Main Logo

Monday 24 June 2019

එකුන් විස්ස හෙවත් දහනවය

එකුන් විස්ස හෙවත් දහනවය 



සිංහල භාෂාව හරි ම ක්‍රමානුකූලයි. දැන් සිංහලයන්ට ක්‍රමයක් නැති එක වෙන ම ප්‍රශ්නයක්. එකුන් විස්ස කියන්නෙ එකක් අඩු විස්ස. එකක් වැඩි වුණා ම ඒක විසි එක වෙනවා. අද කතාව එකුන් විස්ස ගැන. මෛත්‍රිපාල දහනවයට විරුද්ධ ව කතා කරලා. දහඅටටත් විරුද්ධ කියල කියනවා. හැබැයි එයත් දහඅටට ඡන්දෙ දුන්න. දහනවය සම්මත කර ගන්න එයා සමග තකතීරු යහපාලනේට ගිය ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්න. ඔය දෙකට ම මහින්දත් පක්‍ෂ වුණා. දහඅට සම්මත කර ගත්තෙ මහින්ද ජනාධිපති වෙලා ඉන්න කොට. ඒක සම්මත කර ගත්තෙ මූලික වශයෙන් ම මහින්දට තුන්වැනි වතාවකටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන විධියට. 


මගේ ඒක ගැන විරුද්ධත්වයක් නැහැ. මහින්ද තුන්වැනි වතාවට ඉදිරිපත් වුණත් ඔහු ජනාධිපති ද නැත් ද කියල තීරණය කරන්නෙ ඡන්දදායකයන්. ඡන්දදායකයන් ඔහු තුන්වැනි වතාවකටත් තෝරා ගත්ත නම් මොන ප්‍රජාතන්ත්‍රවාදය යටතෙ ද ඒකට විරුද්ධ වෙන්නෙ. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිතයි. ඡන්දෙකට ඉදිරිපත් වෙන්න සල්ලි තියෙන්න ඕන. ඒ වගේ ම ඡන්දකාන්ත කෙනෙක් වෙන්නත් ඕන. ඒ කියන්නෙ ඡන්ද අදින්න, ආකර්ෂණය කරන්න පුළුවන් අයෙක් වෙන්නත් ඕන. කාන්ත කියන එකේ තේරුම ලාල් කාන්තගෙන් හරි ඕනෑම කාන්තාවකගෙන් හරි අහන්න. 

ජනාධිපතිවරණයට මා වගේ අයකුට එන්න බැහැ. මගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම කප්පාදු කරල. මා ඡන්දකාන්ත කෙනෙක් නො වෙයි. මට සල්ලිත් නැහැ ඡන්දත් නැහැ. ඒත් මට ඕන නම් ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තියෙන්න ඕන. අද තියෙන විධියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් පිළිගත් දේශපාලන පක්‍ෂයකින් එන අයකුට නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි අයකුට. මට ඒ සුදුසුකම් දෙක ම නැහැ. ඒ නිසා මට ජනාධිපතිවරණයට ඉදරිපත් වෙන්න බැහැ. ඒ කියන්නෙ මගේ යම් කිසි දේශපාලනික අයිතියක් නැති කරල. 

මා ජනතාවට සේවය කරන්න වගේ බොරු කතා කියන්නෙ නැහැ. මා පහේ ශිෂ්‍යත්වය නම් සමත් නැහැ. සමත් වෙන්න මා ඒ පරික්‍ෂණයට පෙනී ඉඳලත් නැහැ. උසස් පෙළ සමත් ද කියල මා දන්නෙ නැහැ. මා විෂය හතරෙන් තුනයි සමත්. උසස් පෙළ සමත්වීමට සපුරාලිය යුතු අවශ්‍යතා මොනවා ද? ඒ මොනවා වුණත් සල්ලි නැතත් ඡන්ද නැතත් මට ඉදිරිපත් වෙන්න ඉඩක් තියෙන්න ඕන. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කියාවි අන්තවාදියකුට ජනාධිපති වෙන්න දෙන්න බැහැ කියල. 

මහින්ද තුන්වැනි වතාවකටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණා. ඡන්දදායකයන් ඔහු ප්‍රතික්‍ෂෙප කළා. ඒ එසේ වුණෙ මහින්ද සිංහල බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් නැති කර ගත්ත හින්ද. එහෙම ප්‍රතික්‍ෂෙප වුණාටත් පස්සෙ රනිල් දහනවය ගෙනැල්ල තුන්වැනි වතාවකට ඉදිරිපත් වෙන්න බැහැ කියල සම්මත කර ගත්තෙ. මෙත්‍රිපාල විතරක් නෙවෙයි මහින්දත් එදා ඒකට පක්‍ෂ වුණා. අද දෙන්න ම ඒකෙ වැරදි කියනවා.

