Main Logo

Friday 17 August 2018

රනිල්ගේ සුදු වෑන් රිය


රනිල්ගේ සුදු වෑන් රිය



ඊයේ අප සරසවි නැහැදිච්චකම ගැන කතා කළා. මට පඬියන්ගේ නැහැදිච්චකමත් රනිල්ගේ නැහැදිච්චකමත් ගැන කතා කරන්න ඕන. සරසවි නැහැදිච්චකම පඬි නැහැදිච්චකමේ ම කොටසක්. අපි එය පසුව කතා කරමු. රනිලුත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පඬියොත් එහෙමයි. ඔවුන් සිංහල බුද්ධාගමට පහර ගහනවා. අද සිවුරු පොරවාගත් අව් කණ්නාඩි දමාගත් ඕනෑම මගුලක් නිවන අදාළ යැයි කියන අයත් සිංහල බුද්ධාගමට පහර දෙන්න යොදා ගන්නවා. සිංහල බෞද්ධයන් මේවා වැඩිකල් ඉවසන එකක් නැහැ. මේ සියල්ලට ම මුල රනිල්. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත් රනිල් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ.




දහනවවැනි සියවසේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවක් වුණේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත ක්‍රිස්තියානින් සිංහල බුද්ධාගමට කළ අපහාස. අදත් එවැනි තත්වයක් රටේ ඇති වී තිබෙනවා. මෛත්‍රිපාල හා මහින්ද සිංහල බෞද්ධයන් නම් රනිල් පවත්වාගෙන යන්නේ ඇයි? මෙහෙම කිව්වම මහා දාර්ශනිකයන් රජරට මහාචාර්යවරයන් කලබල වෙනවා. ඔවුන් මෛත්‍රිපාල විවේචනය කරමින් මහින්ද රකින්න එනවා. මහා දාර්ශනිකයා හා රජරට මහාචාර්යවරයා සමග මේ සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයක් කරන්න මා කැමතියි. අනම් මනම් ප්‍රතිචාර නොදක්වා කෙළින් ම විවාදයට එන්න. ඔවුන්ට අනුව මා සිරිජාතිකවාදියෙක්.



මහින්ද හා මෛත්‍රිපාල බෙදා වෙන් කිරීම මැත ඉතිහාසයේ මෙරට සිංහල බුද්ධාගමට වූ විශාලතම පාඩුවයි. මෛත්‍රිපාල හුදෙක් අගමැතිකම නැති වූ නිසා රනිල් වෙතට ගිය පුද්ගලයෙක් නො වෙයි. එසේ පෙන්වන්නේ බටහිර මතවාදවලට අනුවයි. මෛත්‍රිපාල මහින්ද ආරවුල වගා කරන්නේ සිංහල බෞද්ධයන් වෙන්න බැහැ. කෙසේ නමුත් සිදු වූයේ සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි ප මරාදැමීමයි. අද මෛත්‍රිපාලටවත් මහින්දටවත් බැසිල්ට කොහොමටවත් ඒ පක්‍ෂය ගොඩ ගන්න බැහැ. පොදුජන පෙරමුණ චන්ද්‍රිකා ගණයේ පෙරමුණක් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අය ස්වාධීන වෙලා වෙනත් පක්‍ෂයක් හැදුවත් එය සිංහල ජාතිකත්වයේ පක්‍ෂයක් වන්නේ නැහැ.



ඒකාබද්ධ විපක්‍ෂයේ බලවතුන් සමහර දෙනකු ගෝඨාභයට අකමැති බව රහසක් නො වෙයි. වෙල්ගම ප්‍රසිද්ධ ම උදාහරණයයි. එමෙන් ම ගෝඨාභය වටා ඉන්න ඇතැම් අයට ජනතා කැමැත්තක් නැහැ. අද සියලුම රූපවාහිනි නාළිකාවලට ක්‍රිස්තියානි බලපෑමක් තියෙනවා. උදේට පිරිත් ප්‍රචාරය කිරීමෙන් පමණක් සිංහල බෞද්ධ වෙන්න බැහැ. මේ දැනුත් මට පිරිත් ඇහෙනවා. එහෙත් හවසට ක්‍රිස්තියානි බලපෑම් ඇති වැඩසටහන් බලන්න පුළුවන්.



