Main Logo

Wednesday 26 June 2019

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව 

පාක්‍යසෝති සරවනමුත්තු රෝම ලන්දේසි (ක්‍රිස්තියානි) නීතිය යටතෙ අස්ගිරි මහානායක හාමුදුරුවන්ට විරුද්ධ ව පැමිණිලි කරලා. ඔහු නීතිපතිට පැමිණිළි කර බවයි මාධ්‍යයෙන් කියැවෙන්නෙ. උසාවිය ඉදිරියට ගියා ද කියන එක පැහැදිලි නැහැ. මොනව වුණත් රෝම ලන්දේසි නීතිය සාධාරණ හැටියටයි උගන්නලා තියෙන්නෙ. පාක්‍යසොතිගෙ පැමිණිල්ල මහානායක හාමුදුරුවො මොනව කිව්ව එක ගැන ද කියන එක මාධ්‍ය කියන්නෙ නැහැ. ඒත් මාධ්‍ය පාක්‍යසෝතිට තරම් ප්‍රසිද්ධියක් මහානායක හාමුදුරුවන්ට දෙන්නෙ නැහැ කියන එක නම් පැහැදිලියි. 


පාක්‍යසෝතිලාට තියෙන ප්‍රශ්නය වෙන මොකක්වත් නොවෙයි ඉංගිරිසින් යටතෙ වෙල්ලාලයන්ට තිබුණු වරප්‍රසාද නැති වීම. ඉංගිරිසින් මෙරට ඊනියා ලාංකිකයන්ගෙ නායකත්වය පොන්නම්බලම් කුමාරස්වාමි පවුලටත් ඊළඟට වෙනත් වෙල්ලාලයන්ටත් දීිල තිබුණා. මෙරට ක්‍රිකට් නායකත්වය, ක්‍රිකට් මූලස්ථානය තිබුණෙ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට හා වනාතමුල්ලෙ ඕවල් ක්‍රීඩාංගනයට. ඒ දිනවල අපත් ප්‍රධාන ක්‍රිකට් තරග නරඹන්න ගියෙ ඕවල් ක්‍රීඩාංගනයට. අද එය පී සරා නැත්නම් සරවනමුත්තු ක්‍රිඩාංගනය ලෙස හැඳින්වෙනවා. පී සරවනමුත්තු කියන්නෙත් පාක්‍යසෝති සරවනමුත්තු. ඒ මේ සරවනමුත්තුගෙ සීයා. 

අද වන විට ලංකාවෙ ක්‍රිකට් නායකත්වයත් සිංහලයන් අතට පත්වෙලා. ක්‍රිකට් මූලස්ථානය එස් එස් සී හෙවත් සිංහල ක්‍රීඩා සමාජය. මෙය සරවනමුත්තුලාට පමණක් නොවෙයි ඔවුන් එක්ක කටයුතු කරන සුනේත්‍රා බණ්ඩාරනායක වැනි සිංහල ප්‍රභූන්ටත් ප්‍රශ්නයක්. අද ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බොරුල්ල සුසමයවර්ධන පාසලේ ආදි ශිෂ්‍යයකු මිස රාජකීය හරි ශාන්ත තෝමස් හරි ආදි ශිෂ්‍යයකු නොවෙයි. ඒ කාලෙ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දෙමළ බර්ගර් අය හිටිය. ඒ වැඩි පිරිසක් අර පාසල්වල ආදි ශිෂ්‍යයො. අද කැබිනට් මණ්ඩලය වගේ. 

මේ තිබුණු සිංහල විරෝධී තත්වය ක්‍රිකට්වල විතරක් නොවෙයි රටේ හැම තැනමත් වෙනස් වුණා. සරවනමුත්තුලාටත් රත්වත්තේ කමක් ගැවිලාවත් නැති සොලමන් ඩයස් බණ්ඩාරනායකගෙ මිණිබිරියන්ටවත් මේව ඉවසන්න බැහැ. මේ වෙනස්වන තත්වය 2015 ජනවාරි අටවැනි දා යම් දුරකට ආපස්සට හරවන්න බටහිරයන් ඉන්දියාවත් එක්ක එකතු වෙලා ක්‍රියා කළා. ඒ සඳහා මෛත්‍රිපාල ව යොදව ගත්ත. මෛත්‍රිපාල එතැනට අරින්න බැසිල් ක්‍රියා කළා. අප මේ කරුණු කියන විට පොහොට්ටුවෙ ඇතැමුනට කේන්ති යනවා. මහින්ද පැරදුණෙ වැඩියෙන් ම ඊනියා සුළු ජාතික ඡන්ද හොයන්න ගොස් සිංහල බෞද්ධ ඡන්ද නැති කරගත් නිසා. අදත් ඒ වැඩේ බැසිලිකාව කරනවා.  ඒ ගැන අපි පසුව කතා කරමු. 

