Main Logo

Thursday 9 May 2019

ඕ බ්ලේක්ගේ සංහිඳියාව වෙනුවට සහජීවනය

 ඕ බ්ලේක්ගේ සංහිඳියාව වෙනුවට සහජීවනය


ඊයේ ලිපියේ බිංදුව ගැන මා ලියූ කොටසට ඉංගිරිසි මාධ්‍යයෙන් වැඩ කරසිංහල ජනමාධ්‍යවේදියකු මට ලියා එවා තිබුණා  Amir D Aczel  නමැති යුදෙව් ගණිතඥයකු බිංදුව බෞද්ධයන්ගේ නිර්මාණයක් විය හැකි බවට තම පොතක පළ කර තිබුණා කියා. ඒ ගණිතඥයාට අනුව ශුන්‍ය (.) සංකේතවත් වන පැරණි ම වාර්තාගත සටහනක් ඇත්තේ (ථෙරවාදී)  කාම්බෝජයේ ක්හමර් යුගයේ ශිලා ලේඛනයක. මා ඒ පොත කියවා නැහැ. මා ගණිතයේ ඉතිහාසය පිළිබඳ ඇති සියලු පොත් කියවා නැහැ. ඒ පොත කියවන්න බලාපොරොත්තු වෙනවා. මා ගණිතඥයෙක් නොවෙයි. එහෙත් මා කියා ඇති දේ සනාථ කිරීමට කරුණු තියෙන බව පැහැදිලියි. ඒ ජනමාධ්‍යවේදියාට මා පින් දෙනවා ඒ තොරතුරු මට ලබා දීම පිළිබඳ ව. 


මෙය ඉතා සුළු උදාහරණයක් පමණයි. පෙරදිග දැනුම බටහිරටත් ඊනියා නූතනත්වයටත් බලපා ඇති අන්දම ගැන. අද ක්වොන්ටම් භෞතිකයේ සමහර දේ තේරුම් ගන්නේ චතුස්කෝටික න්‍යාය යොදා ගැනීමෙන්. ෂෝපන්හෝවර්, කර්ක්ගාඩ්, හයිඩැගර්, සාන්දෘෂ්ටික වාදය බුදුදහම ගැන පොත්පත් සියල්ල කියවන්න ඕන නැහැ මතයක් ප්‍රකාශ කරන්න. පොත් කිහිපයක් කියවන විට හිතට මතයක් දෙකක් එනවා. එහෙත් ඩ්‍රීම් ස්ටාර්ලාට නම් සම්මජාතියේ තමන්ගේ මතයක් කියන්න බැහැ. මතයක් හිතෙන්නෙ නැහැ. මුළු ජීවිත කාලෙ ම අනුන්ගෙ බයිලා කියවනවා. 

රොබට් ඕ බ්ලේක් ලංකාවට ඇවිල්ල. ඔහූ චිනය හා දකුණු ආසියාව පිළිබඳ එක්සත් රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය හා ලංකාව සම්බන්ධයෙන්  එහි තේරුම මැයෙන් කතාවක් කරල  ඒ කතාව පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් කියන ආයතනයකින් සංවිධානය කරල තියෙන්නෙ. මේ කතාව සංවිධානය කිරීම පටන් ගත්තෙ කවදද කියල දැන ගන්න නැහැ. ඒ කොහොම වුණත් ඔහු කියල තියෙන්නෙ මෙරට ආරක්‍ෂක කටයුතුවල ඇති දුර්වලකම්. ඒ කාර්යයන් ගෝඨාභයගෙ කාලෙ වගේ සංවිධානය කරන්නලු!

ඕ බ්ලේක්ගෙ නම ඉංගිරිසියෙන් ලියන්නෙ O'Blake කියල. අපට දැන් කියන්න පුළුවන්  Oh! Blake කියල. සිංහලෙන් නම් දෙක ම උච්චාරණය වෙන්නෙ එක විධියට. ඕ බ්ලේක් ඒ කාලෙ ආණ්ඩුව කටයුතු කරපු ආකාරය ගැන නම් සතුටකින් නොවෙයි කතා කෙරුවෙ. ඒ කාලෙ සාම සාකච්ඡා තමයි ඔහුගෙ කටේ තිබුණෙ. ඔය බටහිර රටවල් තමයි සටන් මෙහෙයුම්වලට විරුද්ධ ව කටයුතු කෙළෙ. දැන් මංගල සමරවීරගෙ දායකත්වයෙන් ගෙනා ඔක්තෝම්බර් ජෙනීවා යෝජනාවෙන් කියැවෙන්නෙ වෙනින් දෙයක්. ඒ යෝජනාව ගෙනාවෙ අහවල් දේකට ද? ඒ කාලෙ මානව අයිතිවාසිකම් කඩවුණා ද? මෙහෙ ඉන්න මානව අයිතිවාසිකම් කාරයො සුදු වෑන් ගැන කතා කෙරුවා. ඕ බ්ලේක් එන්නෙ මොකාට ද?

