Main Logo

Wednesday, 22 August 2018

ඊනියා යුද්ධ ස්මාරක


ඊනියා යුද්ධ ස්මාරක



විග්නේස්වරන් හුදෙක් පුවත් මවන්නකු නො වෙයි. ඔහු සිංහලයන්ට විරුද්ධ ව සාමාන්‍ය දෙමළ කතා කරන ජනයා උසිගන්වන නූතන චෙල්වනායගම් කෙනෙක්. ඔහුට අවශ්‍ය තවත් ප්‍රභාකරන් කෙනකු බිහි කිරීම පමණයි. හිටපු විනිශ්චයකාරයකු දෙමළ කතා කරන ජනයාට මෙරට තැනක් නැහැ කියන එක ගැන පුදුම වෙන්නත් බැහැ. ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට යන්න පෙර ඉංගිරිසි කතා කරන අයෙක්. ඉංගිරිසි කතා කරන කියන එකෙන් මා අදහස් කරන්නෙ ඉංගිරිසි කතා කරන්න පුළුවන් කියන එක නො වෙයි. තම සමාජ ආශ්‍රයේ දී වැඩි පුර යොදා ගන්න භාෂාව ඉංගිරිසි කියන එකයි.




සිංහලයන්ට විරුද්ධ ව සාමාන්‍ය දෙමළ කතා කරන ජනයාගේ විරුද්ධත්වයක් එකල තිබුණෙ නැහැ. ඉංගිරිසි කතා කරන වෙල්ලාල නායකයන් නම් අඩුම තරමින් 1833 සිට ම සිංහලයන්ට විරුද්ධ ව රටේ ම නායකයන් වීමට කටයුතු කළේ ඉංගිරිසින්ගෙ ආධාරයෙන් අනුබලයෙන් හා අනුග්‍රහයෙන්. එදා සිට ම සිංහලයන්ට හිටි නායකයන් මුළුමනින් ම මෙන් ඉංගිරිසින් දුන් අය මිසක් අප බිහි කර ගත් නායකයන් නො වෙයි. අපට සිටි අනගාරික ධර්මපාලතුමා වැනි නායකයන් නැති කිරීීමට ඉංගිරිසින් සහ ඔවුන් අපට දුන් නායකයන් ක්‍රියා කළා. එහි දී විජේවර්ධන පවුලේ ලේක්හවුස් ආයතනය විශේෂ කාර්යභාරයක් ඉටු කළා. සිංහලයන්ට විරුද්ධ ව සාමාන්‍ය දෙමළ කතා කරන ජනයා මෙහෙයවීම ඇරඹුයේ චෙල්වනායගම්. ඇතැම් පඬියන් දෙමළ රාජ්‍ය ප්‍රශ්නය පහළින් ඇති වී යැයි කීම පට්ටපල් මුසාවක්. ඒ දැන දැන කියන මුසාවක්. ඒ මුසාවක් මිස අසත්‍යයක් බොරුවක් නො වෙයි.



විග්නේස්වරන් කියලා ඊනියා යුද්ධස්මාරක ඉවත් කරන්න කියලා. මනෝ ගනේෂන් කියන වෛරී පුද්ගලයා කොළඹ ඉඳන් විග්නේස්වරන්ට සහාය දෙනවා. විග්නේස්වරනුත් කොළඹ වැසියෙක්. ඔහු යාපනයේ ඉන්නෙ දේශපාලනයට. ඔවුන් පමණක් නොවෙයි මංගල වැනි සිංහලයන්ගේ මළ ඇඳුම වියන්නට එංගලන්තයේ දී උගත් සන්නාළියන් කියනවා යාපනයේ සටන් කළේ අපේ ම සොහොයුරන් නිසා ඊනියා යුද්ධස්මාරක අවශ්‍ය නැහැ කියලා. එමෙන් ම මනෝ ගනේෂන් අහනව ජ වි පෙට විරුද්ධව කළ යුද්ධයෙ යුද්ධ ස්මාරක තියෙනව ද කියලා.



මේ සියල්ලන්ට ම කිව යුත්තේ මෙරට ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙරට යුද්ධයක් තිබී නැති බව. අප මෙය අවුරුදු ගණනක් තිස්සේ කියන නමුත් සංකල්ප ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් එය තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ජ වි පෙට විරුද්ධවත් කොටින්ට විරුද්ධවත් මෙරට සිවිල් යුද්ධයක්වත් තිබුණේ නැහැ. මේ යුද්ධ කතාව නිසා තමයි ඊනියා මානව අයිතිවාසිකම් කතා ඇති වී තිබෙන්නේ. බටහිරයන් හා ඉන්දියාව කිසි දිනෙක ජ වි පෙ සම්බන්ධයෙන් 1971 දී හෝ 1987 -90 දී හෝ යුද්ධයක් තිබුණු බවක්වත් මානව අයිතිවාසිකම් කඩ වීමක් ගැනවත් කියන්නේ නැහැ.



