Main Logo

Wednesday 19 June 2019

නැවෙන් පැනීම හා අපේක්‍ෂකත්වයට ගැනීම

නැවෙන් පැනීම හා අපේක්‍ෂකත්වයට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ යැයි කියා ගන්නා ජනතා විරෝධී පෙරමුණේ ලාල් කාන්ත පසුගිය දා රාජිත සේනාරත්න ගැන හොඳ ප්‍රකාශයක් කර තිබුණා. රාජිත චීන සිගරට් ගෙන්වීම මුල් කර ගෙන ආණ්ඩුවෙන් අස්වීමට සූදානම් බව ප්‍රකාශ කළ විට ලාල් කාන්ත කියා තිබුණේ ගිලෙන නැවෙන් පනින්නට සුදානම් වන බවක්. ඒත් ලාල් කාන්ත හා ඔහුගේ නායක අනුර දාසනායක අමතක කර තිබූ කරුණක් වූයේ තමන් ද ගිලෙන නැවෙන් පනින්නට සූදානම් වන බවයි. 

අනුර දාසනායක මේ දුර්දාන්ත ආණ්ඩුවේ ඇමතිවරයකු නොවන්න පුළුවන්. ඒත් ඔහු ආණ්ඩුවේ මුර බල්ලාටත් එහා ගිය අයෙක්. මේ දුර්දාන්ත ආණ්ඩුව (දැන් ආණ්ඩු දෙකක්) බලයට පත් කිරීමට දර දිය ඇද්ද අය අතර දාසනායකලා හා ලාල් කාන්තලා ඉන්නවා. ඒ කියන්නේ ඔවුන්වත් චම්පකලාවත් රාජිතලාවාත් මේ ආණ්ඩුව බලයට පත් කළ බවක් නො වෙයි. ඔවුන්ට එවැනි කාර්යයක් කරන්න බැහැ. මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. අදත් මෛත්‍රිපාල වටා ඉන්දීය ඔත්තු කරුවන් ඉන්නවා. මෛත්‍රිපාල වැඩිය සවන් දෙන්නේ මේ ඉන්දීය ඔත්තු කරුවන්ට මිසක් පැරණි ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට නො වෙයි. මෛත්‍රිපාල පැරණි ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට දෙන පොරොන්දු ඉන්දීය ඔත්තු කරුවන් විසින් වෙනස් කෙරෙනවා. මා නොකීවාට ජ්‍යෙෂ්ඨ ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ඒ ගැන වැටහීමක් තියෙන්න ඕන.  

ජ වි පෙ අද නැව් බඳේ එක් කකුලකුත් නැවෙන් පිට එක් කකුලකුත් තියා ගෙන ඉන්නෙ. ඔවුන් ආපසු නැවට ගියෙ නැත්තන් වෙන්න තියෙන්නෙ මුහුදෙ ගිලිලා මැරෙන එක විතරයි. ආපහු ගියොත් වෙන්නෙ නැවත් එක්ක ගිලෙන එක. දෙකෙන් කෝක කළත් වෙනසක් නැහැ. රාජිතටත් ඒ සන්තෑසිය ම තමයි. තව මාස කිහිපයක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉන්න පුළුවන්. 

මාධ්‍ය අපට සහාය දුන්නත් නැතත් අප කියන දේ විකෘත කර ප්‍රචාරය කළත් අප අපේ වෑයම ඉදිරියට ගෙන යනවා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම. අප එහි පළමු රැස්වීම ඊයේ කුලියාපිටියේ උඩුබද්දාවේ දී පැවැත්තුවා. එය එහි සංවිධානය කෙරුණේ කුලියාපිටියේ සිහල සෙනග සංවිධානය මගින්. එහි දී අපට තවත් තැන් කිහිපයකින් රැස්වීම් පැවැත්වීමට ආරාධනය කෙරුණා. 

අපට අවශ්‍ය බටහිරයන් විසින් නැති කෙරුණු සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න. ඊනියා නිදහස ලැබී අවුරුදු හැත්තෑවකට වැඩි කලක් ගියත් අප තවමත් සංස්කෘතික වශයෙන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා කියන්නෙ සිංහල බෞද්ධයනට වෙන ම රාජ්‍යයක් ඉල්ලන එක නො වෙයි. බටහිර නූතනත්වය කියන්නෙ ක්‍රිස්තියානිය (කතෝලික නො වෙයි) මුල් කර ගත් සංස්කෘතියක බිහි වුණු ප්‍රපංචයක්. 

