Main Logo

Friday 21 June 2019

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?   



අද ජූනි විසිඑක. අද සූර්යයා තම වාර්ෂික ගමනේ දී උත්තර ධ්‍රැවය දෙසට වැඩියෙන් ම යන දවස. අද උත්තරාර්ධ ගෝලයට වැඩි ම කාලයක් හිරු පේන්න තියෙන දවස. දෙරණේ චතුර මතක් කරල දෙනව පාස්කු ප්‍රහාරයට අදට මාස දෙකයි කියල. මාස දෙකක් ගිහිල්ලත් වැරදි කාරයකු නැහැ. සහරාන් මළේ නැත්නම් ඔහුටත් නිදහස් වෙන්න තිබුණ. බුදුහාමුදුරුවන් මිනී මස් වැළඳූ බව කී අබ්දුල් රාෂික් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියට ඇවිත් පවු සමා කරගෙන. ආගමික ශාස්තෘවරයකුට නිග්‍රහ කරල සමාව ගත්ත ම සියල්ල හරි යනවා ද? ඕනෑම වැරැද්දක් කරල සමාව ගත්ත ම නිදහස් වෙන්න පුළුවන් ද? ක්‍රිස්තියානි ආගමේ නම් පවු සමාකිරීමක් තියෙනවා. ඒත් ක්‍රිස්තියානි නීතියේ ක්‍රිස්තියානි අධිකරණයේ කිසිම දඬුවමක් නැතිව ඕනෑම අවස්ථාවක වැරදිවලට සමාව ගන්න පුළුවන් ද? 


පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කිරීමට එකඟ වීමෙන් විපක්‍ෂය කෙළේ වරදක්. ඉන් පසු විවිධ හේතු දක්වා ඒ කමිටුව එ ජා පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පමණක් භාර කිරීමෙන් විපක්‍ෂය කෙළේ ඊටත් වඩා බලවත් වරදක්. කමිටුවේ සාමාජිකයන් අතරින් යම් ජාතිකත්වයක් ප්‍රදර්ශනය කරමින් ප්‍රශ්න අහන්නෙ සරත් ෆොන්සේකා විතරයි. අනෙක් අය ප්‍රශ්න අහන්නෙ රනිල් වෙනුවෙන්. රනිල්ගේ සිංහල බෞද්ධ විරෝධය ගැන අප කියන්නෙ අවුරුදු ගණනක සිට. ඔහු ඉවත් කළ යුතු බවට අප කීවෙත් අවුරුදු ගණනකට පෙර. අද බෙල්ලන්විල ධම්මරතන හිමියන් රනිල්ගෙ අසිංහලකම ගැන දේශනා කරනවා. ඒක හොඳයි. අපේ හාමුදුරුවරුන් රනිල් ඉවත් කර තැනූ ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැක ගැනීමට තරමක් වෙහෙස වූවා නම් හොඳය කියා හිතෙනවා.

ඉන්දියාව කියනවා අයිසිස් ආසියාවෙ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් කියල. ඉරාකයෙ පැරදුණාට පස්සෙ අයිසිස් ඉන්දියාවට ලංකාවට එන බව තමයි කියන්නෙ. මේ අර රොහාන් ගුණරත්න කියනව වගේ දේ. රොහාන් ගුණරත්නගෙ ඉතිහාසය කවුරු හරි හොයල බලනව නම් හොඳයි. අද මහින්ද රාජපක්‍ෂටත් රොහාන් මහා විද්වතකු වෙලා. රොහාන් ලංකාවෙ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත ද? නැත්නම් ඒ ඇයි? නවක වදය හින්ද ද? ඔහුට උපාධි ලැබුණෙ කොහෙන් ද? ඔහු මෙරට මූලික අධ්‍යයන ආයතනයෙ (IFS) රැකියාවක් කෙළෙ කවුරුන් ලෙස ද? ඔහු ප්‍රභාකරන් පරාද කරන්න බැරි බව කීවේ ඔහුගේ විශේෂඥ දැනුමෙන් ද? මේ ඊනියා විශේෂඥයන්ට මහින්දත් මහින්ද රාජපක්‍ෂ මධ්‍යස්ථානයෙ දේශන සඳහා ආරාධනා කරන්නෙ ඇයි?

ඉන්දියාවට දැන් බටහිර සමග මිතුරුව සිට චීනයට විරුද්ධ වීමේ ප්‍රතිඵල දැනෙන් පටන් අරන්. ඒත් තාම හරියට දැනෙන්නෙ නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වගේ නායකයකු සිටියා නම් ඉන්දියාව හා චීනය සමගි කරවන්න වැඩ පිළිවෙළක් සකස් කරන්න තිබුණා. අයිසිස් ආසියාවට ව්‍යාප්ත වන බව අප කලිනුත් කියල ඇති. ඒ චීන සේද මාර්ගය බටහිරට තර්ජනයක් නිසා. බටහිරට අවශ්‍යයයි චීන සේද මාර්ගයට අයත් වන රටවල් මෙල්ල කරන්න. බටහිර ඒ සඳහා තමන් පාලනය කරන අයිසිස් යොදා ගන්නවා.

