Main Logo

Tuesday 28 August 2018

මහා දාර්ශනිකයා, දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන්




මහා දාර්ශනිකයා,  දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන්



මහා දාර්ශනිකයා සුපුරුදු පරිදි සිරිසේන ශක්තිමත් කිරීමට විරුද්ධ ව ලියනවා. ඔහුගේ තර්ක දෙකේ පන්තියේ තර්ක. 2019 ජනාධිපතිවරණයට පෙර මෛත්‍රිපාල මගින් නැතිව රනිල් ඉවත් කරන ක්‍රමයක් ගැන මේ එතෙර මෙතෙර සිටින දාර්ශනිකයන් මහාචාර්යවරුන් ආදීන් කියන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ හුදු සිරිසේන විරෝධයක්. මා නැවතත් කියනවා 2019 ජනාධිපතිවරණයට පෙර රනිල් ඉවත් කිරීමේ විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න. රනිල් එතෙක් හිටියොත් මැතිවරණ ලබා ගැනීම ම ප්‍රශ්නයක් වේවි. මහා දාර්ශනිකයා කෙතෙක් කීවත් ඔහු මට හමුවීමට දිනයක් වෙලාවක් තැනක් දෙන්නේ නැහැ. ඔහු ඇතුළු අනෙක් සිරිසේන විරෝධීන් අවසන් වශයෙන් කරන්නේ රනිල් රැක ගැනීමයි.




අප දෙමළ ජාතිවාදය ගැන කතා කරන විට එක් පඬි පෝතකයකු අසා තිබුණා දෙමළ කියා ජාතියක් නැත්නම් දෙමළ ජාතිවාදයක් තියෙන්නෙ කොහොමද කියා. පඬි පෝතකයන් තම දැනුම අනුව තමන්ට තර්කානුකූල යැයි පෙනෙන යමක් කියනවා. මා නැවතත් කියනවා ලංකාවේ තවමත් දෙමළ ජාතියක් තබා දෙමළ ජනවර්ගයක්වත් නැති බව. ජාතිවාදය කියන්නේ රේසිසම් යන ඉංගිරිසි වචනයට සිංහලෙන් හදාගත් පදය. බටහිරයන්ට පෙර ජාතිවාදයක් තිබී නැහැ. වර්ණභේදයක් නම් තිබුණා. එහෙත් එයවත් කුල භේදයවත් කුල ක්‍රමයවත් බටහිරයන්ගේ ඉසම් (ism) යනුවෙන් කියන්නක් නො වෙයි. බටහිරයන් ඉසම් යනුවෙන් කියන්නේ බුඩිසම් මාක්සිසම් වගේ දේට. අපට පාසලේ දී එක් ගුරුවරයකු කීවේ ඉසම් විශ්වාස කරන්න බැරි බව! ඔහු නොකියා කීවේ බදුදහම විශ්වාස කරන්න බැරි බව. එහෙත් බුදුදහමට බුඩිසම් කියා කිව්වේත් ඔවුන් මයි. මේ වචන ව්‍යවහාර ගැන මනා අධ්‍යයනයක් කෙරී නැහැ. 



ජාතිවාදය කියන්නේ වෙනත් ජාතියකට හෝ ජනවර්ගයකට හෝ හිමි විය යුතු තැන නොදෙන ප්‍රපංචයකට. අද ලංකාවේ සිංහල ජාතියට හිමි තැන නොදීමට බටහිරයන් ද ඉන්දියාව ද ක්‍රියාත්මක වනවා. එහි දී ඔවුන් දෙමළ කතාකරන ජනයා යොදා ගන්නවා. අප මෙය දෙමළ ජාතිවාදය ලෙස හඳුන්වනවා. දෙමළ ජාතිවාදයක් තිබීම සඳහා දෙමළ ජාතියක් හෝ දෙමළ ජනවර්ගයක් හෝ අවශ්‍ය නැහැ. සිංහල ජාතියට හිමි තැන නොදීමට දෙමළ කතා කරන ජනයා කරගෙන යන ව්‍යාපාරය දෙමළ ජාතිවාදය ලෙස හඳුන්වනවා. අවශ්‍ය නම් එය දෙමළ කතා කරන්නන්ගේ ජාතිවාදය කියා කියන්න පුළුවන්. එසේත් නැත්නම් සිංහල ජාතියට විරුද්ධව දෙමළ කතාකරන ජනයාගේ ජාතිවාදය කියන්න පුළුවන්. මෙහි ජාතිවාදයක් තියෙනවා. එය කාට විරුද්ධව ද කාගේ ද කියන එක වෙනත් දෙයක්. ඒ විරුද්ධව ක්‍රියා කරන්නන් ජාතියක් හෝ ජනවර්ගයක් හෝ වීම අනිවාර්ය නො වෙයි. මෙරට ඇත්තේ සිංහලයන්ට විරුද්ධ දෙමළ ජාතිවාදයක් හා මුස්ලිම් ජාතිවාදයක්. මුස්ලිම් යනුත් ජාතියක් නො වෙයි.



