Main Logo

Tuesday 11 June 2019

යුදෙව්වන් හා බෞද්ධයන්


යුදෙව්වන් හා බෞද්ධයන් 



මා ඊයේ සඳහන් කළා ශූන්‍ය පිළිබඳවත් මහාචාර්ය අමිර් ඇක්සල් පිළිබඳවත්. මා මහාචාර්ය අමිර් ඇක්සල්ට විද්‍යුත් පණිවුඩයක් යවා තිබුණා චතුස්කේටිකයෙන් ශූන්‍යය තේරුම්ගත හැකි ආකාරය ගැන කියා. මා ඊයේ රාත්‍රී  මගේ විද්‍යුත් තැපෑල පිරික්සීමේ දී ඉතා කණගාටුදායක පුවතක් දැන ගන්නට ලැබුණා. ඒ මහාචාර්ය අමිර් ඇක්සල්ගේ භාර්යාවගෙන් ලැබුණු පණිවුඩයක්. එහි සඳහන් වූයේ මහාචාර්ය ඇක්සල් 2015 දී මිය ගොස් ඇති බවයි. 


මහාචාර්ය ඇක්සල් බුදුදහමට ගෞරව කළ යුදෙව් බුද්ධිමතෙක්. බුද්ධාගමේ දිග පළල ගැන කතා කරන ඩ්‍රීම් ස්ටාර් පඬියන්ට, පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට මෙන් නොව ඔහුට තමාගේ ම වූ මත තිබුණා. එහෙත් මට ප්‍රශ්නයක් වී තිබුණේ ඔහු ලංකාවට හා මියන්මාරයට නොපැමිණියේ ඇයි ද කියාත්. ඔහු තායිලන්තයේ නවාතැන් ගනිමින් කාම්බෝජයට හා ලාඕසයට ගොස් තිබෙනවා. මේ රටවල් පහ තමයි ලෝකයේ දැනට තිබෙන ථෙරවාද රටවල් පහ. ලංකාවේ චතුස්කෝටික න්‍යාය ගැන දැන ගැනීමට තරම් දෙයක් නොවී යැයි ඔහු සිතුවේ ද? දැන් එවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට බැහැ. 

ඒ කුමක් වුවත් අප දැනුම් පද්ධති හා බුදුදහම අතර ඇති වෙනස තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒ තමන් වහන්සේ සම්මාබෝධ කර ගත් ධර්මය මිනිසුන්ගේ නිර්මාණ වූ භාෂාවලින් දේශනා කරන්නේ කෙසේ ද යන්නයි. සියළු දෘෂ්ටි අත්හැරීමට කියන බුදුදහම නිවන සම්මාබෝධ කර ගැනීමට මගක් දෙසන්නේ කෙසේ ද යන්න හා ඒ ආශ්‍රිත තවත් ප්‍රශ්න. අපි  ඉඩ ලැබෙන පරිදි ඒ ගැන කතා කරමු. 

යුදෙව් ආගම, කතෝලික ක්‍රිස්තියානි ආගම් හා ඉස්ලාම් ආගම එකම දෙවි කෙනකු අදහන ආගම්. එහෙත් මේ දෙවියන් පිළිබඳ ඒ ඒ ආගම්වල ඇත්තේ විවිධ ආකල්ප. ලෙවි නමැති ප්‍රංශ යුදෙව් බුද්ධිමතා විසින් ලියන ලද ජීනියස්නස් ඔෆ් ජුඩායිසම් (Genius of Judaism) කෘතියෙහි සඳහන් වන්නේ යුදෙව්වන් ඒ දෙවියන් තේරුම් ගැනීමට උත්සාහ කරන බවයි. මේ දෙවියන් යෙහෝවා/අල්ලා වියුක්ත දෙවි කෙනෙක්. අපට උන්වහන්සේගේ හැඩ රුව මවා ගන්න බැහැ. ඒ ආගම්වල දෙවියන් වහන්සේ නමින් පිළිම නැත්තේ එබැවිනුයි. ලෙවිට අනුව යුදෙව් ආගම ක්‍රිස්තියානි ආගමෙන් වෙන් වන්නේ ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේ තේරුම් ගැනීම වෙනුවට විශ්වාස කිරීමත් උන්වහන්සේ තමන්ගේ බවට පත් කර ගැනීමත් නිසා.

ක්‍රිස්තියානින් හා කතෝලිකයන් අතර ද වෙනස්කම් තියෙනවා. ක්‍රිස්තියානින් සාමූහිකත්වය ඉස්මතු කරන කතෝලිකයන් මෙන් නොව පෞද්ගලිකත්වය ඉස්මතු කරනවා. එමෙන් ම  කතෝලිකයන් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා ලෙස මනුෂ්‍ය ආත්මයක් ගැනීමට සැලැස්වීමෙන් වියුක්ත බව මහා පර්මාණයෙන් නැති කර ගෙන තිබෙනවා. එමෙන් ම එමගින් ඔවුන් දෙවියන් වහන්සේගේ පිළිම අඹා තිබෙනවා. ඒ දෙවියන් වහන්සේ ම වූ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිම ලෙස, එහෙමත් නැත්නම් චිත්‍ර ලෙස. මේ මට සිිතෙන හැටි මිස මහාචාර්ය ඇක්සල්ට හෝ ලෙවිට හෝ හිතෙන හැටි නො වේ. 

