Main Logo

Saturday 11 May 2019

ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට

ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට

දේශපාලනඥයන්ට  පමණක් පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක් වේගෙන යනවා. ඔවුන් කල්පනා කරන්නේ ඡන්ද පැත්තෙන් පමණයි. මේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. මෙහි දී ජාත්‍යන්තර බලවේග සෘජුව ම මැදිහත් වෙනවා. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයේ දී ඔවුන් සිටියේ පිටුපසින්. අද මේ වන විටත් බටහිර බලවතුන් ලංකාවට ඇවිල්ලා. ඒ වගේ ම මෙරට ඉන්න බටහිර තානාපතිවරු විපක්‍ෂ නායක මහින්ද ද හමුවෙනවා. ඕ බ්ලේක් ලොකු අවවාදයකුත් කරලා.


මුස්ලිම් දේශපාලනඥයන්ටත් අවශ්‍ය තම ඡන්ද පදනම ආරක්‍ෂා කර ගැනීම හරි වැඩි කර ගැනීම හරි පමණයි. ඔවුන් රටට ඇල්මක් නැතැයි මා කියන්නේ නැහැ. අද හමුදාවට හා පොලීසියට බලපෑමක් කෙරෙනවා මුස්ලිම් පල්ලි සෝදිසි නොකිරීමට. එය එතරම් හොඳ වැඩක් නො වෙයි. පල්ලි විතරක් නොවෙයි පන්සල් වුණත් සෝදිසි කරන්න ඕන.  

රාජ්‍යය තියෙන්නේ පළමු කොට ම රාජ්‍යය ආරක්‍ෂා කරන්න. ජාතික ආරක්‍ෂාවත් එහි ම කොටසක්. රාජ්‍ය ආරක්‍ෂාව ජාතික ආරක්‍ෂාවට වඩා පළල් රාජ්‍ය ආරක්‍ෂාව සඳහා ආගමික ආයතන සෝදිසි කිරීමට අවශ්‍ය නම් ඒ කළ යුතුයි. අද මුස්ලිම් අන්තවාදීන් තම අවශ්‍යතා සඳහා පල්ලි යොදා ගැනීමට ඉඩ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් තම අවශ්‍යතා සඳහා ආයුධ තැන්පත් කිරීම වැනි කටයුතුත් ඇතුළුව ඇතැම් පන්සල් යොදා ගත්තා. ඒ අවස්ථාවේ දී බෞද්ධයන් පන්සල් සෝදිසි කරන්න එපා කියා කීව්වේ නැහැ.

ජ වි පෙරමුණ ආයුධ ගත් කාලයේ ඇතැම් නිවෙස්වල තුවක්කු තිබුණා. ඒ බලපත්‍රයක් සහිත ව නො වෙයි. එහෙත් එදා බලපත්‍ර නැති තුවක්කු රජයට පවරා ගත්තා. කඩුවක් තබා ගැනීමට නීතියෙන් තහනමක් තිබෙන බව ඇතැම් නීතිඥයන්ගේ මතයයි. කඩු රාශියක් තබා ගන්නේ කා ආරක්‍ෂා කිරීමට ද කියා ප්‍රශ්නයක් ඇති වෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගන්න ඕන. අද හමුදාවට අවශ්‍ය බලතල නොදීමට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගෙන් බලපෑම් කරන බව පැහැදිලියි. පල්ලිවල කඩු තිබෙනවා නම් ඒ හමුදාවට හෝ පොලීසියට හෝ පවරා ගැනීමට බලය තිබිය යුතුයි. පල්ලිවල කඩු තිබෙන බව මාධ්‍යයේ ප්‍රදර්ශනය කළ පමණින් සිංහල බෞද්ධයන් ප්‍රචණ්ඩ වෙන්නේ නැහැ. එයින් ඉස්ලාම් බැතිමතුනට නින්දාවක් සිදුවන්නේ නැහැ. එහෙත් තොරතුරු වසන් කළහොත් කටකතා පැතිරෙනවා. අද සමාජයීය මාධ්‍ය තිබෙනවා. ඒ සම්පූර්ණයෙන් තහනම් කිරීමට කිසිවකුට බැහැ. 

පල්ලිවල පමණක් නොවෙයි ගෙවල්වලත් කඩු තියෙන්න පුළුවන්. උක් කපන ගොවියන් ළඟ කඩු තියෙන්න පුළුවන්. ඔවුන්ට හේතුවක් තියෙනවා. කඩු තියෙන්නෙ ගැහැණු ළමයි ආරක්‍ෂා කිරීමට, තණ කපන්නට ආදී හේතු නම් කිසිවකු පිළිගන්න එකක් නැහැ. අද ඇප දීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා. වැල්ලම්පිටියෙ බෝම්බ හදපු අය යැයි කියන පිරිසකට ඇප දෙන විධියට කටයුතු සිු වුණෙ කොහොම ද?  මිනිසුන් ආණ්ඩුව ගැන සැක කරන්න පටන් අරන්. එය එතරම් හොඳ දෙයක් නො වෙයි.

