Main Logo

Monday 3 June 2019

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ.  ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.


රතන හිමිගේ මාධ්‍ය සංදර්ශනය අද හෙට ඉවර වේවි. මා මාධ්‍ය සංදර්ශනයක්  කියන එකට බහුතර සිංහලයන් කැමති නැති බව මා දන්නවා.  සිංහලයන් බහුතරයක් මට කොහොමටත් කැමති නැහැ. මෙරට ජනමාධ්‍ය ක්‍රියා කරන්නේත් එලෙසමයි. ඒත් මට ඇතැම් දේ නොකියා ඉන්න බැහැ. අද හෙට හිස්බුල්ලා සහ අසාද් සාලි ඉවත් කරන්න (අස්වෙන්න)  ඉඩ තියෙනවා. ජනාධිපති ලෙස මෛත්‍රිපාලට එය කරන්න පුළුවන්. ඒත් බද්‍යුද්දීන් ඉවත කිරීමට රනිල්ගේ නිර්දේශය අවශ්‍යයි. රනිල් ඒ නිර්දේශය ලබාදේවි ද? 

රනිල්ගේ නිර්දේශය නැතිව බද්‍යුද්දීන් ඉවත් කිරීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒත් එහෙම කරන්න පුළුවන් රනිලුත් ඉවත් කිරීමෙන්. ඔක්තෝම්බර් විසිහය සිදු වුණේ එයයි. එහෙත් ඔක්තෝම්බර් විසිහය ආරක්‍ෂා කර ගැනීම බොහෝ දෙනා පැහැර හැරියා. අද අප සියළු දෙනා ඒ පැහැර හැරීමේ පාපයට වන්දි ගෙවනවා. සමහරුන් ජීවිතවලින් ම වන්දි ගෙව්වා. දැන් ආණ්ඩුව පෙරළන්න කතා කරන්නෙ ඒ පාපයෙන් මිදෙන්න ද? ඒකට ක්‍රමයක් තියෙනව නම් හොඳයි. ඒත් ඒ සඳහාත් මෛත්‍රිපාලගෙ සහාය අවශ්‍ය වෙනවා. ඒ රනිල්ගෙ ආණ්ඩුව පෙරළන්න. මෛත්‍රිපාලගෙ ආණ්ඩුව පෙරළන්න දෝෂාභියෝග ඕන. 

මුස්ලිම් වහාබ්වාදී අන්තවාදී මුලධර්මවාදයට පක්‍ෂ මුස්ලිම් දේශපාලනඥයන් ඉන්නවා. සියළු මුස්ලිමුන් වහාබ්වාදීන් නොවෙයි. බොහෝ මුස්ලිම්වරුන් ඉස්ලාම් ආගමේ ඇති සාමකාමී ඉගැන්වීම්වලට කැමති අය. ඉස්ලාම් ආගමේ සාමකාමී නොවන පැත්තකුත් තියෙනවා. වහාබ්වාදීන් යොදා ගන්නේ ඒ පැත්තයි. බුදුදහමේ හැරෙන්න අනෙක් ප්‍රධාන ආගම්වල සාමකාමී නොවන පැත්තක් තියෙනවා. පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි කාලවල දී පමණක් නොව චෝල ආක්‍රමණවලදීත් සිංහලයන් ඒ සාමකාමී නොවන පැති දැක්කා. මුස්ලිමුන් දහහතරවැනි සියවසේ දී පමණ කේරළය පැත්තෙන් මලයාලම් වචන බහුල දෙමළ කතා කරන පිරිසක් ලෙස මෙරටට පැමිණියේ ආක්‍රමණිකයන් ලෙස නො වෙයි. අප ඒ ගෞරවය ඔවුන්ට දිය යුතුයි. ඔවුන් මෙහි පැමිණියේ ප්‍රධාන වශයෙන් අරාබියෙන් නොවන බව ද පැහැදිලි කර ගත යුතුයි. 

මෙහි පැමිණි දෙමළ කතා කරන මුස්ලිමුන් සිංහල බෞද්ධ විරෝධීන් බවට පත් කෙරුණේ ඉංගිරිසින් විසින්. 1915 හොඳම  උදාහරණය. ඒ දවස්වල අරාබියේ වහාබ්වාදය තිබුණත් ලංකාවෙ තිබුණෙ නැහැ. වහාබ්වාදය ලංකාවට ඇවිල්ල අවුරුදු හතළිහක් පනහක් පමණ වෙනව කියල තමයි ඇතැමුන් කියන්නෙ. කොහොමටත් ඒ ප්‍රචලිත වෙලා තියෙන්නෙ අවුරුදු විස්සක පමණ කාලයක.

නොයකුත් විධියෙ තව්හීඩ් ජමාත් සංවිධාන දැන් තියෙනවා. ඒ මූලික වශයෙන් වහාබ්වාදීන්. අද ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් මේ සංවිධාන හා එහි සාමාජිකයන් රකිනවා. හිස්බුල්ලා හා රිෂාඩ් බද්‍යුද්දීන් ඒ අතරින් ප්‍රධානයි. ඔවුන් ගැන කියැවෙන කතා ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. අසාද් සාලි මට පේන විධියට පුහු වීරයකු පමණයි. ඔහු ඡන්ද ටිකක් වැඩි කර ගන්න දේශපාලනයෙ යෙදෙන්නෙක්. ඒ අතර මහනුවර දිස්ත්‍රික්කයේ හලීම් ඉන්නවා. මොවුන් ගැන පරික්‍ෂා කරන්න ඕන. 

ඒ පරික්‍ෂා ක්‍රම කිහිපයකට කරන්න ඕන. මේ මුස්ලිම් දේශපාලනඥයන් රකින සිංහල දේශපාලනඥයන් දෙපැත්ත තුන්පැත්තේ ම ඉන්නවා. හිස්බුල්ලා ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවෙ ඇමතිවරයකු වුණෙ කොහොම ද? ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව  වෙනුවට බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය රැකුණෙ කොහොම ද?  මොන බලපෑම් තිබුණත් බද්‍යුද්දීන් හා හිස්බුල්ලා ගැන පරික්‍ෂණ කළ යුත්තේ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු. ඔක්තෝම්බර් විසිහය ගැන සෞදි අරාබියේ බලපෑම් පිළිබඳ ව  අප කලිනුත් කියා ඇති. දැන් තවත් සැක කටයුතු තොරතුරු හෙළි වෙනවා. 

මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට උපවාස අවශ්‍ය නැහැ. අර විකාර තේරීම් කමිටුව වහාම විසුරුවා හැරිය යුතුයි. හොරා ගැන ප්‍රශ්න කිරීම හොරාගෙ අම්මට නොව තාත්තලාට පවරන රටක අප ජීවත් වෙන්නෙ. එක් හොරකුට තාත්තලා කී දෙනකු ඉන්න පුළුවන් ද කියන එක පඬියන්ට නම් ප්‍රශ්නයක් වේවි. එත් ඔවුන්ටත් ඉන්නෙ තාත්තලා.