කේරළය ඉන්දියාවෙ ක්‍රිස්තියානි/කතෝලික ජනගහනය තරමක් වැඩි ප්‍රාන්තයක්. බටහිරයන් අයිසිස් ලවා ලංකාවෙ කතෝලික පල්ලිවලට පහර දුන්න වගේ කේරළයෙ කතෝලික පල්ලිවලටත් පහර දෙන්න සැලසුම් කරනවා. ඉන්දීය බුද්ධි අංශවලට සමහර විට මේ තොරතුරු ලැබිල ඇති. කතෝලික පල්ලිවලට පහර දීමෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය බලාපොරොත්තු වෙන්නෙ මුස්ලිමුන්ට විරුද්ධව බටහිර රටවල ක්‍රිස්තියානින් අතර විරෝධයක් ඇති කරන්න. 

ඉන්දියාව හා එක්සත් රාජ්‍ය අතර දැන් ආර්ථික ගැටුමක් තියෙනවා. මෝදිට එක්සත් රාජ්‍ය සමග කලින් තිබූ ඇයි හොඳයිකම් පවත්වන්න බැහැ. ආසියාවට බටහිරයන් අයිසිස් යොදා ගෙන තම රටවලට කරන බෝම්බ ප්‍රහාරවලට විරුද්ධව එකතු වෙන්න බැරි ද? ඒ සඳහා නායකත්වය දීමට මහින්දටත් දැන් නම් බැහැ. ඉන්දියාව චීනය පිලිපීනය ලංකාව වැනි රටවල් එකතු කරන්න පුළුවන් නායකයකු අවශ්‍යයි. ඒ සඳහා රොහාන් ගුණරත්නලාගෙන් උපදෙස් ලැබෙන්නේ නැහැ. 

ඊළඟ ජනාධිපතිවරණයේ දී එවැනි නායකයකුත් බිහි කර ගැනීමට අපි උත්සාහ කරමු. රනිල් ඉවත් කළ යුතුය කියා අවුරුදු ගණනක් තිස්සේ අප කියන දෙය දැන් බොහෝ දෙනාට වැටහෙනවා. එහෙත් අප එයින් බලාපොරොත්තු වන්නේ රනිල් වෙනුවට එ ජා පක්‍ෂයෙන් ම සජිත් හරි කරුණාරත්න ජයසූරිය හරි පත් කර ගන්න නොවෙයි. එ ජා පක්‍ෂයෙන් මෙරටට වැඩක් වෙන්නෙ නැහැ. අපට හිස රදයට කොට්ට මාරු කරන්න ඕන නැහැ. 

අනෙක් අතට ගෝඨාභය යම්කිසි හේතුවක් නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නැත්නම් ඒ සඳහා වෙනත් රාජපක්‍ෂ කෙනකු අවශ්‍ය නැහැ. ගෝඨාභය ජනාධිපති ධුරයට සුදුසුයි. ඔහු රටට වැඩක් කළ ජාතිකතවයක් ඇති එඩිතර පුද්ගලයෙක්. එහෙත් බැසිල් රාජපක්‍ෂ ගැන කියන්න පුළුවන් මොකක් ද? ඔහුට ඇති ජාතිකත්වය කුමක් ද?  කොටින්ට විරුද්ධ ව කළ මෙහෙයුම්වල දී ඔහු කළ කාර්යය කුමක් ද? 

පොහොට්ටුවවත් ශ්‍රී ල නි පක්‍ෂයවත් මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගැන හිතන්න ඕනෙ නැහැ. ඔවුන්ට සාකච්ඡා කරල එකඟතාවකට එන්න තාම බැරි වුණා. අපේක්‍ෂකයා තේරීම, ගෝඨාභයට බැරි නම් ඉදිරිපත් කරන්නේ කාවද ආදිය භික්‍ෂූන් වහන්සේ සහ ජාතික ව්‍යාපාරය තීරණය කරාවි. පක්‍ෂවලට තියෙන්නෙ ඒ තීරණවලට සහාය දීම පමණයි. අපි සිංහල බෞද්ධ සම්ප්‍රදාය මත පිහිටා නව දේශපාලනයක් අරඹමු. අපේක්‍ෂකයන් තේරීමේ දී පක්‍ෂවලට ඇති ඒකාධිකාරය කඩමු. මෙරට සම්ප්‍රදායේ රජුන් තැනුවේ භික්‍ෂූන් වහන්සේ. ඒ සඳහා සියළු භික්‍ෂූන් වහන්සේ රැස් වී තීරණ ගත්තෙත් නැහැ. සම්ප්‍රදාය ගැන විස්තර පසුව කියන්නම්.