Main Logo

Sunday 19 May 2019

නන්දිකඩාල් ජයග්‍රහණය

නන්දිකඩාල් ජයග්‍රහණය


නන්දිකඩාල් ජයග්‍රහණයට දසවසරක් පිරෙන දිනයේ ඒ නිසි ආකාරයෙන් සැමරීමට වාතාවරණයක් රටේ නොමැතිවීම කණාගාටුවට කරුණක්. ඒ හුදෙක් පාස්කු ප්‍රහාරය නිසා ම ඇති වූවක් නො වෙයි. මේ ආණ්ඩුව හා ඊනියා මානවවාදී උගතුන් රටට ඉදිරිපත් කරන මතවාදවලට ජනමාධ්‍යයෙහි හා සමාජයීය මාධ්‍යවල ද තැනක් දීමත් එයට හේතුවක්. එහෙත් ප්‍රධාන ම හේතුව නන්දිකඩාල් ජයග්‍රහණය යනු කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකිවීම.

නන්දිකඩාල් ජයග්‍රහණය හුදු ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීමක් පමණක් නො වෙයි. එය රටේ බහුතර ජනතාවගේ මතවාදය ජයග්‍රහණය කිරීමක්. ජාතිකත්වයේ ජයග්‍රහණයක්. ජාත්‍යන්තරවාදී නූතනත්ව මතවාදවල පරාජයක්. මෙරට සියළු දේශපාලන පක්‍ෂවල පරාජයක්. දෙමළ ජාතිවාදයේ පරාජයක්. සිංහල බෞද්ධයන් හා පොදුවේ මෙරට සියල්ලන් ලැබූ ජයග්‍රහණයක්. 

දෙමළ ජාතිවාදය ඇති වුණේ සිංහලයන්ගේ විශේ’ෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ වරද නිසා බව බටහිරයන් හා ඔවුන්ගේ මෙරට නියෝජිතයන් සියල්ලන් ම කියද්දී බෞද්ධයන්ට යුද්ධ කිරීමට නොහැකි බවට මතයක් ගොඩ නගද්දී ප්‍රභාකරන් අනභිබවනීය යුද්ධ නායකයකු ලෙස ලොව පුරා මතයක් ඇති කරද්දී කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නොහැකි බවට යුද්ධ විශේෂඥයන් මෙන් ම වෙනත් විශේෂඥයන් ද කියද්දී ඊනියා දෙමළ ප්‍රශ්නයට එකම විසඳුම සාකච්ඡා පමණක් බව කියද්දී එක්සත් ජනතා නිදහස් සංධානය ද ඒ මතය දරද්දී ඒ සියල්ල පරාජය කරමින් නන්දිකඩාල් ජයග්‍රහණය ලබා ගත්තේ. 

නන්දිකඩාල් ජයග්‍රහණය මෙරට සාමාන්‍ය ජනතාවගේ ජයග්‍රහණයක්. එය ඊනියා ප්‍රභූන්ගේ ජයග්‍රහණයක් නොවන නිසාත් එය නිසි ආකාරයකින් සැමරෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ කෙළේ සාමාන්‍ය ජනතාවගේ මතයට අවසානයේ දී කන්දීමයි. එයට ගොාඨාභය රාජපක්‍ෂගේ සංවිධාන ශක්තිය ආධාර වුණා. ඔහුගේ සැලසුම් හා තීරණ ඇතැම් අවස්ථාවල දී මහින්ද රාජපක්‍ෂගේ තීරණවලටත් බලපෑවා. මහින්ද රාජපක්‍ෂ අවසානයේ දී නන්දිකඩාල් ජයග්‍රහණයේ දී ඊනියා යුද්ධ විශේෂඥයන්ගේ මතයට පටහැණි ව සාමාන්‍ය ජනතාව කී ආකාරයට හමුදාවන්ට දේශපාලන නායකත්වය ලබා දුන්නා. සරත් ෆොන්සේකා පසුව මොනවා කළත් දක්‍ෂ ලෙස හමුදාව මෙහෙයවුවා. ඒ වගේ ම වසන්ත කරන්නාගොඩ ආදීන් ද  නොමඳ සහායක් ලබා දුන්නා. ඒ සියල්ලන්ටමත් වඩා සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නන්දිකඩාල් ජයග්‍රහණයට උර දුන්නා. අපේ ප්‍රණාමය ඒ සියල්ලන්ට.