Main Logo

Monday 27 August 2018

අගමැති අස්කළ යුතුයි


අගමැති අස්කළ යුතුයි



අගමැති අස්විය යුතුයි කියලා මහින්ද කියලා. ඒක හොඳ කතාවක්. ඒ කියලා තියෙන්නෙ සීමා නීර්ණ පනත පරාද වීම සම්බන්ධයෙන්.  මහින්ද ජනාධිපති අස්විය යුතුයි කියන එක මුලින් කියලා ඒක නිවැරදි කර ගත්ත. ඒ ගැන මහින්දවාදීන්ට නම් කේන්ති ඇති. මහින්දට කොහොම වෙතත් මහින්දවාදීන්ට අවශ්‍ය මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් අස්කිරීමට මිසක් රනිල් අගමැතිකමෙන් අස්කරන්න නො වෙයි. මහා දාර්ශනිකයා හා මහාචාර්යවරයා හා තවත් එතෙර මෙතරඉන්න පඬියන් මහාචාර්යවරුන් දැන් මහින්දත් සිරිජාතිකවාදියකු ලෙස හඳුන්වයි ද දන්නෙ නැහැ. මේ ආචාර්ය මහාචාර්යවරුන් තම ක්‍ෂෙත්‍රවලට එකතු කළ අලුත් සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි තියෙනවා ද?




රනිල් කීවට අයින් වෙන මිනිහෙක් නො වෙයි. ඔහු එ ජා ප නායකත්වයෙන් අස් වෙන්න තිබුණෙ බොහොම කාලෙකට ඉස්සර. කොළඹට මොන තරම් සෙනග ගෙනාවත් රනිල් අස් වෙන්නෙ නැහැ. ඔහු අස්කරන්න ඕන. ප්‍රශ්නය ඔහු අස් කරන්නෙ කොහොමද කියන එක. ඒක ඔය එතෙර මෙතෙර දාර්ශනිකයන්ට මහාචාර්යවරුන්ට කරන්න  පුළුවන් එකක් නො වෙයි. ඔවුන්ට පුළුවන් මුහුණු පොතේ කයිවාරු කියන එක විතරයි.



ඔවුන් ඡන්දයක් ගැන කියාවි. 2019 ජනාධිපතිවරණය ගැන හරි 2020 පාර්ලිමේන්තු මැතිවරණ ගැන හරි කියාවි. මා ඔය ඡන්ද ගැන කියන්නෙ නැත්තෙ බොහෝ කලක සිට.  ඡන්දවලට ඉදිරිපත් වෙන්න ඡන්ද තියන්න ඕන. නියමිත පරිදි ඡන්ද නොතිබ්බොත් මොකද කරන්නෙ. ඔය ඡන්ද ගැන කතාව නවත්වන්න කියලා මා අපේ හිතවතුන් කිහිප දෙනාගෙන් ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා.



අද මහින්දට කෙසේ වෙතත් මහින්දවාදීන්ට පෙන්නන්න බැරි රනිල් නොවෙයි මෛත්‍රිපාල. සමහරවිට ප්‍රභාකරන් හිිටිය  නම්  ඔය මහින්දවාදීන් ප්‍රභාකරන්ට වඩා මෛත්‍රිපාලට වෛර කරන්න තිබුණා. මෙය සංවිධානාත්මක ව වෙන දෙයක් ලෙසයි මට හැඟෙන්නෙ. එයින් කියන්නෙ යම් සංවිධානයක් අර එතෙර මෙතෙර දාර්ශනිකයන් මහාචාර්යවරුන් හමු වී මෛත්‍රිපාල කෙරෙහි වෛරයක් ඇති කරනවා කියන එක නො වෙයි.



ඇවුළුණු ගිණි දැල් නිවි නිවි යද්දී ඒ නැවත අවුලවන්නට පිඹින්නේ කවුද? එය කාගෙ හරි කණට කෙඳිරීමෙන් කරන්න පුළුවන්. එය ඉතා ඉක්මණින් රට පුරා පැතිරෙනවා. මුහුණු නැති මුහුණු පොත එහි දී විශාල කාර්යභාරයක් කරනවා. ගිණි දැල් නැවත ඇවිළීමෙන් වාසි රටට ද රනිල්ට ද?



සීමා නීර්ණ පනත කියන්නෙ මැතිවරණ පවත්වන්නේ අලුත් ක්‍රමයට ද නැත්නම් පැරණි ක්‍රමයට ද යන්න තීරණය කරන්නක් නොවන බව අප නොදන්නවා නො වෙයි. එහෙත් මේ පනත් පරාජය වීමෙන් සිදුවන්නේ කුමක් ද? ඒ පරාජය වන තැනට පනත සකස් කෙරුණේ කෙසේ ද? වාර්තාව සකස් කළේ කවු ද?