මා කතා කරන්නේ සිංහල බෞද්ධයකු ලෙස. මට අනන්‍යතාවක් තියෙනවා. මා ඊනියා ජාත්‍යන්තරවාදී මනුෂ්‍යයෙක් නො වෙයි. සමහරවිට අඟහරු ලෝකයෙන් හරි වෙනින් කොහෙන් අර පෘථිවියට ජීවීන් පැමිණියහොත් මා මනුෂ්‍යයෙක් ලෙස හිතන්න පුළුවන්. තම සිංහල බෞද්ධ අනන්‍යතාව ගැන ලැජ්ජාවකින් ඊනියා ජාත්‍යන්තරවාදීන් ලෙස පෙනී සිටිමින් සිංහල බෞද්ධයන්ට විරුද්ධව කටයුතු කරන්නන් සමග සාකච්ඡා කිරීමකින් හරි ඔවුන්ට සවන් දීමකින් හරි වැඩක් වෙන්නෙ නැහැ. සිංහල බෞද්ධයන් සියලු සත්වයනට කරුණාව දක්වනවා. සත්වයන් යනු මනුෂ්‍යයන් පමණක් නො වෙයි. අපට පඬියන් ද ඇතුළු සියළු සත්වයනට කරුණාව දක්වන්න හැකි වී ඇත්තේ අප සිංහල බෞද්ධ අනන්‍යතාව නැති කර ගත්තේ නැති නිසයි. අද සිංහල බෞද්ධයන් බටහිර නූතනත්වයේ බලපෑම නිසා තම බෞද්ධ දිවි පැවැත්ම යම් ප්‍රමාණයකට නැති කර ගෙන. එය වෙන ම කතාවක්. 

සිංහල බෞද්ධයනට  සිංහල කතෝලිකයන් සමගත් මුස්ලිමුන් සමගත් වැඩ කරන්න පුළුවන්. අද සිංහල දේශපාලනඥයන් වැඩ කරන්නෙ මුස්ලිම් ඡන්ද බලාගෙන. මෛත්‍රිපාල කියා වෙනසක් නැහැ. අසාද් සාලි ලා හිස්බුල්ලා ලා බදියු දීන් ලා රහමන් ලා ළඟා කරගත් පමණින් ඡන්ද දිනා ගන්න බැහැ. දේශපාලනඥයන් දැන ගත යුතු කරුණක් තියෙනවා. මුස්ලිම් ඡන්ද බලාගෙන වැඩ කිරීමෙන් සිංහල බෞද්ධ පමණක් නොව සිංහල කතෝලික ඡන්ද ද නැති වෙන බව.  

පාස්කු ප්‍රහාරය පිටුපස ඇත්තේ අයිසිස් පමණක් නො වෙයි. බටහිර රටවල් ද ඉන්නවා. මා කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කාලෙත් කතෝලික සිසුන්ට කිව්වෙ ඔවුන් රෝමානු කතෝලික නොව සිංහල කතෝලික ලෙස සිතිය යුතු බවයි. රෝමයට වන්දනාවේ යන එක ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ලැදිවිය යුත්තේ රෝමයට වඩා ලංකාවට. සිංහල බෞද්ධයන් ඉන්දියාවට වඩා ලංකාවට ලැදියි. ඒ බුදුදහමට අමතර ව වංගය කාලිංගය කේරළය මහාරාෂ්ට්‍රය ආදී ප්‍රදේශ සමග සම්බන්ධකම් තිබිය දී. සිංහල කතෝලිකයන්ගේ රටට ඇති ලැදි කම පිළිබඳ ප්‍රශ්නයක් දැන් නැහැ. සිංහල කතෝලිකයන් යනු කතෝලික වූ සිංහලයන්. 

බොහෝ මුස්ලිමුන් ද මෙරටට ලැදියි. එහෙත් අද වන විට ආණ්ඩුවල නොසැලකිල්ල නිසා අයිසිස් අන්තවාදීන් මෙරට ඉන්නවා. එමෙන් ම මුස්ලිම් ව්‍යාප්තවාදයක් ද මෙරට කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් මුස්ලිම් ව්‍යාප්තවාදයට අනුග්‍රහ දක්වා ඇති බව පැහැදලියි. 

අද මුස්ලිම් මෞලවිවරුන් මුස්ලිමුන් අතර අන්තවාදයට එරෙහිව වැඩ කිරීමට කටයුතු කරනවා නම් හොඳයි. එහි දී මා ආරාධනා කරනවා භික්‍ෂූන් වහන්සේ, කාදිනල්තුමා ප්‍රධාන කතෝලික පූජකතුමන් මුස්ලිම් මෞලවිවරුන් සමග එකට වැඩ කරන ලෙස. මෞලවිවරුන්ට මුස්ලිම් සමාජයේ කෙතරම් බලයක් තියෙනවා ද කියා මට හරියට ම කියන්න බැහැ. එහෙත් අප මුහුණ දෙන ප්‍රශ්නය ඉතා බරපතළයි. එය සෘජු ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යන දේශපාලනයක් ගැන සිත් යොමු කිරීමට කාලය ඇවිත්.