Main Logo

Friday 31 May 2019

රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල


රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල 

අද රතන හාමුදුරුවො දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන්න යන බවට ආරංචියක් තියෙනවා. ඒක මාරාන්තික ද නැහැ අපවත්වීමාන්තික ද නැත් ද කියල දැන ගන්න විධියක් නැහැ. ඊයේ මාධ්‍යයට කියන්නෙ නැතිව පවත්වපු සාකච්ඡාවක දි තීරණය ගත් බවට තමයි ආරංචි වුණෙ. මාධ්‍ය සහභාගි කර නොගැනීමත් මාධ්‍ය සංදර්ශනයක්. රතන හාමුදුරුවන්ට මාධ්‍ය ගැන අමුතුවෙන් කියල දෙන්න කාටවත් බැහැ. අසාද් සාලි ලා අස්කරන්න ඕන. ඒ බව අර වස විස කතාව වගේ ම අපි කියල තරමක කාලයක්. 


රතන හාමුදුරුවන්ටත් චම්පකටත් තියෙන්නෙ අනෙක් අයගෙ සංවිධාන මතවාද ආදිය තමන් අතට අර ගෙන තමන්ට දේශපාලන බලතල ලබා ගැනීමට ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක්. අන්තිමට අර මතවාද හා සංවිධාන නැති කිරීමත් ඒ ප්‍රතිපත්තියට ම අයත්. 

රතන හාමුදුරුවන් පාපොච්චාරණයක් කරල. සරත් විජේසූරියත් පාපොච්චාරණය කරල. මා මේ අය ගැන දන්නෙ ශිෂ්‍ය අවධියේ ඉඳලා. 2015 ජනවාරියෙ ඒ අය එකට හිටියෙ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ කවුද කියල අඳුර ගන්න බැරි වුණු අය අද බයිලා කියනවා. පාපෝච්චාරණත් බයිලා තමයි. ජනතාව පාපෙච්චාරණවලින් රැවටෙනව නම් ඔවුන්ට අබ සරණයි. එදා ඔවුන් පමණක් නොවෙයි ජයම්පතිලත් ඒ සියල්ලන් පසු පස සිටි මෝදිලත් ඔ බ්ලේක්ලාත් මෛත්‍රිපාල තෝර ගත්තෙ මහින්ද වෙනුවට රනිල් පත් කර ගන්න. රනිල් තරම් සිංහල බෞද්ධ විරෝධියෙක් මෑත කාලයේ දේශපාලනයෙ ඉඳලා නැහැ. මෛත්‍රිපාල නිකම් ම නිකම් ඉත්තකු වූවා පමණයි. 

අප අවුරුදු ගණනාවක් තිස්සෙ කිවුවෙ රනිල් ඉවත් කරන්න කියල. දුර්වල මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කියලා. බ්‍රහ්ම විෂ්ණු ආදීන්ටත් ශක්තිය අවශ්‍ය වන විට මෛත්‍රිපාලට ශක්තිය දීමට කතා කිරීම ගැන මහා දාර්ශනිකයන් මහාචාර්යවරුන් ආදී එකී නොකී අය මට සිරිජාතිකවාදියා කියා කිව්ව. මෛත්‍රිපාලට මයිලෝ දෙන්න කතා කළා. ඒ කොහොම වුණත් පහුගිය ඔක්තෝම්බර් විසිහයවැනි දා මෛත්‍රිපාලට ශක්තිය ලැබුණා. ඒකට බටහිරයන් ප්‍රතිචාර දක්වපු ආකාරය පාර්ලිමේන්තුවෙ දැක ගන්න පුළුවන් වුණා.  කරුණාරත්න ජයසූරිය විජිත හේරත් හදිසියේ ලියූ විශ්වාසභංගයක් හදිසියේ ම විවාදයට ගත්ත. මහින්ද අගමැති කමේ තියා ගන්න අවශ්‍ය උත්සාහය අදාළ පුද්ගලයන් ගත්තෙ නැහැ. මහින්දගෙ පත්වීම ව්‍යවස්ථාවට එකඟයි. එය අධිකරණයේ අභියෝගයට ලක් වුණෙ නැහැ. ව්‍යාජ විශ්වාසභංගයකින් තමයි මහින්ද අස් කෙරුණෙ. කරුණාරත්න ජයසූරිය දැන් රනිල්ට විරුද්ධව එන්න හදනවා. මේ කිසිවකුටවත් රැවටෙන්න හොඳ නැහැ. කරුණාරත්න බද්‍යුද්දීන්ගෙ විශ්වාසභංග යෝජනාව හමස් පෙට්ටියට දාල.

