Main Logo

Sunday 23 June 2019

පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක්

 පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක්  



තූත්තුකුඩි විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ ආචාර්ය මහාචාර්ය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කරන ලද පශ්චාත්නූතනවාදී පශ්චාත් යටත්විජිත භූ දේශපාලනික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පාස්කු ඉරිදා ලංකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වී නොමැති බවයි. මේ අධ්‍යයනයට විසිඑක්වැනි සියවසේ තවදුරටත් වර්ධනය කෙරී ඇති නූතන විද්‍යාත්මක ක්‍රමවේදයන් යොදා ගෙන ඇති බවත් සඳහන් වෙනවා.


පශ්චාත්නූතනවාදී විද්‍යාත්මක විධික්‍රම නැත් ද යනුවෙන් සිංහල බෞද්ධයන් පිරිසක් නගන උද්ඝෝෂණ ඔවුන්ගේ සමාජයීය විද්‍යාත්මක දැනුමේ අඩුවක් පෙන්නුම් කරන බවත් තූත්තුකුඩි විශ්වවිද්‍යාලය නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක සඳහන් වෙනවා. පශ්චාත්නූතනවාදී සමාජයීය විද්‍යාත්මක දැනුම මන්දබුද්ධික සිංහල බෞද්ධයන්ට ගෝචර නොවන්නක් බවත් එකී මහාචාර්යවරු ප්‍රකාශ කරනවා. බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන කුහක සිංහල බෞද්ධයන් නූතනවාදී තාක්‍ෂණය යොදා ගනිමින් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම ගැන කතා කරන බව තූත්තුකුඩි විද්වතුන් කුහකත්වයෙන් තොර ව ප්‍රකාශ කර සිටිනවා.  

තූත්තුකූඩි අධ්‍යයනයට විද්‍යත්මක ක්‍රමවේදයට අනුව තෝරා ගත් නියැදියක් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ නියැදියට දේශපාලනඥයන්, බුද්ධි අංශ නිලධාරීන්, පොලිස් නිලධාරීන් පමණක් නොව සිංහල බෞද්ධයන්ගේ සැකයට පාත්‍ර වී සිටින මුස්ලිම් දේශපාලනඥයන් ද අයත් වෙනවා. ඊනියා පාස්කු ප්‍රහාරය ගැන සිංහල බෞද්ධයනට සතියක තරම විශාල කාලයක් තම චෝදනා ඉදිරිපත් කිරීමට වෙන්කර තිබූ නමුත් හරිහමන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත් තූත්තුකුඩි බුද්ධිමතුන් පෙන්වා දෙනව. 

කාදිනල්තුමාගේ පියා බෞද්ධයකු බවත් එතුමා දේශපාලනඥයකු මෙන් හැසිරෙන බවත් තූත්තුකුඩි අධ්‍යයනයෙන් තවදුරටත් කියනවා. සිංහල බෞද්ධයන් සිංහල කතෝලිකයන් සමග එකතු වී ඇති බව කියන තූත්තුකුඩි අධ්‍යයනය පවසන්නේ මේ සියල්ලට කාදිනල්තුමා සම්බන්ධ බවයි. කැන්ටබරියේ ආච්බිෂොප්තුමා හා ලංකා සභාවේ ප්‍රධාන පූජකතුමන් නිහඬ ව සිටීම සිංහල බෞද්ධයනට කරන උඩගෙඩි දීමක් බව පවසන තුත්තුකුඩි අධ්‍යයනය එතුමන්ට වහාම ප්‍රකාශ නිකුත් කරන ලෙස ආරාධනය කරනවා. 

වත්මන් අගමැතිතුමාගේ බුද්ධිමත් දූරදර්ශී දේශපාලනය නිසා වැලේ වැල් නැති වී සිටින ඇතැම් සිංහල බෞද්ධයන් පසුගිය ඔක්තෝම්බරයේ ලෝකයේ හොඳ ම මුදල් ඇමති හා හොඳ ම සෞඛ්‍ය ඇමති සිටින රටේ අගමැති හා අමාත්‍ය මණ්ඩලය වෙනස් කර ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වෙනත් අගමැති කෙනකු සහිත ව වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමට කටයුතු කළත් එයට සිංහල බෞද්ධයන් ම පිරිසක් සහයෝගය නොදීම නිසා බුද්ධිමත් අගමැතිතුමා ම නැවතත් පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට කතානායකතුමාට හැකි වූ බව සිහිපත් කරන තූත්තුකුඩි අධ්‍යයනය එවැනි දූරදර්ශී නායකයකු යටතේ කෙසේවත් බෝම්බ ප්‍රහාරයක් සිදු නොවිය හැකි බව අවධාරණය කර තිබෙනවා. 

ජ වි පෙරමුණ වැනි පක්‍ෂයකට හා කතානායකතුමාට එකතු වී කළ නොහැකි දෙයක් නොමැති බවත් විශ්වාසභංග යෝජනා ගෙන ඒම නොඒම සාකච්ඡා කිරීම නොකිරීම ආදී සියළු කරුණු දූරදර්ශී අගමැතිතුමාගේ බුද්ධිමත් මග පෙන්වීම යටතේ තීරණය කෙරෙන බවත් එවැනි රටක පාස්කු ඉරිදාවක නොවන නත්තල් දිනයකවත් බෝම්බ පිපිරීමක් සිදු වීමට ඇති සම්භාවිතාව ශූන්‍ය බවත් සංඛ්‍යානය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සමාජයීය විද්‍යා පීඨ විද්වත් මණ්ඩලය නිගමනය කරන බවත් තූත්තුකුඩි අධ්‍යයනය ප්‍රකාශ කරනවා. 

