විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි
ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව
බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ
ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ
බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා
තියෙනවා. මා ඔවුන් තරම් බුදුදහම (දහම්)
අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ
බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ
සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.
මා උපන්නේ සිංහල බෞද්ධ පවුලක. මට කුඩා කළ පැවිදි වීමේ ආශාවක් තිබුණා.
පියා කීවේ පළමුව ඉගෙන ගන්න කියා. ඒ අනුව මා ඉගෙන ගත්තා. එහෙත් අවාසනාවකට ව්‍යාජ
අධ්‍යාපනයත් කසිකබල් සමාජ ඇසුරත්
සමාජවාදයත් නිසා තරුණ කළ මා බුදුදහමින් ඉවත් වුණා. එය කෙළවර වුණේත් බටහිර විද්‍යාව
හා මාක්ස්වාදය නිසා. එහි ඇති අඩුපාඩු දුටු විට මා ඊනියා සත්‍යය ඇත්තේ කොතනක ද කියා
සොයා බැලුවා. එය අසූවේ දශකයේ මුල සිදු වූවක්.
මා ක්‍රමයෙන් බුදුදහම කුමක් ද යන්න දැනගත්තා. මා බුදුදහම පිළිගන්නේ
මගේ උත්පත්තිය නිසා නො වෙයි. එය හැදෑරීමකින් පසුව සිදු වූවක්. මා දැන් දන්නා දෙය
තමයි බුදදහමේ ඊනියා සත්‍යයක් නැති බව. කළුපහන කියන්නේ සූත්‍ර පිටකයෙහි කිසි තැනක
කිං සච්ච ගවේසි කියා දෙයක් නැති බව. මා සූත්‍ර පිටකය කියවා නැහැ. මා දන්නේ සූත්‍ර
කිහිපයක් පමණයි. ඒත් මට කළුපහන කියන දේ පිළිගන්න පුළුවන්. ඒ තමයි මගේ අවබෝධය.
අවබෝධය කියන එක ගැනත් මගේ ප්‍රශ්න තියෙනවා. ඒත් අපි දැනට අවබෝධය යන වචනය යොදා
ගනිමු.
කිං සච්ච ගවේසි බමුණන්ගේ කතාවක්. එය වෛදික බමණන්ගෙ විතරක් නොවෙයි
බටහිර බමුණන්ගෙත් කතාවක්. ඊනියා විද්‍යාඥයොත් මොන වචනවලින් කිව්වත්
කියන්නෙ ඊනියා සත්‍යයක් ගැන. මා ලෝකයේ සියළු සංස්කෘතීන් ගැන දන්නේ නැහැ. හේතු
නොසෙවූ සංස්කෘතියක් ඇමරිකානු ආදීවාසීන් අතර තිබුණු බව නම් දන්නවා. සුද්දන් හේතු
සොයන විට ඒ ආදිවාසීන් පුදුම වුණා. අප බටහිර හා පෙරදිග සංස්කෘතීන් ගැන පමණක් නොව
විවිධ චින්තන ගැනත් කතා කෙළේ අසූවේ දශකයේ. 1986 දී පළ වූ මගේ ලෝකය කෘතියෙත් මේ බටහිර බෙදීම් ගැන කියනවා.
ඒත් ඊයේ පෙරේදා කරුණාරත්න පරණවිතාන අපට කියා දෙනවා පෙරදිග අපරදිග
බෙදීම භූගෝලිය වශයෙන් නොව සංස්කෘතික වශයෙන් කළ යුතු බව. මාලින්ද සෙනෙවිරත්න ඒ ගැන
අනූවේ දශකයේ සිට දන්නා බව කියනවා. නන්දන පෙරේරා ජාම බේරා ගන්නවා. ඔවුන් මගේ ලෝකය
කියවා නැතිව ඇති. ඒ කුමක් වුවත් මා සත්‍යය ගැන කියන්නේ නැහැ. බුදුදහමේ සත්‍යයක්
නැහැ. දර්ශනයක් නැහැ. සම්මා දිට්ඨියක් නම් තියෙනවා. සම්‍යක් කියන්නේ නිවෑරදි කියන
එක නොවෙයි. අවශ්‍ය නම් ඒ ගැන කළුපහන කියන දේ කියවන්න.