ලබන ජනාධිපතිවරණය ගැන මා කතා කරන්නේ නැහැ. එවැනි ජනාධිපතිවරණයක් තියේවි ද කියාත් අප දන්නේ නැහැ. අද සුදු වැන් නැහැ කියා කියනවා. එහෙත් අද මුළු රට ම සුදු වෑන් (බස්) එකක්. අප එහි හිරකාරයෝ. සිංහල බෞද්ධයන්ගේ ජීවිත අවදානමේ. එහි රියැදුරා රනිල්. කොන්දොස්තර මෛත්‍රිපාල. ක්ලීනර් මහින්ද. මේ තුන්දෙනාම තිරුපති යනවා. මේ වෑන් රථය එංගලන්තයේ නිපදවන ලද්දක්. එයට ඉන්ධන සපයන්නේ ඉන්දියාව. රනිල් රියදුරු අසුනෙන් ඉවත් කරන්නේ නැත්තේ ඇයි?



රනිල් ඊයේ පෙරේදා කියා තිබුණා ඇමරිකාවෙත් හරියට ඉතිහාසය උගන්වන්නෙ නැහැ කියලා. එය පට්ටපල් බොරුවක්. එහි ඉතිහාසය කියා විෂයයක් නැහැ. ඒක ඇත්ත. එහෙත් සමාජයිය විද්‍යා අධ්‍යයන විෂයය යටතේ ඉතිහාසය වගේ ම ආණ්ඩුක්‍රමයත් ඉගැන්වෙනවා. ප්‍රාථමික පාසල්වල හා මධ්‍යම පාසල්වල සිසුන්ගේත් ඉතිහාස දැනුම විශිෂ්ටයි. ඔවුන්ට ආදිවාසීන්ගේ ඉතිහාසය උගන්වන්නේ නැහැ. එය හරිය කියා මා කියන්නේ නැහැ.  ඒ ඔවුන්ගේ චින්තනය හා සංස්කෘතිය අනුවයි. ඔවුන්ට තම රට ගැන අභිමානයක් ඇති වන ආකාරයට ඉතිහාසය උගන්වනවා. බොස්ටන් ෆිලඩෙල්ෆියා වැනි ඉතිහාසයට සම්බන්ධ නගර ඔවුන්ට අභිමානයක්. අප අනුරාධපුරය අපට නැති කර ගන්න හදනවා.



මෙරට ඉතිහාසය ඉගැන්වීම බද්‍යුද්දීන් මහමුද් නැවැත්තුවා. අද ඉතිහාසය ඉගැන්වෙන්නේ එපා වාහෙට හොදි බෙදන්නා වගේ. එයට හේතුව ඉතිහාසය ඉගැන්වීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉස්මතු වීම. රනිල් තවත් කතාවක් කියා තිබුණා. අනුරාධපුරය ලෝක උරුමයක් කියා. සමහර සිංහල බෞද්ධයන් කැමති ඇති ඒ වගේ ලෝක කතාවලට. 



මේ ලෝක උරුමයෙන් සිද්ධ වෙන්නේ අනුරාධපුරය අපට අහිමි වීමයි. ලෝක ආධිපත්‍යය  ඇත්තේ බටහිර චින්තනයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්ක්‍යතියේ ඇංග්ලිකන් ප්‍රභේදයට. ඒ රනිල්ගේ සංස්කෘතිය. අනුරාධපුරය ලෝක උරුමයක් කියන්නේ එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට යට කිරීමක්. වරක් ජේ ආර් පී සුරියප්පෙරුම කිව්වේ සොළොස්මස්ථානය තමයි සිංහල බෞද්ධ සිතියම කියා. අනුරාධපුරයේ අටමස්ථානය පිහිටෙව්වේ මිහිඳු හිමියන් ලකුණු කළ තැන්වල. ඒ ස්ථානවලට උඩින් යන්න කිසිවක් තනන්න බැහැ. එසේ තැනීම සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රශ්නයක්. වර්තමානය කියන්නේ අනාගතයේ ඉතිහාසය.



අනුරාධපුරය මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව අනෙක් රටවැසියන්ටත් අයත්. මෙරට වැසියකුට රුවන්වැලිසෑය ඉදිරියට ගොස් මේ අපේ ඉතිහාසය කියා හැඟීමක් ඇති කරගන්න පුළුවන් විය යුතුයි. එහෙත් ඒ සමග මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ නිපැයුමක් යන්නත් හිතට එන්න ඕන. රනිල්ගේ ලෝක උරුමය ඒ සඳහා නොවෙයි. ඔහුට අවශ්‍ය එහි ඓතිහාසික වටිනාකම සිංහල බෞද්ධයන්ට අහිමි කිරීමයි. රනිල්ට මේ රට හා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන අබ ඇටයක ප්‍රමාණයක ගෞරවයක් නැහැ. ඔහු දන්න අබ ඇටයකුත් නැහැ.  අප මේ සුදු වෑන් රථයේ රියැදුරා රියැදුරු අසුනෙන් පන්නන්නේ කවද ද?