අපට පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයවත් ඇතැම් අවස්ථාවල තේරුම් ගන්න  බැහැ. දැන් කාට හරි අහන්න පුළුවන් තේරුම් ගන්නවා කියන්නේ මොකක් ද කියලා. ඒ ප්‍රශ්නයත් අපි පසුව සාකච්ඡා කරමු.   


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-09