Main Logo

Sunday 30 June 2019

මරණ දඬුවම හා තම්බයියාගේ අවජාතක දරුවෝ

මරණ දඬුවම හා තම්බයියාගේ අවජාතක දරුවෝ

රාජ්‍යය පැත්තෙන් බැලුව ම මා මරණ දඬුවමට කැමති නැහැ. ඒ වෙන කිසිම කාරණයක් හින්ද නොවෙයි  අධිකරණයටත් වරදින නිසා. අධිකරණය යම් හේතු නිසා නිවැරදිකරුවකු වරදකරුවකු කර මරණ දණ්ඩනයට යටත් කර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු  මරා දමනු ලැබුවහොත් එය නිවැරදි කර ගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිවැරදිකරුවකුට වෙනත් දඬුවමක් දීමත් වරදක්. එහෙත් එය නිවැරදි කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ කියා ඔහුට සිදු වූ අසාධාරණය මැකී යන්නේ නැති නමුත් අඩුම තරමෙන් නිවැරදි කර ගැනීමේ අවස්ථාව තියෙනවා.


අද වෙනත් කතාවක් ඇති වී තිබෙනවා. ගෙදර තියෙන මුව හමට තඩි බාන්නාක් මෙන් සිංහල බුද්ධාගමට බැණ වදින පඬියන් පඬිපෝතකයන් හා පඬි නැට්ටන් අද අහන්න පටන් අරන් මරණ දඬුවම බුදුදහමට එකඟ ද කියලා. ඔවුන්ට පාණාතිපාතා මතක් වෙලා. මේ බුද්ධාගම පාවා දීම කෘතිය ලියූ ස්ටැන්ලි තම්බයියගෙ අවජාතක දරුවන්. තම්බයියා ඇහුවෙ බෞද්ධයන්ට යුද්ධය කැප ද? තම්බයියත් ඔහුගෙ අවජාතක දරුවනුත් දන්නෙ නැති කරුණු දෙකක් තියෙනවා. එකක් බුදුදහම හා බුද්ධාගම කියන්නෙ දෙකක් බව. බුද්ධාගම කියන්නෙ සංස්කෘතියක්. සිංහල බුද්ධාගම කියන්නෙ බුදුදහම ආශ්‍රිත ව සිංහලයන් නිර්මාණය කරගත් සංස්කෘතිය. අනෙක මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැති බව.

සිංහල බුද්ධාගමේ ප්‍රධාන රජතුමා වූ ගැමුණු රජු එළාර සමග යුද්ධ කළා පමණක් නොව යුද්ධයට හාමුදුරුවරුනුත් වැඩම කරගෙන ගියා. සිංහල බෞද්ධ රජවරු මරණ දඬුවම දීල තියෙනවා. ඒ විවිධ ක්‍රම මගින් ක්‍රියාත්මක කරල තියෙනවා. සිංහල බුද්ධාගමේ රාජ්‍ය පාලනයේ දී පාණාතිපාතා රැක්කේ නැහැ. පෞද්ගලික ජීවිතයේ දී රජු පාණාතිපාතා රකිනවා. රාජ්‍ය පාලනය වෙනස්. ස්ටැන්ලි තම්බයියා බෞද්ධයන්ට යුද්ධය කැප ද කියල ඇහුවෙ අනෙක් ආගම්වලට එය කැප බව පැහැදිලි නිසා. තම්බයියගෙ අවජාතක දරුවන්ට ඒ බව අමතක වෙනවා.

මට කියන්න ඕන දෙවැනි කාරණයක් සහ ඒ කරුණුවලින් ගලා එන තුන්වැනි කාරණයක් තියෙනවා. දෙවැනි කාරණය තමයි තම්බයියගෙ අවජාතක දරුවන් අහන්නෙ නැහැ සුරාසල් පවත්වාගෙන යෑම සුරාමේරය මජ්ජ පමා දට්ඨානා සමග එකඟ වෙනව ද කියලා. පාර්ලිමේන්තුවේ හා අනෙක් තැන්වල බොරු කීම මුසාවාදා සමග එකඟ ද කියා. බැංකු කැඩීම අදින්නාදානා සමග එකඟ ද කියා. නීතිගත නැති නිසා මා කාමෙසු මිච්චාචාරා ගැන අහන්නෙ නැහැ. ඒත් මා අහනවා සමලිංගික ක්‍රියා කාමෙසු මිච්චාචාරයක් ද කියා. 

