Main Logo

Saturday 17 February 2018

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි


සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉදිරිය පෙනෙන්නන්ට කල්පනා කරන්නන්ට එතරම් පිළිගැනීමක් නැහැ. පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බැහැ, ගඟ හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහනව වැනි කතා අප අතර තියෙනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මොන තරම් අවුලක් මවල ද කියලා දැන් තේරෙනවා. අප ඒකට විරුද්ධ වන්න කියද්දි  සරත් වීරසේකර හා ජානක බණ්ඩාර හැර අනෙක් අය විවිධ හේතු නිසා එයට සහාය දුන්නා. පළාත් පාලන ආයතන මැතිවරණ පනතෙ 60-40 අනුපාත ක්‍රමය හා කාන්තා නියෝජනය හරිහැටි සූත්‍රගත කරලා නැහැ. අනුපාත ක්‍රමයට මන්ත්‍රී ධුර 40%ක් හිමිවන්න ඕන. ඒත් දැන් එය ගණනය කරන විධිය වැරදියි. අනුපාත නියෝජනත්වය ගණනය කරන්නෙ 40% ලෙස නොව 100% ලෙස. ඒ නිසා කොට්ඨාස ක්‍රමයට වැඩි මන්ත්‍රී ධුර දිනාගන්නා පක්‍ෂයට අවාසියක් වෙනවා.  25% කාන්තා අනුපාතය අනුව ඇතැම් පක්‍ෂවලට කාන්තාවන් කාලක් බාගයක් තෝරා ගන්න වෙන අවස්ථාවල මොකක් ද කරන්නෙ කියන එක නීතියේ සඳහන් වෙන්නෙ නැහැ. දැන් මැතිවරණ කොමිසම කතා කරනවා කාන්තා නියෝජනය සංශෝධනය කරන්න. එහෙම කළොත් (කරන්න පුළුවන් ද?) කාන්තා නියෝජන ප්‍රශ්න නිසා ප්‍රතික්‍ෂෙප කළ නාම යෝජනාවලට මොකද වෙන්නෙ. මහරගම නැවත ඡන්දය පවත්වනවා ද? අප කටයුතු කරන්නෙ හැඟීම්වලට මුල් තැන දීලා. කල්පනා කිරීම බොහොම අඩුයි.

පහුගිය කාලෙ තොරතෝංචියක් නැතිව අපි තරහයි නාට්‍යය ගැන කිවවා. මෛත්‍රිපාල එක්ක කිසිම ගණුදෙනුවක් නැහැ කියලා කිව්වා. ඡන්දෙන් පස්සෙ නාට්‍යය ඉවරවෙයි කියලා කිව්ව. මෛත්‍රිපාල විශ්වාස කරන්න බැරි පඹයකු කියා කිව්වා. මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න ශක්තිය ලබා දෙන්න කීමේ වරදට පඬි පෝතකයන් මට සමච්චල් කළා. අපට ඇත්තේ මෝඩ තර්ක ගොන් තර්ක කියලා පඬියන් කිව්වා. මා ඩීල් කාරයකු ගේම් කාරයකු කියා කිව්වා. දැන් බලන කොට නාට්‍යය නරඹමින් සිටි අය  නාට්‍යයෙ නළුවො වෙලා. මෙය ප්‍රේක්‍ෂකයන් නළුවන් බවට පත්වීමේ රංග ශෛලිය ද? නළුවො වෙච්ච ප්‍රේක්‍ෂකයො  මෛත්‍රිපාලත් එක්ක ගහ වටේ රවුමෙ යමින් ප්‍රේම ගීත කියනවා. නාට්‍යයක් නැහැ කියපු අප ශාලාව, ඉස්සර නම් නාට්‍ය මඩුව, ඇතුළටවත් ගන්නෙ නැහැ. යම් විධියකින් රනිල් දිගට ම හිටියොත් නළුවො ටික වේදිකාවෙන් බැහැලා කියාවි අපි කිව්වෙ මේක නාට්‍යයක් කියලා.      

අගමැති අස් නොවීම ගැන විවිධ කතා කියනවා. ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා නීති විශාරදයො කියනවා. ඔවුන් කියන්නෙ එ ජා ප - ශ්‍රි ල නි ප ගිවිසුම අවලංගු නිසා ඊනියා ජාතික ආණ්ඩුව අහෝසි කියලා. ඒ නිසා අගමැතිත් අහෝසි කියලා. ඊනියා ජාතික ආණ්ඩුව පිහිටෙව්වෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙ 46(5) අනුව්‍යවස්ථාව යටතෙ. එහි කිසිම තැනක ගිවිසුමක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. කතානායකටවත් ජනාධිපතිටවත් එවැනි ගිවිසුමක් අදාළ වෙන්නෙ නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකූල නැති බව මා කියන්නෙ ගිවිසුමක් පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව ශ්‍රී ල නි පක්‍ෂයක් පාර්ලිමේන්තුවෙ නියෝජනය නොවන නිසා. ඒ විධියට ම තමයි ඒකාබද්ධ විපක්‍ෂයවත් පොදුජන පෙරමුණවත් පාර්ලිමේන්තුවෙ නියෝජනය නොවන්නෙ. මේ ගැන මා කලින් ලියා තියෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ.