කතෝලිකයන් වියුක්ත බව නැති කර ගත් නමුත් ක්‍රිස්තියානින් නැවත වියුක්ත බවට ගොස් තිබෙනවා. කතෝලිකයන්ට බටහිර විද්‍යාවක් ගොඩ නැගීමට බැරි වුණෙත් ක්‍රිස්තියානින්ට එකී විද්‍යාවක් ගොඩ නැගීමට හේතු වූ ප්‍රධාන කරුණක් නම් එයයි. මුස්ලිමුන් ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් වහන්සේ කෙරෙහි චිශ්වාසය ඉතා දැඩි කර ගෙන තියෙනවා. එහි ඒකදේවාත්මය ඉතා බලවත්. ඇතැම් පිරිසක් ඉන් ඉවත් වීමේ දී වෙනත් අය තව්හීඩ් හෙවත් ඒකත්වය යන සංකල්පය මත දැඩි ව්‍යාපාර ගෙන යනවා. 

මේ ආගම් විශ්වාසය මත ගොඩ නැගී තිබෙන්නේ. දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට උත්සාහ කරන යුදෙව්වන් ද එසේ කරන්නේ තර්කය හා න්‍යාය මත පදනම් වෙමින්. හේතුවාදීන් හා බුද්ධිවාදීන් ලෙස. යුදෙව් සංස්කෘතියෙන් ඉතා ඉහළ බුද්ධිමතුන් බිහි වන්නේ මේ ශික්‍ෂණය නිසයි. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. හේතුව, බුද්ධිය, න්‍යාය (ද්විකෝටික), ඒ මත පදනම් වූ තර්කය ආදිය අප පිළිගත යුත්තේ ඇයි?

මා දන්නා තරමට යුදෙව් සංස්කෘතියේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නේ නැහැ. අඩු තරමෙන් එවැනි ප්‍රශ්නයක් ඇති බවක් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. යුදෙව්වන් ද ග්‍රීකයන් ද සලකා ඇත්තේ න්‍යාය තර්කය ආදිය මනසෙන් ස්වායත්ත ව තිබෙන බවයි. න්‍යාය යන්න, ද්විකෝටිකය වුවත් චතුස්කෝටිකය වුවත් අගයන් රාශියක් ඇති වුවත් කෝටික කොපමණ ඇති වුවත් මිනිසුන්ගේ නිර්මාණ. ද්විකෝටිකය යන්න අගයන් දෙකක් (ඔව් නැහැ) සහ කෝටික දෙකක් ඇති න්‍යායක්. චතුස්කෝටිකය යන්න අගය දෙකක් සහිත කෝටික හතරක් ඇති න්‍යායයක්. 

අගය m සහිත කෝටික n සහිත න්‍යාය ගොඩ නඟන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අප කිහිප දෙනකු ද එක් වී පත්‍රිකාවක් ලියා තිබෙනවා. ඒ ද්විකෝටිකය හා චතුස්කෝටිකය තවත් සාධාරණීය කිරීමෙන්. මා පෙන්වා දී ඇති ඊනියා තර්ක ද මිනිසුන්ගේ නිර්මාණ බව. මෙයින් කියැවෙන්නේ තර්කය හා න්‍යාය ගැනත් ඇත්තේ විශ්වාසයක් පමණක් බවයි. එසේ නම් තර්කය හා න්‍යාය මත පදනම් වී ලබා ගන්නා ඊනියා නිගමන ද විශ්වාසය මත පදනම් වෙන බවයි. පඬියන් පඬි පෝතකයන්   ද විශ්වාසය මත පදනම් වෙන බවයි.

බුදුන් වහන්සේ කාළාම සූත්‍රයෙහි දේශනා කර ඇත්තේ යමක් ඇසූ පමණක් නිසාවත් ආදී වශයෙන් පමණක් නොව තර්කානුකූල වූ පමණක් නිසාවත් න්‍යායානුකූල වූ පමණක් නිසාවත් නොපිළිගත යුතු බවයි. ඒ යුදෙව් සංස්කෘතිය ද ඉක්මවා යෑමක්. එසේ වුවත් මෙරටින් බුද්ධිමතුන් බිහි නොවූයේ ඇයි. රාජකීය සංගමය බොහෝ දෙනාට බුද්ධිය සම්බන්ධ මිනුම් දණ්ඩක්. ලංකාවට තවමත් ප්‍රවාදාත්මක අයකු රාජකීය සංගමයේ අධිසාමාජිකයකු බවට පත් කර ගන්න බැහැ. දැනට අධි සාමාජිකයන් වී සිටන දෙදෙනා තාක්‍ෂණික අංශයේ. එක් අයෙක් වෛද්‍යවරයෙක් අනෙක් තැනැත්තා ඉංජිනේරුවෙක්. අප යුදෙව්වන් තරමට වියුක්ත නොවීම එය පසුපස වේ ද?