මනෝ ගනේෂන්ටත් ඒ ගැන පැහැදිලි හැඟීමක් තියෙන්න විධියක් නැහැ. ඔහු බටහිරයන් මෙන් නොව ජ වි පෙට විරුද්ධව තිබූ යුද්ධයක් ගැන කියවනවා. අප බටහිරයන්ගෙනුත් ඉන්දියාවෙනුත් වෙල්ලාලයන්ගෙනුත් වෙන් වන්නේ ජ වි පෙට විරුද්ධව හෝ කොටින්ට විරුද්ධව හෝ මෙරට යුද්ධයක් නොතිබූ බව කියමින්. මෙරට තිබුණේ අවිගත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට විරුද්ධව කළ හමුදා මෙහෙයුම් පමණයි. ත්‍රස්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමට රාජ්‍යයට අයිතියක් තියෙනවා. රාජ්‍යයක පරම යුතුකම වන්නේ රාජ්‍යය ආරක්‍ෂා කිරීමයි. එය රටේ ස්වෛරීිභාවය ලෙස මතුවන්න පුළුවන්. රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කිරීම වෙන්න පුළුවන්. ඒ කුමක් වුවත් ඕනෑම රටක ව්‍යවස්ථාවෙන් රාජ්‍යයට ඒ අයිතිය පැවැරෙනවා. එසේ නැතිව රටක් රාජ්‍යයක් ආරක්‍ෂා කර ගන්න බැහැ.



ජ වි පෙට විරුද්ධව කළ මෙහෙයුම් සම්බන්ධයෙන් බටහිරයන් හරි ඉන්දියාව හරි පමණක් නොව ජ වි පෙරමුණවත් කටක් හොළවන්නේ නැහැ. ඔවුන් බටලන්ද ගැන කතා කරන්නේ නැහැ. ඒ සියලු දෙනා රනිල් සමග අත්වැල් බැඳගෙන. ඔවුන් බටලන්ද ගැන කතා නොකර  දෙමළ කතා කරන ජනයා ඝාතනය වීමක් ගැන  ව්‍යාජ ප්‍රවෘත්ති මවනවා. කිසිම රටක ත්‍රස්තවාදී කණ්ඩායමක් පැරදවීමට කරන හමුදා මෙහෙයුම් ගැන විදේශිකයන්ට කතා කරන්න අයිතියක් නැහැ. එහෙත් අප කොටින්ට විරුද්ධව කරන ලද යුද්ධයක් ගැන කියන බැවින් හැම පඬියා ම රණවිරුවන්ට දඬුවම් කරන්න කියා බෙරිහන් දෙනවා. හමුදා මෙහෙයුම්වල දී යම් නොපණත්කම් සිදු වී ඇත්නම් ඒ ගැන ක්‍රියා කිරීමට සිවිල් නීතිය හරි හමුදා නීතිය හරි යොදා ගන්න පුළුවන්. ඊනියා ජාත්‍යන්තර නීතියක් එයට කිසිසේත් ම අදාළ වන්නේ නැහැ. මෙහි කිසිම ආකාරයක යුද්ධයක් තිබුණේ නැහැ.



එසේ නම් ජ වි පෙ හා ජ වි පෙන් ත්‍රස්තවාදය ඉගෙන ගත් කොටි අතර වෙනසක් නැත් ද? වෙනසක් තියනවා. ජ වි පෙ ආයුධ අතට ගත්තේ ඔවුන් දුටු මුග්ධ ආකාරයට ධනේෂ්වරය බිඳ දමා කොහේවත් නැති සමාජවාදයක් ඇති කරන්න. ඔවුන් රාජ්‍යය වෙනස් කරන්න මිස (එය නොකෙරෙන වැඩක්) රාජ්‍යය බිඳින්න උත්සාහ කළේ නැහැ. කොටි වෙල්ලාලයන්ගේ උසිගැන්වීමෙන් රට දෙකඩ කරන්න උත්සාහ ගත්තා. රාජ්‍යය බිඳ උතුරට හා නැගෙනහිරට වෙන ම රාජ්‍යයක් ඇති කිරීමට ආයුධ අතට ගත්තා. ඒත් එය සිවිල් යුද්ධයක් නො වෙයි. එකලත් උතුරේ හා නැගෙනහිර රාජ්‍ය කාර්යාල පවත්වාගෙන ගියේ රෝහල් නඩත්තු කෙළේ විශ්වවිද්‍යාල පවත්වාගෙන ගියේ පමණක් නොව කොටින්ට කන්න දුන්නේත් මෙරට රාජ්‍යයෙන්.



මේ වෙනස අපට වැදගත්. රාජ්‍යය බිඳ වෙන ම රාජ්‍යයක් ඇති කිරීමට විදේශයන්ගේ ආධාරයෙන් ගෙන ගිය ත්‍රස්තවාදයක් පරාජය කිරීම අපට වැදගත්. රාජ්‍යයට වැදගත්. ඒ නිසා ඒ ජයග්‍රහණය සැමරීමට ස්මාරක අවශ්‍යයයි. විග්නේස්වරන් හරි මනෝ ගනේෂන් හරි මංගල හරී රාජිත හරි සිංහල විරෝධීව විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධීව ඊනියා සංහිඳියාවක් වෙනුවෙන් ස්මාරක (ඒවා යුද්ධ ස්මාරක නොවෙයි) ඉවත් කිරීමට කරන දැඟලිල්ලට කිසිම ඉඩක් දිය යුතු නැහැ. ඒත් රනිල් නිවටකමට සිංහල බෞද්ධ විරෝධීකමට, බටහිර හා ඉන්දීය ගැති කමට විග්නේෂ්වරන්ට යට වෙන්න ඉඩ තියෙනවා.