වෙල්ලාලයන්ට තැන නැති වීම සරවනමුත්තුලාට ක්‍රිකට් නැති වීම ආදිය ගැන මා කතා කරන්න ගත්තෙ අද ඊයෙ නොවෙයි. ඒත් ජාතික ව්‍යාපාරයෙ අය ඒවා සතපහකට ගණන් ගන්නෙ නැහැ. ඔවුන් මා හමුවන්නවත් කැමති නැහැ. ජනමාධ්‍ය, ඉඳහිට දෙරණ දෙන ප්‍රචාරයක් හැරුණු විට, මා කියන දේ ගණන් ගන්නේ නැහැ. දෙරණත් ප්‍රචාරයක් දෙන්නෙ හාවා හඳ දකින්න වගෙයි. මාධ්‍ය සාකච්ඡාවක් ප්‍රචාරය කර ගන්න අහවලුන්ගෙන් අනුමැතිය ගන්න ඕන. මා හිතන්නෙ නැහැ දිලිත් මේ ගැන දන්නවා කියා. 

2015 රනිල් බලයට ආවට පස්සෙ සරවනමුත්තුලාට විතරක් නොවෙයි පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ටත් සිංහල බෞද්ධ විරෝධී වැඩවලට තැනක් ලැබුණා. අස්ගිරි ක්‍රීඩාංගනය ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගනය වුණා වගේ අස්ගිරි මහා විහාරයත් ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) සභාව යටතට ගන්න හදනව ද දන්නෙ නැහැ. නීතිපති මහානායක හාමුදුරුවන් ගැන ගන්න තීරණය මොකක් ද කියල අපි බලා ඉන්නවා. පාක්‍යසෝති කතෝලික පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව කරල තියෙන්නෙ මොනවා ද? චන්න  ඇමති හා යශෝධරා දේවිය අතර සම්බන්ධකම් ගැන ලියන ඊනියා ගත් කතුවරයන් ගැන කරල තියෙන්නෙ මොනවා ද?

අස්ගිරියෙ මහානායක හාමුදුරුවන් ප්‍රකාශ කරල තියෙන්නෙ සිංහල බෞද්ධනයට වස විස කවන මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා කියන එකයි, අර දොස්තරට විරුද්ධව ගල් ගහන්න ඕන කියල උපාසකම්මලා කියනවා, ඒ කළ යුතු වුණත් උන්වහන්සේ ඒ අනුමත කරන්නෙ නැහැ කියන එකයි. මුස්ලිම් කඩ පිලිබඳ සැකයක් කාලෙක ඉඳන් සිංහලයන් අතර තියෙනවා. මේ එකක්වත් රෝම ලන්දේසි නීතිය යටතෙ තාම ඔප්පු වෙලා නැතිව ඇති. ඒත් ඒ ගැන සැකයක් තියෙනව නම් ඒ සැකය උඩ වැඩ කරන්න, පරෙස්සම් වෙන්න සිංහලයන්ට අයිතියක් තියෙනවා. පොලීසිය සැක පිට අත් අඩංගුවට ගන්නවා. පරීක්‍ෂා කරනවා. කාලයක් යන තුරු සැකකරුවන් සමාජයට යවන්නෙ නැහැ. මහානායක හාමුදුරුවන්ට පුළුවන් සැකය දුරු වන තුරු ආරක්‍ෂාකාරී පියවර ගැනීමට සිංහල බෞද්ධයනට හා පොදුවේ සිංහලයන්ට උපදෙස් දෙන්න. සැකය දුරු කරන්න පාක්‍යසෝති කරල තියෙන්නෙ මොනවා ද? පාක්‍යසෝති ගැන අපට සැකයකට වැඩි දෙයක් තියෙනවා. ඒත් රෝම ලන්දේසි නීතිය නිසා පියවරක් ගන්න බැහැ.

උපාසකම්මලා අර දොස්තරට විරුද්ධ ව ගල් ගහන්න කිව්ව නම් ඒක ඒ උපාසකම්මල හිතන විධිය. මහානායක හාමුදුරුවන් ගල් ගහන්න කියල නැහැ. මා ඒ රූහඬපටයට සවන් දුන්නා. පාක්‍යසෝතිට ඕන විශේෂයෙන් සිංහල බෞද්ධයන්ටත් මහානායක හාමුදුරුවන්ටත් පොදුවේ සිංහලයන්ටත් රෝම ලන්දේසි ගල් ගහන්න. ඒකට අපි ඉඩ දෙන්නෙ නැති බව විතරක් කියනවා. සිංහලයන් ආගම් භේදයකින් තොරව අද එකතු වෙලා.

පාක්‍යසෝතිගෙ මවත් ඇගේ පසු ස්වාමිපුරුෂයාත් (පාක්‍යසෝතිගේ පියා නො වෙයි) පසුගිය දා මිය ගිය බව ආරංචි වුණා. එය ඇත්තක් නම් ඒ ගැන අපේ කණගාටුව පාක්‍යසෝතිට ප්‍රකාශ කරනවා.