අද රනිල් පාර්ලිමේන්තුව සතපහකට ගණන් ගන්නේ නැහැ. සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ නැහැ. එසේ කරන්න ඕන නැහැ කියන්නෙ නීතිපති. අද ඕනෑම දෙයකට නීතිපතිගෙන් උපදෙස් ගෙන එය නීත්‍යානුකූල ව කළා කියා පෙන්නන්න හදනවා. නීතිපතිගේ උපදෙස නීතිය විවරණයක් නො වෙයි. නීතිය විවරණය කරන්න පුළුවන් අධිකරණයට. අගවිනිසුරු හැටියට සිටින නීතිපතිත් පත් කරන්න පුළුවන් බවත් වත්මන් අගවිනිසුරු විශ්‍රාම යෑමට නියමිත බවත් පමණක් මතක තියා ගන්න.



සිංගප්පුරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන නැහැ කියමු. ඒත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අගමැතිවරයකු එය අඩුම තරමෙන් සදාචාරාත්මක ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතූ  නො වේ ද? එහෙත් ප්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ රනිල් ඔය වෙළෙඳ ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ද? රනිල් බලය අත්හරින්න ඉන්න අයකු නො වෙයි. ඔහු බලයෙන් ඉවත් කළ යුතුයි.



අද රනිල් හැම දෙයක් ම කරන්නෙ ඡන්ද කල් දාන්න. ඡන්ද ගැන විශ්වාස කරන අයට ඔහු ඡන්දයක් දෙන එකක් නැහැ. ඔහු ඒ සඳහා විවිධ උපක්‍රම යොදා ගන්න ඉඩ තියෙනවා.  අද ඡන්දයක් ලබා ගන්නත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න වෙලා. ඒ නිසා ප්‍රමුඛතාව අනුව ඡන්දය ගැන නොව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන එක ගැන කතා කරන්න ඕන.



රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ හැක්කේ කටමැත දොඩවන එතෙර මෙතෙර දාර්ශනිකයන්ට මහාචාර්යවරුන්ට නොවෙයි. ඒ කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. මෛත්‍රිපාලට ශක්තිය නැහැ. ඔහුට විධායක බලතල තිබුණට ජනබලය නැහැ. ජනබලය ඇත්තේ මහින්දට. ඇයි විධායක බලයත් ජනබලයත් එකතු වෙලා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්නෙ නැත්තෙ. මහින්ද අගමැති කරන්නෙ නැත්තෙ ඇයි? මෛත්‍රිපාලට බලපෑම් කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ අතර ඇමතිවරුත් ඉන්නවා. ඔවුන් ඉන්දීය ඒජන්තයන්. ඉන්දියාව සමහරවිට රනිල් අතහැරලා මහින්ද දිහා බලන්නත් ඉඩ තියෙනවා. ඒ අපට ආදරේට නොවෙයි. රනිල් එක්ක තවදුරටත් යන්න බැහැ කියලා හිතුවොත්.



අප බටහිර අනුග්‍රහය ලබන ඉන්දියාවෙ අභිප්‍රාය තේරුම් ගන්න ඕන.  සිංහලයන්ගෙන් 65%ක් එකතු වුණොත් ඉනදියාවට (හා බටහිරයන්ට) කරන්න පුළුවන් දෙයක් නැහැ. මෙය දේශපාලන පක්‍ෂවල ප්‍රශ්නයක් නො වෙයි. රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්. එහි දී අපට එකතු වෙන්න බැරි නම් රටට අනාගතයක් නැහැ. සිංහලයන් එකතු වුණොත් දෙමළ කතාකරන ජනයා ද ඉස්ලාම් ආගමිකයන් ද එකතු කරගන්න එක අමරු වැඩක් නො වෙයි.



මහින්ද අර ඇමතිවරුන් දෙතුන්දෙනා නොසළකා හැරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතුයි. එහි දී දහසයේ කණ්ඩායමේ සහාය ලබා ගත යුතුයි. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. මෙය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් නො වෙයි. ඒ තත්වය දැන් පහවෙලා. දැන් තියෙන්නෙ ඇවුළුණු ගිණිදැල් නිවි නිවි යන තත්වයක්. එහි දී මටත් ඔබටත් හමු වෙන්නෙ ඇමතිවරු දෙතුන් දෙනෙක් හා බටහිර අනුග්‍රහය ලබන ඉන්දියාව. සිදුහත් කුමරු ඉන්දියාවෙ උපන්නෙ නැහැ. ඒ කාලෙ ඉන්දියාවක් තිබුණෙත් නැහැ. වැඩිම වුණොත් එතුමා උපන්නෙ කහපාට මිනිසුන්ගෙ නේපාලයෙ. අද කහපාට ලෝකයට ම බෞද්ධ බලපෑම තියෙනවා. සෙසු ලෝකයෙන් බෞද්ධ සිංහලයන් පමණයි. සුද්දකු අරෙහෙ මෙහෙ බෞද්ධ වෙලා ඇති. ඒක නොවෙයි මා කියන්නෙ. අපි ඉනදියාවෙන් (හා බටහිරින්, විශේෂයෙන් එංගලන්තයෙන්) ස්වාධීන වෙමින් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරමු. එය කළ හැකියි. කළ යුතුයි.