මේ අතර ජනාධිපති මඩකලපු ගිහිල්ල ෂරියා විශ්වවිද්‍යාලෙ ගැන කියල. එය රජයේ යම්කිසි නියාමනයකට යටත් වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවලු. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිති සම්මේලනය නැත්තන් අන්තරේ ඒකට විරුද්ධ ව පෙළපාලි යයි ද? පෞද්ගලික අධ්‍යාපනය මඩකලපුවෙ තිබුණට කමක් නැද්ද? එහෙමත් නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය ක්‍ෂෙත්‍රයට පමණක් නරක ද? පෙරටුගාමින් මොනව කරයි ද? අද මෙරට පඬියන් පඬිපෝතකයන් පඬිනැට්ටන් මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් පශ්චාත් පශ්චාත් මාක්ස්වාදීන් අර වාදීන් මේ වාදීන් සියල්ලන් තමන් පසුගාමීන් වෙලා බලා ඉන්නෙ පෙරටුගාමීන් දිහා! 

ඒ මඩකලපු උත්සවයට හිස්බුල්ලා ඇවිත් හිටියෙ ජාතික ඇඳුමෙන් ද? මට නිච්චියක් නැති නිසයි අහන්නෙ. නැතත් ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් මන්ත්‍රිවරුන් දේශපාලනඥයන් මුස්ලිම් අන්තවාදය ආරක්‍ෂා කරමින් අර කොල්ලන් කියන්න වගේ පොර ටෝක් නැව් ටෝක් දුන්නා. අද පූස් පැටව් වගේ. සිංහල දේශපාලනඥයන් මේ පොර ටෝක් කාරයන්ට විරුද්ධව මොකුත් කිව්වෙ නැත්තෙ කීනියාවල පාලිත හාමුදුරුවන් ප්‍රකාශ කරනව වගේ ඡන්ද ලක්‍ෂ පහළොවක් නිසා. මේ පොර ටෝක් කාරයන් අමතක කරල සිංහල දේශපාලනඥයන් කෙලින් ම මුස්ලිම් හා දෙමළ කතා කරන ජනයා අතරට යන්න ඕන.  

ෂරියා විශ්වවිද්‍යාලෙ මොනව උගන්වනවා ද කියන්න මා දන්නෙ නැහැ. එහි අනෙක් ආගම්වලට විරුද්ධව කියන්නෙ නැතිව, අනෙක් ආගම්වලට විරුද්ධව සිසුන් උසිගන්නන්නෙ නැතිව, අනෙක් සංස්කෘතීන්ට විරුද්ධව ආයුධ ගන්න කියන්නෙ නැතිව, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂත්වය පිළිගනිමින් ඉස්ලාම් ආගම අනුව ලෝකය බලන  (ලෝකයක් නිර්මාණය කරන) විධිය උගන්වනවාට විරුද්ධ වෙන්න බැහැ. මට ප්‍රශ්නය තියෙන්නෙ මෙරට කිසිම බෞද්ධ ආයතනයක් සිංහල බෞද්ධ සංස්කෘතියේ දැනුමක් කියා නොදීම ගැනයි. මා කතා කරන්නෙ ඊනියා බෞද්ධ සංස්කෘතියක් උගන්වන එක ගැන නො වෙයි. යම්තම් වත් සිංහල බෞද්ධ දැනුමක් උගන්වන්න හදන කොට ඇයි ජාතික චින්තනය උගන්වන්නෙ කියල අහන්න නම් ක්‍රිස්තියානි නූතනත්වයෙ නියෝජිතයො ඉන්නවා. 

මුස්ලිම් ව්‍යාප්තවාදය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ආක්‍රමණික ව සිදු වූවක්. එයට සෝම හාමුදුරුවන්වත් ඥානසාර හාමුදුරුවන්වත් අල්ල ගන්න බැහැ. උන්වහන්සේලා මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණික ව්‍යාප්තවාදයකට ප්‍රතිචාර දැක්වූවා පමණයි. මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට ඊනියා සංහිඳියාව පඬියන් පඬිපෝතකයන් සිවල් සාමාජිකයන් මානව අයිතිවාසිකම් අයිතිකාරයන් ආදී සකලවිධ සිංහල බෞද්ධ විරෝධී පිරිස් සෘජුව හෝ වක්‍රව හෝ ආධාර කළා. මෙරට මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණය ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදයේ බලපෑමෙන් අනුග්‍රහයෙන් ඇති වූවක්. එහි දී විවිධ කාලවල දී බටහිරයන් කර ඇති කාර්යයන් අමතක කරන්න බැහැ. වහාබ්වාදය ගැන පසුව කතා කරමු.

මෙරට ඇති ප්‍රධාන ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම. ඒ අහිමි කරන්නන් නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන හරහාත් ක්‍රියාත්මක වෙනවා. දෙමළ ජාතිවාදය ඇතිකෙරුණේ ඉංගිරිසින් විසින් 1833 දී. ඒත් සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන ඊනියා සංහිඳියාව වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන පිළිගනිමින් අනෙක් සංස්කෘතීන් ද පවතින සහජීවනය අවශ්‍ය වෙලා තියෙනවා. මා හිතන්නේ පාස්කු ප්‍රහාරයෙන් බටහිරයන් බලාපොරොත්තු වුණු දෙය වෙනුවට ඒ සහජීවනය ඇති කර ගැනීමට මගක් පෑදී තිබෙනවා. හාමුදුරවරුන් පල්ලි අතුගෑම එහි සංකේතයක්. ඒ කතෝලික පල්ලිවලට පමණක් නොවෙයි මුස්ලිම් පල්ලිවලටත් හින්දු කෝවිල්වලටත් ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ කියන්නෙ මෙරට මුස්ලිම් අන්තවාදය මුලිනුපුටා නොදාන්න කියන එක නො වෙයි. අපි ඕ බ්ලේක්ට ඕ මයි ගෝඩ් කියන්න සලස්සමු.