මිනිසුන්ට වරදිනවා. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. වරදින්නෙ නැත්තෙ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට. ඊනියා යහපාලනය බලයට පත් කරන්න දරදිය ඇද්ද (පත් කළ නොවෙයි) මේ අය අද පෙනී හිටින්නෙ එහෙම නොකළ අය වගේ. බූවල්ලෙන් මඩුවල්ගෙන් තලන්න ඕන ඔවුන්ට. ඒක බුදුදහමට එකඟ ද කියල අහාවි. ඔවුන් බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය ගැන දන්නෙ නැහැ. ඒවායෙ වෙනස දන්නෙ නැහැ.  ඔවුන් කියාවි අප පෙරදිග ගැන බුදුදහම ගැන  දන්නෙ නැහැ කියලත්. 

අර පොෂ් නෝනල ඉන්නෙ මට සිංහල දන්නෙ නැහැ අනේ කියන. අප සරසවි සිසුන් ව ඉන්න කාලෙ සමහර ගැහැණු ළමයි හිටිය පිරිමි ළමයකු තමන් පසු කර යන විට බට් (but - baaart) අනේ කියල ඇදල පැදල කියල පිරිමි ළමය ගිය ගමන් සිංහලෙන් කතා කරන. ඒ බට්ටිච්චියන්ට (ඔවුන් දැන් බට් ලොප් වෙච්ච ආච්චිලා) වඩා වෙනසක් පඬියන්ගෙ නැහැ. ඔවුන් දන්න ඉලව් බටහිර දැනුමකුත් නැහැ. ඔවුන්ට ඇත්තෙ බටහිර දැනුම ගැන විශ්වාසයක් පමණයි. බටහිර තර්කය න්‍යාය (logic) ගැන විශ්වාසයක් පමණයි. බුදුහාමුදුරුවො නම් කිව්වෙ යමක් න්‍යායානුකූල තර්කානුකූල වූ නිසා පමණක් පිළිගන්න එපා කියල. ඒ බුදුහාමුදුරුවන්ගේ කාළාම සූත්‍රයෙ මිසක්  විද්‍යාත්මක විධි ක්‍රමයෙ සුළුපියා වූ විද්වත් කාලෝ ෆොන්සේකාගෙ කාළාම සූත්‍රයෙ නො වෙයි. 

මෛත්‍රිපාලටත් මහින්දටත් වැරදුණෙ ඔවුන් තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරපු නිසා. දැන් දහනවය වෙනස් කරන්න අලුත් පාර්ලිමේන්තුවක් එන්න ඕන. නැහැ දෙරණෙ අලුත් පාර්ලිමේන්තුව නො වෙයි. මෛත්‍රිපාල විතරක් නොවෙයි මහින්දත් දැන් ගෞරවණීය ව දේශපාලනයෙන් ඉවත් වෙන්න කාලෙ ඇවිත්. මා දන්නවා ශ්‍රී ල නි පක්‍ෂයෙ අයත් පොහොට්ටුවෙ අයත් මෙහෙ ම කියනවට කැමති නැති බව.  

2015 ඉඳල ම මට ඕන වුණෙ රනිල් ඉවත් කරන්න මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන්න. ඒත් ඒක හරියට ක්‍රියාත්මක වුණෙ නැහැ. රනිල් ආපහු ආවා. ඒ අපේ ම අයගෙ වැරදි නිසා. සමහරු ශක්තිය දෙන්නෙ මයිලෝ දීල ද කියල ඇහුව. මෛත්‍රිපාලටවත් මහින්දටවත් ආයෙ ජනාධිපති වෙන්න බැහැ. අද ඉන්න සුදුසු ම අපේක්‍ෂකයා ගෝඨාභය. ඒත් ඔහු ඉන්නෙ සිංගප්පූරුවෙ. සිංගප්පූරුවෙ හිටියට කමක් නැහැ වෛද්‍ය උපදේශ මත නම්. ඒත් ඔහුට බැරි කමක් නැහැ අඩු තරමෙන් ප්‍රකාශයකට අත්සන් කරන්න. අප කැමතියි ඔහු මේ පාස්කු ප්‍රහාරය සහ අද ඇතිවෙලා තියෙන දේශපාලන තත්වය ගැන දරණ මතය කුමක් ද කියල දැන ගන්න. 

අපට හැමදාමත් රැවටෙන්න බැහැ. සිංහල ජාතිය පවතිනවා ද නැති වෙනවා ද කියා තීරණය වෙන්නෙ ඉදිරි ජනාධිපතිවරණයෙන්. පවතිනවා කියන එකෙන් මා අදහස් කරන්නෙ දෙරණ 360 මා කී පරිදි ඉදිරි අවුරුදු පහේ අල්ලා ගෙන සිටීම.