ඊනියා පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට දූරදර්ශී අගමැතිතුමා විපක්‍ෂ නායකතුමාගේ ද සහායෙන් පත් කරන ලද තෝරාගත් කමිටුවට තමා ම සාක්‍ෂි දීමට කැමැත්ත පළ කිරීමෙන් සෙසු පශ්චාත් යටත්විජිත අගමැතිවරුන්ට ද අනගි ආදර්ශයක් සපයා ඇති බව සඳහන් කරන තූත්තුකුඩි අධ්‍යයනය තමන් අගමැතිතුමා නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කරන්නේ මහත් අභිමානයෙන් බව ප්‍රකාශ කරනවා. එතුමා මැග්සේසේ ත්‍යාගයට ද නිර්දේශ කිරීමට කැමති නමුත් කතෝලික පිලිපීනය කෙසේ ඒ නිර්දේශය භාර ගනී ද යන්න පිළිබඳ සැකයක් ඇති බැවින් එසේ නොකරන බව කණගාටුවෙන් සඳහන් කරනවා. 

අද සිංහල බෞද්ධයන් සිංහල කතෝලිකයන් ද සමග එකතු වී සහරාන් වැනි මුස්ලිමුන්ට හා ඔවුන්ගේ මැති ඇමතිවරුන්ට විරුද්ධ ව විවිධ චෝදනා ඉදිරිපත් කළත් මාසයක් වැනි දීර්ඝ කාලයක් දීමෙන් පසුවත්  ඒ එක ම චෝදනාවක්වත් ඔප්පු කර ගැනීමට අසමත් වීමෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් ලංකාවේ සිදු නොවී ඇති බව සක්සුදක් සේ පැහැදිලි වන බව තූත්තුකුඩි අධ්‍යයනය සහසුද්දෙන් ම කියා සිටිනවා. 

අගමැතිතුමා හා කතානායකතුමා තෝරාගත් කමිටුවට සිංහලයන් ඉස්ලාම් ආගම අත්හැර ඇතැයි කියන ඊනියා හිටපු මුස්ලිමුන් යවා කුරානයේ ඇති කරුණු ලංකාවේ පාසල් පොත්වල වැරදියට සඳහන් කර ඇති බවක් කියන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව තූත්තුකුඩි අධ්‍යනය සඳහන් කරනවා. ඉස්ලාම් ආගමේ පොත්වල ඒ ආගම අත්හැර ගිය අය මරා දැමිය යුතු බව සඳහන් කර ඇත්තේ ඒ පොත් සකස් කළ සිංහල බෞද්ධ අධ්‍යාපනඥයන් මිස වෙනත් කිසිවකු නොවන බව තූත්තුකුඩි අධ්‍යයනයට අනාවරණය වී ඇති බව සඳහන් වෙනවා. සිංහල බෞද්ධයන් මෙවැනි බොරු ප්‍රචාරය කරන්නේ යශෝධරා දේවිය චන්න ඇමති සමග සම්බන්ධකම් පැවැත්වූ බවට බුද්ධිමත් ස්වාධීන විචාරශීලි මත ප්‍රකාශ කරන අදීන ලේඛකයන් සිරගත කර ඇති බව වසා ගැනීමට බව පවසන තූත්තුකුඩි විද්වතුන් භාෂණයේ නිදහස වෙනුවෙන් එකී ලේඛකයන් නිදහස් කළ යුතු බවත් ඉස්ලාම් ආගමික පොත්වලට වැරදි මත ඇතුළත් කළ සිංහල බෞද්ධයන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් ආගමික නිදහසේ නාමයෙන් නිරාගමික ව ප්‍රකාශ කරනවා. 

අස් වූ මුස්ලිම් ඇමතිවරුන්ට මසක් ගිය තැන ජුලි මස මුල් සතියේ ඇමති ධුර නැවත භාරගත හැකි බව පෙන්වා දෙන තුත්තුකුඩි අධ්‍යයනය ඒ අහිංසක ඇමතිවරුන්ට නිරපරාධයේ එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් බෞද්ධ මෙන් ම කතෝලික සිංහලයන් ගැන සෙවීමට වහාම තෝරාගත් පිරිසක් පත් කරන ලෙස විචක්‍ෂණශීලී අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. 

ඊනියා පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක් බව නිගමනහය කරන තූත්තුකුඩි අධ්‍යයනය එවැනි ප්‍රහාරයක් ගැන පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් ආණ්ඩුව යථාර්ථවාදී ව ක්‍රියා කර ඇති බව පෙන්වා  සිංහල බෞද්ධ ස්වොත්මවාදය මැඩීමට දැඩි පියවර ගෙන ආගමික නිදහස ඇති කරන ලෙස නිරාගමික ප්‍රීතියෙන් ඉල්ලා සිටිනවා.