Main Logo

Monday 17 June 2019

හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක

හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක

හිස්බුල්ලාගෙන් අරාබි ජාතිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිලා. ඔහු ඒ අරාබි ජාතිකයන් සමග යම් ගණුදෙනුවක යෙදිලා. ඇඳිරි නීතිය පනවා ඇති වෙලාවක මේ අරාබි ජාතිකයන් යම් හෝටලයක හදිසියෙන් තම ඇඳුම් පවා හෝටලයෙන් පිටත මාරු කර යම් මල්ලක් තබා යමින් මේ කර ඇත්තේ කිනම් ගණුදෙනුවක් ද? අර පාර්ලිමේන්තු තේරීම් කමිටුවට නම් ඒ කිසිවක් ප්‍රශ්නයක් වෙලා නැහැ. 


හිස්බුල්ලාට තමන්ට අවශ්‍ය ඕනෑම ගණුදෙනුවක් විජාතිකයන් සමග නොව රටවැසියන් සමගවත් කරන්න බැහැ. ඒ ගණුදෙනු මෙරට නීතියට එකඟ වෙන්න ඕන. අඩු තරමෙන් ඇඳිරි නීතිය කැඩීම පිළිබඳ හිස්බුල්ලා අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසයට කුමක් කීවද කියන්න අපි දන්නෙ නැහැ. මේ කිසිම පරීක්‍ෂණයක් කෙරෙන විධිය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. හිස්බුල්ලා හා බද්‍යුද්දීන් ආරක්‍ෂා කෙරෙන්නේ කවුරුන් විසින් ද? ජනාධිපති, අගමැති පමණක් නොව විපක්‍ෂ නායක ගැන ද ප්‍රශ්න තියෙනවා. 

හිස්බුල්ලා හා බද්‍යුද්දීන් සමහර වැඩ පටන් අරන් තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩුව කාලෙ බව දැන් දැන් කියැවෙනවා. ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශ මහින්ද රාජපක්‍ෂ කළ යුතුයි. ඔහු ඉඳහිට සිංහල බෞද්ධකම ගැන කතා කරනවා. එහෙත් ඔහු සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවීමට කටයුතු කරනවා ද? 

බද්‍යුද්දීන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනා එක හොඳයි. එහෙත් ඔහු සමග සියළු මුස්ලිම් ඇමතිවරුන් අස් වුණා. ඒ සමග විශ්වාසභංග යෝජනාව ගිලිහී ගියා. ඒ එක්ක මුස්ලිම් ජනයා අනෙක් ජනතාවගෙන් වෙන් කිරීමේ උත්සාහයක් අප දැක්කා. මේ උත්සාහය පිටුපස රනිල් ඉන්නවා. රනිල්ගේ අනුග්‍රහයක් නැතිව කබීර් හෂීම් ඇමති ධුරයෙන් ඉවත් වෙන එකක් නැහැ. අද කබීර් හෂීම්ට නැවතත් ඇමති ධුරය භාර ගැනීමට කියා ඉල්ලීමක් තියෙනවා. ඔහු ඒ ඉල්ලීමට කන් දෙයි ද? නැත්නම් රනිල්ට සවන් දෙයි ද? සජිත් නම් කියා ඇත්තේ කබීර් හෂීම්ට ඇමති ධුරය නැවත භාර ගන්න කියා. 

ජ වි පෙ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙ බද්‍යුද්දීන් බේර ගන්න. අද බද්‍යුද්දීන්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් නැහැ. බද්‍යුද්දීන්ට විරුද්ධව ඡන්දය දීමට ඇතැම් එ ජා පාක්‍ෂික මන්ත්‍රීවරුන් සූදානමින් සිටියත් ඔවුන් ආණ්ඩුවට විරුද්ධ ව ඡන්දය දෙන එකක් නැහැ. ජ වි පෙ විශ්වාසභංග යෝජනාව පරදිනවා. එවිට රනිල්ගේ ආණ්ඩුවට විශ්වාසය පළ වෙනවා. ජ වි පෙ ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙ පරදින්න නො වෙයි. එයට කරුණාරත්න ජයසූරියගේ නොමඳ සහාය ලැබුණා. 

අද ඒ කරුණාරත්න ජයසූරිය ජනාධිපති ධුරයට ඉදිරිපත් කරන්න කතා කරනවා. ඔහුට විවිධ නිකායවලින් තනතුරු සම්මාන ගෞරව නම් ලබා දී තියෙනවා. ඔහු සිංහල බුද්ධාගම වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද? රනිල්ට යටවීම ද? රනිල්ට යට වූ අයකු ජනාධිපතිකමට සුදුසු ද? අද ජනාධිපති ධුරයට එක් එක් අයගේ නම් ඉදිරිපත් වෙනවා. එහෙත් මොවුන්ට ඇති සුදුසුකම් මොනවා ද? 

ජනාධිපති ධුරයට ඉදිරිපත් විය යුත්තේ කොන්ද පණ ඇති විදේශ රාජ්‍යවලින් එන බලපෑම්වලට යට නොවන අයෙක්. ඔහු සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට ප්‍රතිඥා දිය යුතුයි. එහෙත් ඔහු චම්පක වැනි දරුණු ම ගණයේ අවස්ථාවාදියකු ද නොවිය යුතු ය. හැකි නම් ඔහු අද ඇති ප්‍රධාන  පක්‍ෂයකින් ඉදිරිපත් නොවී සිංහලයන් හා  ජන කොටස් එකතු කළ හැකි එතරම් ප්‍රසිද්ධියක් නැති පක්‍ෂයකින් ඉදිරිපත් විය යුතුයි.  ඔහු ප්‍රධාන පක්‍ෂයකින්  ඉදිරිපත් වුවහොත් ජනතාව වැඩි ප්‍රමාණයක් එකතු කර ගැනීමට නොහැකි වෙනවා.