Main Logo

Tuesday 4 June 2019

පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය


පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය
පාස්කු නාට්‍ය සාමාන්‍යයෙන් කතෝලික ප්‍රදේශවල රඟ දැක්වෙනවා. අද පාස්කු නාට්‍යය ලංකාව පුරා ම රඟ දැක්වෙනවා. අසාද් සාලි හා හිස්බුල්ලා මෛත්‍රිපාලගෙන් ඉල්ලා සිටියා ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස. ඒ ඉල්ලීමට ම නොවූවත් ඥානසාර හිමි නිදහස් කෙරුණා. රතන හිමියන් අසාද් සාලි හිස්බුල්ලා මෙන් ම බද්‍යුද්දීන් ද තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊනියා අඛණ්ඩ උපවාසයක් ඇරඹුවා. ඥානසාර හිිමියන් රතන හිමියන්ට සහයෝගය දක්වමින් තමන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අසාද් සාලි හා හිස්බුල්ලා ඉවත් කරන මෙන් ඉල්ලා නුවර සිට කොළඹට පාද යාත්‍රාවක් ඇරඹුවා. පාද යාත්‍රාව ගැටඹෙට එනකොට අසාද් සාලි හා හිස්බුල්ලා තම තනතුරුවලින් ඉල්ලා අස්වුණා. පාද යාත්‍රාවත් උපවාසයත් නැවතුණා. නුවර ඇසළ පෙරහැරෙන් පසු දවල් පෙරහැර දිය කපන්න එන්නෙත් ගැටඹෙට. තාම පොසොන් මාසෙ ලැබුව විතරයි. 

රතන හාමුදුරුවන් උපවාසය නතර කෙළෙ බද්‍යුද්දීින් අස්වෙන්න පෙර. එය රනිල් වෙත පවරලා. ඒත් බද්‍යුද්දීන් තනිව ම අස් වුණේ නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සිටි සියළු මුස්ලිම් ඇමතිවරුන් පක්‍ෂ භේදයකින් තොරව තම ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වුණා. වාසනාවකට මුස්ලිම් ආණ්ඩුකාරවරු හිටියෙ අසාද් සාලි හා හිස්බුල්ලා විතරයි. හිටය නම් ඔවුනුත් අස් වෙන්න තිබුණ. දැන් මේ තනතුරුවලට පත්වීම් ලබන්න සිංහල දේශපාලනඥයන් හා ඔවුන්ගේ හිතවතුන් පොර කනවා. පෙනී යන විධියට මුස්ලිම් ඇමතිවරුන් ආණ්ඩුකාරයන් නිදොස් වුණොත් ඒ අය නැවත පත් කරන්න ඕන. ඒ නිසා පුරප්පාඩු පුරවන්න පුළුවන් ද? ඒත් සිංහල දේශපාලනඥයන් හා ඔවුන්ගෙ හිතවතුන් සටන අත්හරින එකක් නැහැ. ඔවුන්ට දිවි හිමියෙන් ජනතාවට සේවය කරන්න ඕන. 

ඉතා පැහැදිලිව මෛත්‍රිපාල හා රනිල් බලය රැක ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය යොදා ගන්න උත්සාහ කරනවා. මේ බල අරගලය නිසා මුස්ලිම් දේශපාලනඥයන්ට මොන පක්‍ෂයේ හිටියත් කරදරයක් වෙන එකක් නැහැ. මුස්ලිම් ඇමතිවරුන් අස්වෙලා තියෙන්නෙ තමන් ඒ තනතුරුවල සිටීම පරීක්‍ෂණවලට බාධාවක් වේය කියා හිතල. ඒක පරම පවිත්‍ර චේතනාවක් වෙන්න ඕන. සීතල දුරුත්තෙවත් එවැනි සිතුවිලි පහළ වුණා නම් විශ්වාස කරන්න තිබුණා. ඒත් දැන් මේ වෙසක් පහු වුණා විතරයි. මුස්ලිම් ඇමතිවරුන්ට තියෙන චෝදනා ගැන විභාගයක් කරන්න නම් මේ දේශපාලනඥයන් සියළු දෙනා ම ඉවත් වෙන්න ඕන. බටලන්ද ගැනවත් බැංකු කැඩිල්ල ගැනවත් රජපක්‍ෂලාට විරුද්ධව තිබූ චෝදනා ගැනවත් තිබුණු විභාග මොනවා ද? දේශපාලනඥයන් අප ඉදිරියේ කුමක් කීවත් තම තමන් ආරක්‍ෂා කර ගන්නවා. ප්‍රසිද්ධ දේශපාලනඥයකු කියා ඇත්තේ බල්ලන් බලු මස් නොකන බවයි. 

හිස්බුල්ලා බද්‍යුද්දීන් ආදීන්ට විරුද්ධව චෝදනා තියෙන්නෙ මුස්ලිම් අන්තවාදීන්ට ආරක්‍ෂාව සැපයූ බවට, ආධාර කළ බවට ආදී වශයෙන්. අස්වුණු ඇමතිවරු කියන්නෙ පරීක්‍ෂණ මාසයක් ඇතුළත කරන්න කියලා. ඒ කාල සීමාව ඇත් ද? මේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් සෙවීම ද? මාසයකින් පරීක්‍ෂණ කර ගන්න බැරි වුණොත් මොකද කරන්නෙ? කොහොමටත් අස්වෙච්ච සියළු ඇමතිවරුන්ට විරුද්ධ ව චෝදනා නැහැ. ඔවුන් අස් වීමෙන් කරන්නේ චූදිතයන් නිදොස් කිරීමක්. එහෙම නැත්නම් චූදිතයන් ද නිදොස් කොටසට ඇතුල් කිරීමක්. 

