Main Logo

Thursday 27 June 2019

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ  

පේරාදෙණියේ සිංහලෙන් ඉතිහාසය උගන්නන්න පටන් ගත්ත කාලයෙ එක් ඉතිහාස කථිකාචාර්යවරයකු ප්‍රංශ  විප්ලවයට ප්‍රංශ  හුටපටේ  කිව්වළු. ඒ ඔහුගෙ සිංහල දැනුමෙ අඩුපාඩුවක් නිසා වූ බවයි එකල ශිෂ්‍යයන් කිව්වෙ. ඒත් මා නම් හිතුවෙ හුටපටේ කියල කියන්න හොඳ සිංහල දැනුමක් අවශ්‍ය බවයි. ප්‍රංශ විප්ලවය කියන්නෙ පහළොස්වැනි සියවසේ ඇරඹුණු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පසුව ඇති වූ වැදගත් මං සලකුණක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය බොහෝ සංකල්ප බිහි කෙරුණෙ ප්‍රංශ  මහා විප්ලවයෙන්.


මේ ලිපි කියවන අයගෙන් වැඩි දෙනා මහින්දවාදීන්. මහින්ද විවේචනය කෙරෙන ලිපි අඩුවෙන් තමයි කියවෙන්නෙ. ලංකාවෙ උගතුන් මොන තරම් වල්පල් දෙඩුවත් ප්‍රංශ විප්ලවයෙ සමහර කරුණු ඔවුන් උකහා ගෙන නැහැ. ඔවුන් අනෙක් මත ඉවසන්නෙ නැහැ. එ වගේ ම තමන්ට වුවමනා දේ කියන්න ව්‍යාජ සමාජයීය නිරීක්‍ෂණ යොදා ගන්නවා. මා කියන්නේ ඊනියා වාස්තවික නිරීක්‍ෂණ ඇති බවක් නො වෙයි. 

මෙරට මුස්ලිම් ජනයා ජීවත් වන්නේ වෙන ම කොටසක් ලෙස. ඒක මේ රටට විශේෂිත ලක්‍ෂණයක් හැටියට අරගෙන සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් උත්සාහ දරනවා. මුස්ලිමුන් තම සංස්කෘතියෙන් පිට පනින්න කැමති නැහැ. තම ආගම හැරෙන්න වෙනත් ආගමක් අදහන්නන්ටත් වඩා තම ආගම අත්හරින අයට කෘර ලෙස සලකන සංස්කෘතියක අය වෙනත් සංස්කෘතියකට හරවා ගැනීම හෝ හැරීම හෝ පහසු කටයුත්තක් නො වෙයි. ලොවෙහි බෞද්ධ රටවල් මුස්ලිම් වෙලා තියෙනවා. එහෙත් මුස්ලිම් රටවල් බෞද්ධ වෙලා නැහැ. මුස්ලිමුන් ක්‍රිස්තියානි වෙන්නෙත් නැහැ හින්දු වෙන්නෙත් නැහැ. 

පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අහන්නෙ නැහැ මුස්ලිමුන් හින්දු වෙන්නෙ නැත්තෙ මොකද කියල හරි එහෙමත් නැත්තන් ක්‍රිස්තියානි වෙන්නෙ නැත්තෙ මොකද කියල හරි. ඒව අමතක කරල සාධාරණ නිරීක්‍ෂණයක් යටපත් කරල ඔවුන් අහනව ලංකාවෙ මුස්ලිමුන් බෞද්ධ වුණෙ නැත්තෙ මොකද කියල. වැරදි ප්‍රශ්න අහල තමන්ට කැමති උත්තර දෙන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්ට සලකන නැටි නැට්ටන් පිිරිසක් ද ලංකාවෙ ඉන්නවා. 

ප්‍රංශ විප්ලවයෙන් වර්ධනය කෙරුණු සංකල්පයක් වුණෙ පෞද්ගලිකත්වය. බටහිර ක්‍රිස්තියාතියානි නූතනත්වයෙ මුල ඉඳල ම මේ කාරණය දකින්න පුළුවන්. පිරෙන්ට්සි නුවර ඩේවිඩ් ප්‍රතිමාවෙත් මාටින් ලූතර්ගෙ 1517 පෝස්ටරයෙත් මේ කරුණ දකින්න පුළුවන්. කතෝලික සංස්කෘතියෙ සමස්තය කියන සංකල්පය බිඳ දාලා පෞද්ගලිකත්වය ඉදිරියට ගත්ත එක තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ප්‍රධාන ලක්‍ෂණය. 