මේ සියල්ලෙන් ගලා එන තුන්වැනි කාරණය තමයි අද මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නොමැති වීම. තම්බයියාගේ අවජාතක දරුවන් මරණ දඬුවම පාණාතිපාතා සමග එකඟ වෙනව ද කියා අහන්නෙ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් තියෙනව කියල හිතා ගෙන. සිංහල බෞද්ධ රාජ්‍යවල අතීතයේ මරණ දඬුවම දීල තියෙනවා. මා එය කලිනුත් සඳහන් කළා බුදුදහම හා සිංහල බුද්ධාගම දෙකක් කියන බව කියමින්. එහෙත් අද ප්‍රශ්නය එය නො වෙයි. 

මෙරට අද සිංහල බෞද්ධ රාජ්‍යයක් නැහැ. එයින් කියන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බව නො වෙයි. රට කියන්නෙ එකක් රාජ්‍යයක් කියන්නෙ තවත් එකක්. තම්බයියාට බාප්පා කියන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ඒක තේරෙන්නෙ නැතිව ඇති. ඒත් සිංහල ගැමියන් ඒ දෙකේ වෙනස දන්නවා. ඒකයි ඔවුන් රටක් රාජ්‍යයක් ලැබුණ වගේ කියල කියන්නෙ.  රටක් තිබුණු නිසා ම රාජ්‍යයක් ලැබෙන්නෙ නැහැ. සිංහල බෞද්ධයන් ජනාධිපතිවරුන් වෙන්න පුළුවන්. එහෙත් එපමණින් ඔවුන් සිංහල බෞද්ධ ජනාධිපතිවරුන් වෙන්නෙ නැහැ.

1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ඉංගිරිසින් පොරොන්දු වුණා මෙරට බුද්ධාගම හා දේවාගම ආරක්‍ෂා කර පෝෂණය කරන බවටත් සිංහල සිරිත අනුව රට කරවන බවටත්. ඒ කියන්නෙ ඔවුන් සිංහල බෞද්ධ රාජ්‍යය දිගට ම පවත්වාගෙන යන්න පොරොන්දු වුණා. ඒත් ඉංගිරිසින් හොඳ මහත්වරුන් නිසා එය කෙළේ නැහැ. ඔවුන් 1816 දී පමණ ඌවෙ ආදායම් එකතු කිරීම මුස්ලිම් අයකුට පවරා සිංහල සිරිත (නීතිය) කැඩුවා. 1840 දි දන්ත ධාතුන් වහන්සේගෙ භාරකාරත්වයෙන් මිදී එය දියවඩන නිළමෙට පැවරුවා. එමගින් බෞද්ධ රාජ්‍යයෙ ප්‍රධාන අවශ්‍යතාවක්, එනම් රජු දන්ත ධාතුන් වහන්සේගෙ භාරකාරයා ආරක්‍ෂකයා කියන එක කැඩුව. 

මේ රටේ අද තියෙන්නෙ ඉංගිරිසි ක්‍රිස්තියානි රාජ්‍යයක්. 1948න් පසුවවත් 1956න් පසුවවත් 1972න් පසුවවත් අපට සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවා ගැනීමට නොහැකි වුණා. අප එය යළි පිහිටුවන්න ඕන. එතෙක් මේ රටේ ඇත්තේ ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට අධ්‍යාපනය, ජනමාධ්‍ය, නීතිය, අධිකරණය, පාර්ලිමේන්තුව, ද්විපාක්‍ෂික ක්‍රමය, ජ වි පෙ හා අනෙක් පක්‍ෂ, මේ සියල්ල ක්‍රිස්තියානි. ජනමාධ්‍ය උදේට පිරිත් ප්‍රඡාරය කළ පමණින් සිංහල බෞද්ධ වෙන්නෙ නැහැ. පාසල්වල බුද්ධාගම විෂයයක් ලෙස ඉගැන් වූ පමණින් අධ්‍යාපනය සිංහල බෞද්ධ වෙන්නෙ නැහැ. තම්බයියාගෙ අවජාතක දරුවන් අහන්න ඕන මරණ දඬුවම පාණාතිපාතා සමග එක වෙනවා ද කියන එක නොවෙයි මරණ දඬුවම ක්‍රිස්තියානි රාජ්‍යයක දෙන්න පුළුවන් ද කියන එක.

ඒ ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි. මෙරට ඇති ක්‍රිස්තියානි රාජ්‍යයෙ බලපාන රෝම ලන්දේසි නීතිය අනුව මරණ දඬුවම පැණවීම මෙන් ම ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. මරණ දඬුවම පාණාතිපාතා සමග එකඟ වෙනව ද කියල අහන්නෙ මිනිසුන් නොමග යවල බුදුදහමට තඩි බාන්න. ඒ තමයි ක්‍රිස්තියානි රාජ්‍ය මගින් මෙයෙහවන රාජ්‍ය නොවන බත් බැළයන්ගෙ එක ම රාජකාරිය.