ජනමාධ්‍ය පඬියන් මොනවා කිව්වත් මෙරට ඊනියා සංහිඳියාවක් තිබුණේ නැහැ. සංහිඳියාව නමින් කෙරුණෙ සිංහල බුද්ධාගමට මෙරට හිමි තැන නැති කිරීමයි. මංගල කියන්නෙ නූතනත්වය වෙනුවෙන් මෙරට පෙනී සිටින ප්‍රධාන ම දේශපාලනඥයා. ඔහු තමයි රතන හිමියන් සමග සංධීය රාජ්‍යය සඳහා රටවැසි පෙරමුණ ආරම්භ කෙළේ. ඔහු තමයි පශ්චාත්නූතනවාදය කියන්නෙ මොකක් ද කියා නොදත් ඊනියා එක්ස් කණ්ඩායමකට මාතොට නමින් සිංහල බෞද්ධ විරෝධී සඟරාවක් ආරම්භ කිරීමට උපකාර කෙළෙ. රතන හිමියන් හා චම්පක ඔහු වෙනුවෙන් 1994 මැතිවරණයෙ දි වැඩ කළා. මංගල  කියන්නෙ සිංහල බෞද්ධයන්ගෙ අවමංගල කටයුතු කිරීමට සූදානමින් සිටින්නා. ඛෙමාගෙ කොලුවා සිංහල බෞද්ධ අවමංගල්‍යය වෙනුවෙන් ඇඳුමක් සකස් කරමින් ඉන්නවා.ඔහු ලංඩනයේ දී ඉගෙන ගත් දේ ක්‍රියාත්මක කරන්න හදනවා. 

අද අවශ්‍ය වන්නේ සහජීවනය. එය සිංහල බෞද්ධ රටේ තිබුණ දෙයක්. පාස්කු ප්‍රහාරයෙන් පසුව සියළු ජනතාව මෙන් මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්න තත්වයකට පත් වුණා. රතන හිමියන්ගෙ උපවාසය වටා ජනතාව එකතු වුණා නො වෙයි. ජනතාව එකතු වී තිබුණු සිංහල බෞද්ධ රට යන සංකල්පය වටා. රතන හිමියන් හා වෙනත් අය එය ප්‍රයෝජනයට ගැනීමට කරන ලද උත්සාහයක්. එමෙන් ම ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ ඒ සංකල්පය දිය කර හැරීමට ගත් උත්සාහයක්.

මුස්ලිම් ඇමතිවරුන් අස්වීමෙන් කියා සිටින්නේ මුස්ලිම් අන්තවාදීන් යනුවෙන් කොටසක් වෙන් කරන්න එපා කියලයි. අද ඇතැම් මුස්ලිම් ජනයාත් ඉස්ලාම් ආගමේ සාමකාමී පැත්ත පමණක් කල්පනා කරද්දි මේ හිටපු ඇමතිවරුන් ඒ ජනතාවත් වහාබ්වාදීන්ගේ කොටසට දාන්න උත්සාහ කරනවා. මුස්ලිම් දේශපාලනඥයන් හා සිංහල දේශපාලනඥයන් අතර වෙනසක් නැහැ. ඔවුන් ඡන්දය මත පමණක් පදනම් ව ව්‍යාපාරයක නිරත වන අය. දේශපාලනඥයන් කී දෙනකු තමන් දේශපාලනයට පිවිසීමේ දී සිටියාට වඩා දැන් දේපොළ බැංකු ගිනුම් අහිමි කරන් තියෙනවා ද? මා කියන්නේ මගේ නොවන මගේ ම දේපොළ ගැනත් සමගින්. 

මෛත්‍රිපාල හා රනිල් පමණක් නොව මහින්දත් කරන්නේ දේශපාලනයක්. කිසිවකු අද ඇති ප්‍රශ්නයට අත තියන්නේ නැහැ. ඔවුන් යෙදී සිටින්නේ ඡන්ද ව්‍යාපාරයක. අද ප්‍රශ්නය මෙරට සහජීවනයක් (ඊනියා සංහිඳියාවක් නොව) ඇති කරන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්නේ කෙසේ ද යන්නයි. ජනතාව එයට කැමතියි. එහෙත් ඒ සඳහා නායකත්වය දෙන්න අයකු නැහැ. මහින්ද දුක්ගන්නා රාළගේ කාර්යාලයක් විවෘත කරලා. දුක්ගන්නා රාළ බෞද්ධ සංකල්පයක් නො වෙයි. ඒත් පරස්පරයක් වුවත් මා ඒ කාර්යාලයට විවෘත දුක් ගැනවිල්ලක් කරනවා. මෙරට තිබූ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවා ජනතාවට සෙතක් ඇති කරන්න. මහින්දට ඒ පුළුවන් ද?