කාලෝ ෆොන්සේකාත් ඊනියා හේතුවාදියෙක්. ඔහු බුදදහම ඉගෙන ගත්තත් එහි
වරදක් කියා ගන්න බැරි වුණා. ඔහු සංසාරය පිළිගන්නේ නැහැ. ඔහු තබා ගුණදාස අමරසේකරවත්
සංසාරය පිළිගන්නේ නැහැ. කාලෝ ෆොන්සේකා සංසාරය
පිළිගත්තේ නැතත් ස්වර්ගය පිළිගන්නවා. ඔහුගේ වීරයන් වූ බර්ට්‍රන්ඩ් රසල් රිචඩ්
ඩෝකින්ස් වගේ අය හේතු පිළිගන්නවා. මේ හේතු බුදුදහමේ නැහැ. බුදුදහමේ කතා කරන්නේ
හේතු ප්‍රත්‍ය ගැන.
හේතු ඇත්තේ නිගමනවල
(deductions) . එහි ඊනියා අනුමාන නීති (rules of Inference) යොදා ගන්නවා. එමෙන් ම ඊනියා සවසිද්ධි (axioms) නැත්නම් ප්රත්යක්ෂ (මේ ප්රත්යක්ෂ කියන වචනය නම් මෙයට සුදුසු
නැහැ) යොදා ගන්නවා. පටන් ගන්නේ ස්වසිද්ධි හා නිර්වචනවලින්. එහෙත් ස්වසිද්ධි නිගමන
නො වෙයි. ඒවා ඇතැම් විට උද්ගමනයෙන් (induction) ලබා ගත් දේ. නැත්නම් නිර්මාණ. එහි ඇති
සත්‍යය කුමක් ද? නිර්වචන පටන් ගන්නේ නිර්වචනය නොකරන ලද
වචනවලින්. හරියට දෙවියන් වහන්සේ වගේ. ඊනියා අනුමාන නීති උද්ගමනයෙන් ලබා ගත් දේ.
ගණිතයෙහි සත්‍යය කියා දෙයක් නිර්වචනය වන්නේ නැහැ. ටාස්කිට ඒ කර ගන්න බැරි වුණා.
ගණිතය ඊනියා දෙවියන් වහන්සේ දුන් දෙයක්වත් මිනිසාගෙන් ස්වායත්ත දෙයක්වත් නොවෙයි.
එය ඊනියා පාරමාර්ථික යථාර්ථයක්වත් නො වෙයි. ගණිතයත් මිනිසාගේ නිර්මාණයක්. මිනිසුන්
නිර්මාණය කළ දැනුමක්.
හේතු සහ නිගමනවල ඇති විශේෂත්වය මොකක් ද? බුදුහමට පරිභව කරන නිරාගාමිකයන් ද අනෙක් නිරාගාමිකයන් ද හේතු, නිගමන ගැන විශ්වාස කරනවා. ඔවුන්ගේ විශ්වාසය ඇත්තේ කුමක් පදනම්
කරමින් ද? විශ්වාසය, දැනුම ආදිය වෛදිකයන් අතර ද ක්‍රිස්තියානි ඉස්ලාම් කතෝලික හින්දු අය
අතර පමණක් නොව ඊනියා නිරාගාමිකයන් අතර ද තියෙනවා. ඔවුන් දැනුම රැස්කරනවා. එය ධනය
රැස්කිරීමට වඩා එතරම් වෙනස් නැහැ.
බුදුදහමේ දැනුම ද අවසානයේ දී ප්රතික්ෂෙප කරනවා. අර පහුරේ උපමාව ගැන
හිතන්න. නිවන කියන්නෙ අදහසක් සංකල්පයක් හරි වෙනත් නාම පදයක් හරි නොවෙයි. දැනුම
නොදැනුම බවට පත් කිරීම තමයි නිවන් අවබෝධය. ඒ කළ හැකි මාර්ගයක් බුදුහාමුදුරුවො කියල
දීල තියෙනවා. “මා” කියන දැනුම තමයි භයානක ම දැනුම.
පඬියන් දැනුම් රැස් කරනවා. ඊනියා නිරාගාමිකයන්ට පුළුවන් ද තමන් විශ්වාසයක් මත
පදනම් නොවන බව පෙන්වීමට. බුදුදහමේ එවැනි විශ්වාසයක් නැහැ. අපට අවශ්‍ය මේ දැනුම
රැස්කරන්න නොව දැනුම නොදැනුම බවට පත් කරන්න.