රනිල් ඉවත් කර අගමැති කෙනකු පත්කිරීම ගැන මා කියන්න වෙලා අවුරුදු තුනක් පමණ වෙනවා. අගමැති කෙනකු පත් කිරීම, ඉවත් කිරීම ගැනත් මා කතා කරලා තියෙනවා. මෑතක දි 2017 නොවැම්බර් 25 වැනි දා ආණ්ඩුව වෙනස් කළ යුතුය වෙනස් කළ හැකිය යන මැයෙන් මා ලියූ ලිපියක් හිරණ්‍යා මල්වත්ත මුහුණු පොතේ ඊයේ පළ කර තිබුණා. එයට කැමැති අය හිටියෙ දහදෙනකුට අඩුවෙන්. ඒ තමයි මුහුණු පොතේ තත්වය. දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් මුහුණු පොතේ පඬි පෝතකයන් මා ලියන කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ. 

අද අගමැති ඉවත් කිරීමේ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 42(4), 43(3), 46(2) වගන්ති. 42(4) යටතේ ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසයක් උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන්න පුළුවන්. මෙහි කොතැනකවත් සඳහන් වන්නේ නැහැ මෙය පාර්ලිමේන්තුව පත් වූ විගස පමණක් කළ යුතුය කියා. 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් පසු ඒ අවධියේ ජනාධිපති හිතන්න ඇති රනිල්ට තමයි පාරලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන්නෙ කියලා. එකල සංධානයත් දෙකට බෙදිලා. ජනාධිපතිට 42(4) යටතේ පුළුවන් ඕනෑම  අවස්ථාවක තම මතය අනුව පාර්ලිමේන්තුවෙ උපරිම විශ්වාසය තියෙන අය අගමැති කරන්න පුළුවන්. අද තියෙන්නෙ 2015 අගෝස්තු 17 වැනි දා තිබූ තත්වය නොවෙයි කියලා ජනාධිපතිට කියන්න පුළුවන්. විශේෂයෙන් ම පෙබරවාරි 10 වැනි දාට පසු තත්වය වෙනස්. ඒ නිසා සංධානයේ (ශ්‍රී ල නි ප නොව) නිමල් සිරිපාල අගමැති කරනවා කියලා ඔහුට දිවුරුම් දෙන්න සලස්සන්න පුළුවන්. මෙහි දී නීතිපතිගෙන් කරුණු විමසීම මෝඩකමක්.

43(3) යටතේ ජනාධිපතිට ඇමති මණ්ඩලයේ සංයුතිය ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකීියි. සංයුතිය යන්නට අගමැතිත් අයිතියි. එවැනි වෙනස්කිරීම් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට (කන්ටින්‍යුටි) බල පාන්නේ නැති බව 43(3) ම සඳහන් වෙනවා. තරමක පරස්පරයක් පෙනෙන්න තියෙන්නෙ 46 (2) ඒ අනුව ඉල්ලා අස් නොවුණහොත් හරි මන්ත්‍රී ධුරය අහෝසි නූණොත් හරි මිසක් අමාත්‍ය මණ්ඩලය පවතින තාක් අගමැති තම තනතුර දරනවා. දැන් ප්‍රශ්නය වන්නේ අමාත්‍ය මණ්ඩලය පවතින තාක් යනු කුමක් ද යන්නයි. දැන් ගිවිසුම අහෝසියි ඒ නිසා ජාතික ආණ්ඩුව අහෝසියි ඒ නිසා අගමැති අහෝසියි යන තර්කය වලංගු වන්නේ නැහැ. ගිවිසුම අහෝසි වුණත් ආණ්ඩුව අහෝසි වන්නේ නැහැ. ඒ නිසා තර්කය එතැනින් එහාට යන්නේ නැහැ.

එහෙත් 43(3) යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය එහි අඛණ්ඩතාවයට බලපාන්නෙ නැති විධියට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නෙ එවිට අමාත්‍ය මණ්ඩලය පවත්නේ නැති බවයි. එවිට අගමැතිකම නැති වෙනවා. එමෙන් ම 42(4) යටතේ ජනාධිපතිට ඕනෑම අවස්ථාවක අගමැති කෙනකු පත් කරන්න පුළුවන්. මෙහි කිසිම ව්‍යවස්ථා අර්බුදයක් නැහැ. රනිල් හා නීතිඥයන් ව්‍යවස්ථා අර්බුදයක් මවනවා. ජනාධිපතිට දැන් සංධානයේ නිමල් සිරිපාල සිල්වා අගමැති ලෙස පත් කිරීමට කිසිම බාධාවක් නැහැ.



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-17