අද දරුස්මාන් තවත් වාර්තාවක් නිකුත් කරලා. ඒ මියන්මාරයට විරුද්ධව. ඊනියා රොහින්ග්‍යා ඝාතන ගැනයි ඔවුන් කියන්නේ. බටහිරයන්ට ථෙරවාදය මොන තරම් ප්‍රශ්නයක් ද කියන එක මෙයින් ද පැහැදිලි වෙනවා. දරුස්මාන් ථෙරවාදයට විරුද්ධව යොදා ගන්නා අයෙක්. අද මෙරට ඊනියා කලාකරුවන් බුදුදහමට විරුද්ධ, බුදුදහමට නිග්‍රහ කරන නොයෙකුත් මාතෘකා යටතේ පොත්පත් පළ කරන්නේ නාට්‍ය නිපදවන්නේ ඔවුන් පිටුපස ඇති බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයේ බලයෙන්. මේ නිග්‍රහක කැණහිළුන්ට ඔවුන්ගේ ම වූ ශක්තියක් නැහැ. ලෝකයේ ථෙරවාදීන් එකතු කරන්න අමාරුයි. අඩුම තරමෙන් මෙරට 70%ක් වූ බෞද්ධයන්ගෙන් 70%ක් මේ ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධව එකතු කරමු. එය රට පුරා ම දියත් කෙරෙන වැඩ පිළිවෙළක් විය යුතුයි.



ඉන්දියාව සිංහල බෞද්ධයනට විරුද්ධව දෙමළ කතාකරන ජනයා යොදා ගත් ආකාරයයි අප දෙමළ ජතිවාදය බටහිර හා ඉන්දියාව ලිපි පෙළෙන්  සාකච්ඡා කරමින් සිටියේ. ඉනදියාව අපට සතුරු රටක්. සිදුහත් කුමරු උපන්නේ නේපාලයේ මිසක් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ නො වෙයි. ශාක්‍යයන් කහපාට හමක් ඇති ජනයා. සිදුහත් කුමරු එක්කෝ නේපාලයේ උපදින්න ඇති. එහෙම නැත්නම් ශාක්‍යයන් සංක්‍රමණය වී ජීවත් වු වෙනත් ප්‍රදේශයක උපදින්න ඇති. වෛදිකයන් බුදුදහමට බද්ධ වෛරයක් දැක්වූවා. භාරතීය බෞද්ධයන් හා වෛදිකයන් එකල කර ඇත්තේ බුදුදහම වෛදික සංස්කෘතියට අවශෝෂණය කිරීමක්. එහි අවසානය අධිශංකරාචාර්යවරයාත් සමග දැකිය හැකියි.



ගාන්ධි බුදුදහම ගැන දැනගත්ත් ලයිට් ඔෆ් ඒෂියා කියවීමෙන් පසුව බව කියනවා. භාරතයෙන් බුදුදහම අතුරුදහන් කරද්දී (වෙද්දී නොවෙයි) අප බුදුදහම රැක ගත්තා. ඉන්දියාව අප සමග ඒ ගැන ඇත්තේ බද්ධ වෛරයක්. තාගෝර්වත් බුදුදහම ගැන හරිහැටි දැන සිටි බවට වාර්තාවක් නැහැ. අර අමරදේව ගයන ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි ගීතයෙහි තාගොර් ස්වර්ග රාජ්‍ය කියන්නේ නිවනට නොවෙයි.  නිවන රාජ්‍යයක් තබා තැනක්වත් නොවෙයි. ගීතයෙහි පියාණන් කියන්නේ බුදුදහාමුදුරුවන්ට නොවෙයි. ඒ බ්‍රහ්මන්ට ද? අපත් ඔහුට කියන්න ඕන ද අපේ දේශය ස්වර්ග රාජ්‍යයකට අවදි කරන්න කියා. මේ කියන සත්‍යය කුමක් ද? කිං සච්ච ගවේෂි බෞද්ධ කතාවක් නොවෙයි. සත්‍යයක් නැති තැන සත්‍යය සොයන්නේ කොහේ ද? අපට බුදුදහමෙන් කියන්නේ අසත්‍යයෙන් මිදෙන්න කියා. අසත්‍යයෙන් මිදීම යනු ඊනියා සත්‍යයක් සෙවීම නො වෙයි. අසත්‍යයෙන් මිදීම  සත්‍යය සෙවීම වන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායෙහි. පඬි පෝතකයන් දන්නා ද්විකෝටික න්‍යායක්වත් නැහැ. ඔවුන් දන්නේ බුදුහාමුදුරුවන්ට නිග්‍රහ කරන්න විතරයි.



පඬි පෝතකයකු අසා තිබුණා තෙරුවනට නිග්‍රහ කරන්න පුළුවන් ද කියා. නිග්‍රහ කරන්න විතරක් නොවෙයි. ගල් පෙරලන්න ලේ සොලවන්න පුළුවන්. එය තෙරුවන් ගණන් ගන්නවා ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. එහෙත් අප තෙරුවන නොවෙයි. අප හුදු ගිහියන් පමණයි. මේ නිග්‍රහ අපහාස අප ගණන් ගන්නවා. ඇමති මේ නාට්‍ය ඇහුවාද පොත් කියෙව්වා ද යන්න අපේ ප්‍රශ්නයක් නො වෙයි. ඒක ව්‍යාජ කලාකරුවකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ මාතෘකාවලින් කරන්නේ අපහාසයක්. මහානායක හිමිවරුන් මේ අපහාස නොසලකනවා වෙන්න පුළුවන්. අප ඒ නොසලකා ඉන්නේ නැහැ.  මහා දාර්ශනිකයාට ඇත්තේ සිරිසේනගේ ප්‍රශ්නය පමණයි.