Main Logo

Saturday 1 June 2019

ජනතාව රවටන දේශපාලනඥයෝ හා ජඩමාධ්‍ය

ජනතාව රවටන දේශපාලනඥයෝ හා ජඩමාධ්‍ය 



ඊනියා සංහිඳියාව කියන එක අද නැත්තට ම නැති වෙලා. මෛත්‍රිපාල හා රනිල් අතරත් සංහිඳියාවක් නැහැ. ඒ නැති වෙලා දැන් අවුරුදු තුනකට වැඩියි. එදා සිට ඇත්තේ ආණ්ඩු දෙකක්. ඒ බව තේරුම් ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයට බැරි වුණා. රනිල් ඉවත් කිරීම ප්‍රධාන කටයුත්ත බවට පත් වී තිබිය දී ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් රනිල් රැක්කා. අවසානයේ දී බැරි ම තැන මහින්ද අගමැති කිරීමට සිදු වුණා. එහෙත් ඒ ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැක ගැනීමට එකී ඒකාබද්ධ විපක්‍ෂයේ ම ඇතැමුන් උත්සාහ ගත්තේ නැහැ. ඔවුන්ට වඩා අවශ්‍ය වූයේ රිෂාඩ් බද්‍යුද්දීන්ගේ පක්‍ෂය රැක  ගැනීම.


සංහිඳියාව යන්නෙහි සැඟවුුණු තේරුම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු විශේෂ තත්වය නැති කිරීම. රනිල් මංගල වැන්නන් පමණක් නොව ලක්‍ෂමන් කිරිඇල්ල, රවි කරුණානායක, මහෝපාසක කරුණාරත්න ජයසූරිය, සජිත් ප්‍රේමදාසත් හිටියේ ඒ ස්ථාවරයේ. මොවුන්ගෙන් සමහර දෙනකු සහ තවත් අය යළි උපන් (බෝන් අගේන්) ක්‍රිස්තියානීන්. පොහොට්ටුවේත් ශ්‍රී ල නි පක්‍ෂයෙත් යළි උපන් ක්‍රිස්තියානින් ඉන්නවා. එ ජා පක්‍ෂය ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. මා හිතන්නේ කාදිනල්තුමා මේ යළි උපන් ක්‍රිස්තියානින් ගැන දන්නවා. ඔවුන් ද මූලධර්මවාදීන්. ඒ වහාබ්වාදීන් මෙන් ම.  ඊනියා සංහිඳියාව යළි උපන් ක්‍රිස්තියානින්ගේ සංකල්පයක්. ක්‍රිස්තියානි මුස්ලිම් සියල්ලන් ම මේ මූලධර්මවාදීන් ප්‍රතික්‍ෂෙප කරන්න ඕන.

ඊනියා සංහිඳියාව සුණු විසුණු වී ගියේ පාස්කු බෝම්බ ප්‍රහාරවලින්. එය ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් මෙහෙයවුණු මුස්ලිම් මූලධර්මවාදීන්ගේ වැඩක්. ඔවුන්ගේ අවාසනාවකට බෝම්බ අතේ පත්තු වුණා. එසේ වීමෙන් බෞද්ධ මෙන් ම කතෝලික ජනතාවටත් වැටහුණා ඊනියා සංහිඳියාවේ තරම. 

මෙරට ජඩමාධ්‍ය පුරුදු වී සිටින්නේ ඊනියා අලුත් කතා කියන්න. ඊනියා සංහිඳියාවට පක්‍ෂව කටයුතු කළ අය එක් රැයකින් එයට විරුද්ධ වන විට ජඩමාධ්‍යයට එය ලොකු ප්‍රවෘත්තියක් වෙනවා. එහෙත් හැමදාමත් ඊනියා සංහිඳියාවට විරුද්ධ ව සිටි අය ජඩමාධ්‍යයට පෙනෙන්නේ නවතාවක් නැති ව හැමදාමත් එක ම කතාව කියවන පිරිසක් ලෙසයි. ජඩමාධ්‍ය කල්පනා කරන්නේ නැහැ මේ එක ම කතාවේ වටිනාකමක් තියෙනවා ද කියා. ඔවුන්ට ඕන විවිධ කතා කියමින් ඊනියා ප්‍රවෘත්ති අළෙවි කිරීමටයි.