ඔක්තෝම්බර් විසි හය ආණ්ඩුව රැක ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙන්නෙ නැහැ. අද ඒ බවක් කියන්න මහින්දගෙවත් දිව නැවෙන්නෙ නැහැ. ඒ ආණ්ඩුව රැක ගන්න බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය කඩන්න ඕන වුණා. ඒකට අකමැති වුණෙ කවුද ? ආණ්ඩුව රැක ගැනීමට වඩා බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය රැක ගන්න ක්‍රියා කෙළේ කවුද? ඒ කොහොම වුණත් ඊට කලින් ඉඳල ම රටේ ආණ්ඩු දෙකක් තිබුණ. ඒ මෛත්‍රිපාලගෙ ආණ්ඩුව හා රනිල්ගෙ ආණ්ඩුව. පාස්කු ප්‍රහාරයටත් මුල් වුණෙ මේ ආණ්ඩු දෙකේ කතාව. ඉංගිරිසියෙන් කියනව නම් අ ටේල් ඔෆී ටු ගවර්න්මන්ට්ස් (A Tale of Two Governments). එය ආණ්ඩු දෙකක වලිගය (Tail)  හැටියටත් කියැවෙන්න පුළුවන්. 

අද ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් ගැන කතා කරන්නෙ ලිඳ ළඟ රැස්වීම්වල. රවි කරුණානායකලා ඊනියා තේරීම් කමිටුවක ඉඳන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහන කොට අර්ජුන් මහේන්ද්‍රන්ලා සිංගප්පූරුවෙ ඉඳන් හිනහ වෙනවා ඇති. මහානායක හාමුදුරුවරුන්ගෙ ගෞරවයට පාත්‍ර වෙච්ච කරුණාරත්න ජයසූරිය මේවට වග කියන්න ඕන. මේ ලිඳ ළඟ රැස්වීමෙන් පැහැදිලි වෙන කරුණක් තියෙනවා. අපේ රටේ සුද්දගෙ වැඩ කෙරෙන ආකාරය. 

සුද්දන් සර්ව සම්පූර්ණ නැහැ. ඒත් ඔවුන්ගෙ යම් ක්‍රමවේදයක් තියෙනවා. නීති රීති යම් ප්‍රමාණයකට හරි රැකෙනවා. අපේ රටේ වඩාත් බලපාන්නෙ පෞද්ගලික සම්බන්ධතා. මෛත්‍රිපාල රනිල් ආණ්ඩු දෙකේ ප්‍රශ්නය නිසා පොතේ තියෙන ආරක්‍ෂක මණ්ඩලය රැස්වෙලා නැහැ. ඒ සමහරවිට රනිල් හා ඔහුගෙ පිරිස ඒ රැස්වීම්වලට සහභාගි වෙන නිසා වෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙන මොකක් ද මණ්ඩලයක් රැස් වෙලා. ඒක නීිතිගත එකක් නො වෙයි. 

මහින්දගෙ කාලෙ හෙන්දවිතානට තිබුණු බලතල ඊට පසුව පැමිණි නිලධාරීන්ට තිබිලා නැහැ. ඒක එහෙම තමයි. මහින්දගෙ කාලෙ ගෝඨාභයට තිබුණු බලතල මෛත්‍රිපාල යටතෙ ආරක්‍ෂක ලේකම්ලට තිබුණෙ නැහැ. අපට නෛතික සම්බන්ධකම්වලට වඩා පෞද්ගලික සම්බන්ධකම් වැදගත්. මහින්දට යම් දෙයක් කරන්න පුළුවන් වුණු එක් ප්‍රධාන කාරණයක් වුණෙ මේ පෞද්ගලික සම්බන්ධකම්. මෛත්‍රිපාලට එවැනි ශක්තිමත් පෞද්ගලික සම්බන්ධකම් තිබුණෙ නැහැ. ඔහු රැඳී සිටියෙ කිසිම උපදේශයක් දෙන්න බැරි පැරණි සුවාදීනයන් පශ්චාත්නූතනවාදීන් ආදීන් මත. මෛත්‍රිපාලට මහින්ද සමගවත් හොඳ පෞද්ගලික සම්බන්ධකම් ඔක්තෝම්බර් විසිහයට පස්සෙත් තිබුණෙ නැහැ. 

අද අපට ප්‍රශ්නය කතා කරන නායකයෙක් නැහැ. ජනතාව ඉන්නෙ නායකයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන්. නායකයන්ට තියෙන්නෙ කසිකබල් මධ්‍යම පංතික අවශ්‍යතා මිස ජාතික අවශ්‍යතා නො වෙයි. අසාද් සාලිට මිනිසුන් හූ කියද්දි මෛත්‍රිපාල ඔහු තියාගෙන ඉන්නවා. හිස්බුල්ලා හා බද්‍යුද්දීන් තියාගෙන ඉන්නවා. රතන හාමුුදුරුවො දේශපාලනයේ ජීවත්වීම සඳහා අපවත්විමාන්තික උපවාස කරනවා. රතන හාමුදුරුවන් විනය ගැන සැලකිලිමත් වුණු භික්‍ෂුවක් නො වෙයි. චම්පක ඇත්තේ උන්වහන්සේට හුඟක් පිටිපස්සෙන් නො වෙයි.