Main Logo

Sunday 9 June 2019

නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම


නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම 

සුපුරුදු පරිදි සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් වැරදි කරුවන් කරලා. මුස්ලිම් ජනයාට හිරිහැර කෙරෙනවයි කියල ඇතැම් අරාබි රටවලුත් කලබල වෙලා ජනාධිපතිගෙන් අහල කියලයි වාර්තා වෙන්නෙ. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න මා දන්නේ නැහැ. ඒත් චතුස්කෝටිකය අනුව නම් බොරුවක් නොවෙන්නත් පුළුවන්. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉස්ලාම් කියන්නෙ ආගමක්. මුස්ලිම් කියන්නෙ සංස්කෘතියක්. ඉස්ලාම් හරි මුස්ලිම් හරි කියල ජනවර්ගයක් නැහැ. අනෙක් අතට සුන්නි ශියා වශයෙන් බෙදීමක් ද තියෙනවා. එයට අමතර ව සුෆි කියා කොටසකුත් ඉන්නවා. කුරූඳුවත්තේ දවටගහ පල්ලිය සුෆි මුස්ලිමුන්ගේ පල්ලියක් ලෙස සැලකෙනවා. 


ලංකාවෙ මුස්ලිමුන් සෘජුව ම අරාබියෙන් පැමිණි අය නොවෙයි. ඔවුන්ගෙන් මුවර් යනුවෙන් හැඳින්වෙන අය පැමිණ ඇත්තේ දහහතරවැනි සියවසේ පමණ කේරළයට ආසන්න දෙමළ කතා කරන ප්‍රදේශයකින්. එයට අමතර ව ලංකාවේ මැලේ මුස්ලිමුන් ද ඉන්නවා. ඔවුන් පැමිණ ඇත්තේ මැලේෂියාව ඉන්දුනීසියාව වැනි ප්‍රදේශවලින්. ඔවුන් නම් මේ වන විට සිංහල මුස්ලිමුන් වෙලා. අරාබි රටවලට මෙරට මුස්ලිමුන් වෙනුවෙන් මැදිහත්වීමට ඇති අයිතිය කුමක් ද? පාස්කු ප්‍රහාරයට සෞදි අරාබිය සම්බන්ධ ද? 

හිස්බුල්ලා කියා තියෙනවා මුස්ලිමුන් මෙරට සුළුජාතිය (වැරදි සංකල්පයක්) වුණත් ලෝකයේ මහාජාතියක් කියා. හිස්බුල්ලාට අරාබි රටක රටවැසිකම ලබා ගන්න පුළුවන් ද? මෙරට සාමාන්‍ය මුස්ලිම් බැතිමතකුට සෞදි අරාබියේ රටවැසිකම ලබා ගන්න පුළුවන් ද? කොහොමටත් හිස්බුල්ලාට මතක් කළ යුතු කරුණක් තියෙනවා. දෙමළ ත්‍රස්තවාදය පිටුපස සමස්ත බටහිර ලෝකය ම හිටියා. සිංහලයන් බය වුණෙත් නැහැ පැරදුණෙත් නැහැ. 

ඒ කුමක් වුවත් මෙරට මුස්ලිම් ජනයාට කෙරෙන හිරිහැරය කුමක් ද? මිනුවන්ගොඩ හෙට්ටිමුල්ල ප්‍රදේශවල මුස්ලිම් මෙන් ම සිංහල කඩ ද කැඩුවේ කවුරුන්දැයි පොලීසිය හොයා ගෙන තියනවා ද? පොලීසිය ඒ හොයා ගෙන නැත්නම් අපට උපකල්පනය කරන්න ඇත්තේ කඩ කැඩීමට ආණ්ඩුව යම් ආකාරයකින් නමුත් සම්බන්ධ බව ද? 

මුස්ලිම් ඇමතිවරුන් අස්වීමෙන් සිදු වී ඇත්තේ කබීර් හෂීම්, රවුෆ් හකීම් වැනි සිංහලයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම තරමක ප්‍රශ්නයක් වන බවයි. එහෙත් එයටත් වඩා ඔවුන් කර ඇත්තේ මුස්ලිම් ජනතාව සෙසු ජනතාවගෙන් වෙන් කිරීමක් හා මුස්ලිම් අන්තවාදීන් හා සෙසු මුස්ලිමුන් අතර වෙනසක් නැතැයි කීමත්. 

පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගනිමින් සිංහල බෞද්ධ, සිංහල කතෝලික, දෙමළ කතෝලික, දෙමළ හින්දු, මැලේ මුස්ලිමුන් ආදීන් පමණක් නොව මුවර් මුස්ලිමුන් ද යම් ප්‍රමාණයක් එකතු වීමට පටන් ගත්තා. රතන හිමියන් තුන් දෙනකු අස්වන තුරු උපවාසයක් පටන් ගත්තේ මේ අතරයි. ඒ බද්‍යුද්දීන් අස් කිරීමේ වග කීම රනිල්ට පැවරීමට කළ එකක්. රතන හිමියන් තම අපවත්වීමාන්තික උපවාසය අත් හැරියේ බද්‍යුද්දීන් ඇමති කමේ සිටිය දී. ඒ උපවාසයට අර එකතු වෙමින් සිටි ජනතාවත් සහයෝගය දුන්නේ රතන හිමියන්ගේ අරමුණ නොදැන. 

කෙසේ වෙතත් උපවාසයෙන් ප්‍රයෝජනය ගත්තේ බද්‍යුද්දීන් රනිල් හා සුමන්තිරන්. අද බද්‍යුද්දීන් මුස්ලිම් ජනයාගේ නායකයා වෙලා. ඔහු අස්වුණේ නැහැ. ඔහු වෙනුවෙන් අනෙක් ඇමතිවරුන් ද අස්වෙලා. ඒ සමග සිංහලයන් සමග එකතු වීමට කැමැත්තෙන් සිටි ඇතැම් මුවර් මුස්ලිමුන්ට වැරදි පණිවුඩයක් දීලා. ඔවුන් දැන් වහාබ්වාදීන් හා වහාබ්වාදීන් නොවන්නන් ලෙස නොව මුස්ලිමුන් ලෙස සිතන්න යොමු වෙලා. මේ ප්‍රවණතාව කඩා මුවර් මුස්ලිමුන් ද සිංහලයන් සමග එකතු කිරීමට සිංහලයන් කටයුතු කළ යුතුයි. 

සිංහලයන් සමග අනෙක් ජනතාව එකතු වීම ගැන බිය වූ මුස්ලිම් නොවන දේශපාලනඥයන් දෙදෙනකු ඉන්නවා. ඒ රනිල් හා සුමන්තිරන්. දෙදෙනා ම ඉංගිරිසින්ගේ නියෝජිතයන්. ඔවුන් මුස්ලිම් ඇමතිවරුන් අස්වීම ගැන අසතුටක් නැහැ. සුමන්තිරන් කියා ඇත්තේ තමන්ට මුස්ලිම් හිටපු ඇමතිවරුන්ට සහාය දැක්වීමට සිදු වන බවයි. අද දෙමළ කතාකරන ජනයා සුම්න්තිරන් දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඔහු පෙනී සිටින්නේ එලිසබෙත් වින්ඩ්සර් හෙවත් එංගලන්තයේ රැජින වෙනුවෙන්. සිංහලයන් ද රනිල් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. 

රනිල් බොරු වෙස් මුහුණක් දාගෙන. ඔහු මුස්ලිම් ඇමතිවරුන් අස්වීම ගැන කිඹුල් කඳුළු හෙළනවා. සිංහලයන් වටා ජනතාව එකතු වන්නේ තමාට විරුද්ධ ව බව ඔහු දන්නවා. ඔහුට අවශ්‍ය වූයේ අඩු තරමෙන් මුස්ලිම් ජනයා ඒ එකතුවට පිටින් තියන්න. ඔහු රතන හිමිගේ උපවාසය යොදා ගනිමින් එය කරනවා. 

අද වෙන මොනවා ගැන කතා කළත්  කොච්චිකඩේ, කටුවාපිටියේ හා මඩකලපුවේ පල්ලිවල මියගිය අය ගැන කතා කරන්නේ නැහැ. රනිල්ටත් සුමන්තිරන්ටත් එසේ කතා කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. අද සහාරාන් මෙන් ම කබීර් හෂීම් ද ඉන්නේ එක පිළේ. ඒ නිවැරදි කරුවන්ගේ පිළ ද වැරදිකරුවන්ගේ අන්තවාදීන්ගේ පිළ ද යනුවෙන් ඡන්දදායකයන් තීරණය කරාවි. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව නම් එය තීරණය කරන එකක් නැහැ. ඔවුන්ට එය කරන්නත් බැහැ. 

සුපුරුදු පරිදි විපක්‍ෂය තේරීම් කමිටුවක් පත් කිරීමට එකඟ වී ගලේ පැහැරූ බළලාගේ තත්වයට පත් වී තියෙනවා. පහුගිය අවුරුදු හතරෙදි පමණක් වුවත් විපක්‍ෂය කෙතරම් වැරදි තීරණ අරගෙන තියෙනවා ද? ජ වි පෙ ගැන කියන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව පත් කරල ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනා සම්මත කරල ඔවුන් කරපු පව් දහස්වරක් කැලණි වැන්දත් නැති කර ගන්න බැහැ. ඔවුන් කැලණි වඳින්නෙත් නැහැ නොවැ.