අද රතන හාමුදුරුවන් කරන උපවාසය කරන්න තිබුණේ බොහෝ කලකට පෙර. හිස්බුල්ලා කගේ බුල්ලා ද කියා කියන්න මා උත්සාහ ගන්නේ නැහැ. එහි හිස් කියන කොටසට ඉංගිරිසියෙන් හරි කමක් නැහැ තමන් කැමති අර්ථයක් දෙන්න. මා දන්නේ නැහැ හිස්බුල්ලා ඔක්තෝම්බර් විසිහයවැනි දා ආණ්ඩුවේත් ඇමතිවරයකු වුණේ කාගෙ වුවමනාවකට ද කියා. රතන හාමුදුරුවන්ට ජඩමාධ්‍ය විශාල ප්‍රචාරයක් දෙන්නේ උන්වහන්සේගේ පසුගිය අවුරුදු තිහක පමණ කාලයක දේශපාලනය නො දැන ද?

අද ජනතාවට ඊනියා සංහිඳියාවක් නොව සහජීවනයක් අවශ්‍යයයි. එය අපට අලුත් දෙයක් නො වෙයි. අප මුස්ලිමුන් සමග සහජීවනයෙන් විසුයේ දහහතරවැනි සියවසේ පමණ සිට. ඒ සහජීවනය බිඳ දමන්න උත්සාහ කෙළේ පෘතුගීසීන්. සෙනරත් රජු මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචි කෙළේ පෘතුගීසීන්ගෙන් ඔවුන් බේරා ගැනීමට මිස අරාබි කාත්තන්කුඩියක් හදන්න නො වෙයි. සහරාන්ගේ තව්හීඩ් ජමාත් පමණක් නොව ලංකා ජව්හීඩ් ජමාත් සහ තවත් තව්හීඩ් ජමාත් සංවිධානත් තහනම් කළ යුතුයි. එමෙන් ම යළි උපන් ක්‍රිස්තියානි සංවිධාන ගැනත් අමුතුවෙන් හිතන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ මහමත්තුමා දෙසූ දහම්වලට, තමන් මුලට යන්නේ යැයි කියමින්, නව අර්ථකථන දෙන්නන්ගෙන් අප පරෙස්සම් විය යුතුයි. 

අද සහජීවනය වෙනුවෙන් සංඝයා වහන්සේ හා කතෝලික පූජකතුමන්ලා එකතු වී සිටිම සුබ නිමිත්තක්. එයට ඇතැම් මෞලවිතුමන්ලාත් සහභාගි කර ගැනීමට හැකි නම් හොඳයි. අවාසනාවකට දේශපාලනඥයන් සහජීවනය අතට ගන්නේ නැහැ. දෙපැත්තේම ඉන්න දේශපාලනඥයන්, රතන හිමියන් ද ඇතුළුව, නැවතත් ජනතාව රවටන්න හදනවා. අපට පක්‍ෂ දේශපාලනයෙන් ගැලවීමක් ද දැනට නැහැ. එහෙත් අප කෙදිනක හරි සුද්දන් දුන් මේ දේශපාලන මරාලයෙන් ගැලවෙන්න ඕන. හිස්බුල්ලා අස්කරන්න ඕන. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඒ අයාලේ ගිය දේශපාලනඥයන් කියන නිසා නො වෙයි. හිස්බුල්ලා විතරක් නොවෙයි හිස්බුල්ලාට ආණ්ඩුකාරකම් ඇමතිකම් දුන් අය ද හැකි නම් අස් කළ යුතුයි. ඒ කිරීමට නම් පළමුව ජනාධිපතිවරණයක් ලබා ගත යුතුයි. දේශපාලනඥයන් මෙන් ම ජඩමාධ්‍ය ද පවතින්නේ ජනතාව රැවටීමෙන්.

අත්අඩංගුවට ගන්නා අය රඳවා තබා ගැනීමට විරුද්ධව ඊනියා මානව හිමිකම් අයිතිකරුවන් සිවල් සාමාජිකයන් ආදීන් ඉදිරිපත් වේවි. කිසිම ජනතා පදනමක් නැති මේ බටහිර අනුග්‍රහය ලබන්නන් සතපහකට ගණන් ගන්න ඕන නැහැ. හදිසි නීති ඉවත් කිරීමට ඉක්මන් වෙන්න ඕන නැහැ. සියල්ලට ම වඩා රාජ්‍යාරක්‍ෂාව ප්‍රධානයි. හදිසි නීති නැත්නම් සහරාන්ගේ සහායකයන් මේ වන විටත් නිදහස් කෙරිලා.