අපේ ආදි නිර්මාණත් බටහිර නූතනත්වයෙ තියෙනවා. ඒ අපේ සංකල්ප ඔවුන්ගෙ සංකල්ප කර ගැනීමෙන් පසුව. බෞද්ධයන්ගෙ ශූන්‍යය (සිංහලයන් ඒ සඳහා යොදාගත් සංකේතය ( ් ) හල් කිරීම. දැනට ලෝකයේ ශූන්‍ය සඳහා භාවිතා කර ඇති පැරණි ම සංකේතය තියෙන්නෙ සීගිරියෙ කියල හිතන්න පුළුවන්) නොවෙයි බටහිර ගණිතඥයන්ගෙ ශූන්‍යය. අපේ ශූන්‍යය චතුස්කෝටිකය පදනම් කර ගත් එකක්. බටහිරයන් එය ද්විකෝටකය තුළට ගත්තා. ශූන්‍යයේ නිර්මාතෘවරුන් බෞද්ධයන් (බොහෝ විට සිංහල බෞද්ධයන්) වුණත් අද අප යොදා ගන්නෙ බටහිරයන් තම සංස්කෘතිය තුළට අවශෝෂණය කර ගත් (උරා ගත්) ශූන්‍යයක්. නූතනත්වය බිහි වුණෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ මිසක් සිංහල බෞද්ධ චින්තනයේ නො වෙයි. සිංහල බෞද්ධයකු වත්මන් බටහිර ගණිතයට දී ඇති නව සංකල්පයක් නැහැ.

ඒ කොහොම වුණත් අද අපට වැදගත් වන්නෙ ජනාධිපතිවරණයෙ දි සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටීවීමට ප්‍රතිඥා දෙන අපේක්‍ෂකයකු ජනාධිපති ධුරයට පත් කර ගැනීම. මේ අපේක්‍ෂකයා තෝරා ගැනීම ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට පැවරිය යුතු නැහැ. එ ජා පෙරමුණවත් ශ්‍රී ල නි පක්‍ෂයවත් පොහොට්ටුවවත් දෙමළ මුස්ලිම් ජාතිවාදී ආගම්වදී පක්‍ෂවත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන අපේක්‍ෂකයකු තෝරා ගැනීමට සුදුසු නැහැ. ඒ පක්‍ෂවල විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා.

සමාජවාදය කියන්නෙ මාක්ස්වාදී අර්ථයෙන් කිසි දා වලංගු නොවූ සංකල්පයක්. කාට හරි ප්‍රළුවන් ද ලෝකයේ ඇති ඊනියා සමාජවාදී රටක් නම් කරන්න. ලංකාවෙ ව්‍යවස්ථාවෙ නම් තියෙනවා සමාජවාදී කියලා. බලාගෙන යනකොට ඒ සමාජවාදී රාජ්‍යයෙ අගමැති රනිල්! ඊට වඩා සමාජවාදයක් තියෙන්න පුළුවන් ද? මේ සමාජවදයක් මිස වෙන දෙයක් නො වෙයි. 

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා වී ඇත්තේ ජනතා කැමැත්තෙන් මිස පොහොට්ටුවේ කැමැත්තෙන් නො වෙයි. පොහොට්ටුව බැසිල්ගේ නිර්මාණයක් නො වෙයි. බැසිල් පොහොට්ටුවේ උප්පැන්න සහතිකයේ පියා සඳහන් වන කොටුවේ නම ලියා ගෙන. අද පොහොට්ටුවේ ඉන්න හරි ඉන්න බව අඟවන හරි දැවැන්තයන් නුගේගොඩ රැස්වීම දින හිටියේ කොහේ ද? එක්කෝ පිටරට නැත්නම් ගෙවල්වල, එහෙමත් නැත්නම් නුගේගොඩ කඩවල, වේදිකාවේ නම් නොවෙයි. මේ අයට ජනාධිපති අපේක්‍ෂකයා තේරීමට ඇති අයිතිය කුමක් ද? 

ශ්‍රී ල නි පක්‍ෂයටත් ඒ අයිතිය නැහැ. ඉන්දීය ඔත්තු කරුවන් විසින් මෙහෙයවනු ලැබ මෛත්‍රිපාල සමග රනිල්ට එකතු වූ ඔවුන්ටත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන අපේක්‍ෂකයා තේරීමට අයීතියක් නැහැ. රනිල්ගේවත් සජිත්ගේවත් කරුණාරත්න ජයසූරියගෙවත් එ ජා පක්‍ෂයකටවත් ඒ අයිතිය නැහැ.

ජනතාව ඒ අපේක්‍ෂකයා තෝරා ගනිවි. මෙරට එක්සත් රාජ්‍යවල මෙන් ජනාධිපති අපේක්‍ෂකයා තෝරන ප්‍රාථමික ඡන්ද නැහැ. තිබුණත් තියෙන්නෙ පක්‍ෂවල. ඒකෙන් වැඩක් නැහැ. මා හිතන්නේ ජනතාව දැනටමත් ගෝඨාභය තෝරා ගෙන ඉවරයි. ප්‍රශ්නය වන්නේ යම් හේතුවක් නිසා ගෝඨාභයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් කරන්නේ කුමක් ද යන්නයි. අපි එයටත් මුහුණ දෙමු. ඒ වෙනත් රාජපක්‍ෂ කෙනකු නම් නොවිය යුතු බවයි මගේ හැඟීම.