මේ කරුණ බටහිරයකු අතින් කියැවිලා නැති නිසා මෙරට පඬියන් ඒ ගණන් ගන්නෙත් නැහැ. පඬියන්ට අනුව අපෙන් ඊනියා සමාජයීය විද්‍යාවන්ට කිසි ම නව ප්‍රදානයක් වෙලත් නැහැ. මෙරට සමජයීය විද්‍යාඥයන් හිතන්නෙ ඔවුන්ට බටහිර ගණිතය භෞතික විද්‍යාව තේරුම් ගන්න බැරි නිසා ගණිතය භෞතික විද්‍යාව හැදෑරූ අයට සමාජයීය විද්‍යාවන් හදාරන්න බැහැ කියා. ලංකාවෙ විශ්වවිද්‍යාලවල ඉන්නවා බටහිර විද්‍යාව උසස් පෙළට හදාරන්න ගිහිල්ල බැරූව සමාජයීය විද්‍යා හදාරල ආචාර්ය මහාචාර්ය වුණු අය. මා මෙයින් කියන්නෙ විද්‍යා පීඨවල ඉන්න අය සමාජයීය විද්‍යා පීඨවල ඉන්න අයට වඩා උසස් කියන එකක් නම් නො වෙයි.  විද්‍යා පීඨවල ඉන්න අයගෙත් තරම මා දන්නවා. 

ප්‍රංශයේ බුර්කාව තහනම්. ඒ වගේ ම බුර්කිනී යන නමින් හැඳින්වෙන මුස්ලිම් ස්ත්‍රීන්ගෙ නාන ඇඳුමත් තහනම්. බුර්කිනී යන්න හදාගෙන තියෙන්නෙ බුර්කා හා බිකිනි එකතුවෙන් වෙන්න ඕන.  ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රීන් කිහිප දෙනකු මේ තහනම නොතකා පිහිණුම් තටාකයක බුර්කිනිය ඇඳගෙන නාලා. ඒ නිසා ඔවුන්ට දඩයක් ගෙවන්නත් වෙලා. මේ මුස්ලිම් ස්ත්‍රී හුටපටයෙන් පෙන්නන්නෙ මෙරට නොවෙයි ප්‍රංශයෙත් මුස්ලිමුන් මුස්ලිමුන් ලෙස ම ජීවත් වෙන බව. ඔවුන්ගෙ සංස්කෘතිය වෙනස් කරන්න ඔවුන් කැමති නැහැ. ඔවුන් දඩ කාලා හරි මුස්ලිම් සංස්කෘතිය රැක ගන්නවා. මේ පිළිබඳ විස්තර ඊයේ ඉංගිරිසි ලිපියෙහි සඳහන් ව ඇති.

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පෞද්ගලිත්වය ඉස්මතු කරන්නෙ කතෝලික සාමුහිකත්වය පස්සට දාලා. මුස්ලිම් සංස්කෘතිය එක පතේ කන තරමට සාමූහිකත්වය අගයනවා. මේ ගැටුමත් ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමට අදාළයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පෞද්ගලිකත්වයට තැන දෙන්නෙ සාමූහිකත්වය තුට්ටුවට දාලා. සමලිංගික කතා, ළමයින්ට දඬුවම් කිරීම තහනම් කිරීම ආදිය පෞද්ගලිකත්වය පමණක් අවධාරණය කිරීමේ ප්‍රතිඵල. මනස මොළයට ඌනනය කිරීමේ ප්‍රතිඵලය වන්නේ කිසිම වැරැද්දකට දඬුවම් කිරීමට නොහැකි වීම. වැරැද්ද යන්න සංස්කෘතිය මත රඳා පවතින දෙයක්. මිනීමැරීම වැරැද්දක් කියන සමාජයක යමකුට කියන්න පුළුවන් තමන් මිනී මැරුවෙ තම මොළය සකස් වී ඇති ආකාරය නිසා තමන්ට එහි පාලනයක් නැති නිසා කියල.  සමලිංගිකයන් කියන්නෙත් එවැන්නක්.

කොහොමටත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඉවර වෙනවා නම් එසේ වන්නෙ පෞද්ගලිකත්වය අන්තවාදී ව ඉස්මතු කිරීම නිසා. ඔවුන්ට අකමැත්තෙන් වුවත් මුස්ලිම් සංස්කෘතික ලක්‍ෂණවලටත් ඉඩ දෙන්න වෙනවා ඊනියා පෞද්ගලිකත්වයට තැන දෙන්න. එක්කෝ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පෞද්ගලිකත්වයට තැන දීල ද්‍රව්‍යවාදී ව  සමාජයක් හදල නැති වෙන්න ඕන. නැත්නම් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම අඩු කරන්න ඕන. එතකොටත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයක් නැහැ.

ප්‍රංශයේ මුස්ලිම් ස්ත්‍රීන් කියන්නෙ ප්‍රංශ මහා හුටපටේ ඉවර වෙනව කියන එක. ඔවුන් වෙනින් හුටපටයක් අරඹලා. මෙරට පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට ඒක කියල දෙන්න ප්‍රංශයෙ කවුරුන්වත් නැද්ද?