Main Logo

Saturday 22 June 2019

අගෝස්තු එකොළහ

අගෝස්තු එකොළහ

අගෝස්තු එකොළොස්වැනි දා පොහොට්ටුවේ පළමුවැනි සම්මේලනය පවත්වා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දැනුම් දීමට යන බව සඳහන් වෙනවා. පොහොට්ටුවේ සම්මේලනයක් පවත්වා ම නැද්ද? එහි සභාපති නම් ජී එල් පීරිස්. ලේකම් කෙනකුත් ඉන්නවා. ඒත් ඒ පිටිපස්සෙ දැන් ඉන්නෙ බැසිල්.  ඒත් පොහොට්ටුව නිර්මාණය කෙළෙ බැසිල් නොවෙයි. ඔහු එහි උප්පැන්නය සඳහා නම දුන්නා පමණයි. නුගේගොඩ රැස්වීම පැවැත්වෙන විටත් පොහොට්ටුව නිර්මාණය වී තිබුණා. පඬි පෝතකයකු කියන්න පුළුවන් නමක් තිබුණෙ නැහැ කියල. නමක් නැති වුණත් මිනිසුන් එක්රොක් වෙමින් සිටියා. ඒ කාලෙ බැසිල් රට ගම අත්හැරල ගිහින් හිටියෙ. 


අගෝස්තු එකොළහ මහින්ද පොහොට්ටු නායකයා වෙනවයි කියනවා. ඒ කියන්නෙ මහින්ද ඉන් පසු මන්ත්‍රී ධුරය අත්හරින බව ද? ඒ සමග විපක්‍ෂ නායක ධුරයත් අත්හරින බව ද? මහින්ද පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානයෙන්. වෙනත් පක්‍ෂයකට ගියා ම මන්ත්‍රි ධුරය අහෝසි වෙන්න ඕන. නඩුහබ නිසා එයට ටිකක් කල් යන්න පුළුවන්. සැප්තැම්බරයෙන් මාස හයක් ගියාට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. නඩුහබ ඒ තරම් කල් තියේවි කියා හිතනවා ද දන්නෙ නැහැ. 

පහුගිය වතාවකත් මන්ත්‍රිල රාශියක් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් මන්ත්‍රී ධුර නැති කර ගන්න ගියා. යම්තම් මහින්ද අමරවීරගෙන් ලියුමකින් මන්ත්‍රී ධුර ආරක්‍ෂා වුණා. මේ වතාවෙ මොකක් ද කරන්න හදන්නෙ? ගණුදෙනුව (ඩීල් එක) මොකක් ද? අප ජීවත් වන්නේ ඩීල්ලන්තයේ. 

මේ සියල්ලෙන් කියන්නේ ගෝඨාභය එන්නෙ නැහැ කියන එක ද? ඔහුට විරුද්ධ ව ඇති නඩු නිසා ප්‍රශ්නයක් වේවි ද? අගෝස්තු එකොළහට පොහොට්ටු සම්මේලනය පවත්වන්න දින නියම කරල තියෙන්නෙ ඊට කලින් ගෝඨාභයගෙ නඩු ඉවර වේවි කියල හිතන නිසා ද? අවසානයේ දී කවුරුන්වත් නැති කමට බැසිල් ජනාධිපති අපේක්‍ෂක වේවි ද? 

මා මේ කරුණු ලියන එක ගැන පොහොට්ටු අනුගාමිකයන් කැමති නැති බව මා දන්නවා. ඔවුන් මට විවිධ කතා කියනවා. මා ප්‍රායෝගික දේශපාලනය දන්නෙ නැතිලු. ඔවුන් සමහර විට දන්නෙ නැතිව ඇති මා දේශපාලන පක්‍ෂවල සාමාජිකයකු ව සිටි බවත් 1994 දි මැතිවරණයට තරග කළ බවත්. එහි දී ද කියන්න පුළුවන් ප්‍රායෝගික දේශපාලනය දන්නෙ නැති නිසා එසේ ඉදිරිපත් වී පරාජය වුණා කියා. පරදින හැමෝම ප්‍රායෝගික දේශපාලනය නොදන්න අය ද? ඔය ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා ඉන්න පැරදුණු අපේක්‍ෂකයන් ගැනත් කියන්නෙ එහෙම ද? මහින්ද රාජපක්‍ෂ 2015 දි මටත් ජාතික ලැයිස්තුවෙ තැනක් දෙන්න සූදානම් වුණෙ මොකද කියල අහන්න වෙන්නෙ මහින්දගෙන් ම තමයි. 

තවත් අය හිතන්නෙ ජී එල් පීරිස් එක්ක මගේ තියෙන වෛරයකට මා පොහොට්ටුවට විරුද්ධ වෙනවා කියා. ඔහු ප්‍රේමදාස කාලෙත් කොළඹ විශ්වවිද්‍යාලෙ උපකුලපති. ඒ කාලෙ තමයි මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කෙරුණෙ. ඒක මට ප්‍රශ්නයක් වුණෙ නැහැ. ඔහු ඒ කාලෙ අප ගෙන ගිය වෘත්තීය සමිති සටනටත් අකුල් හෙළුවා. ඒත් අපි ඒ සටන දිනුවා. විශ්වවිද්‍යාලවල වැටුප් වැඩි කෙරුණා. මා අස්කළත් මට ඒ වැටුප හිමි නොවුණත් මගේ භාර්යාවට ඒ වැටුප හිමිවුණා. ඒ නිසා අපට ආර්ථික අහේනියක් තිබුණෙ නැහැ. 

ජී එල් පස්සෙ කාලෙක චන්ද්‍රිකා ආණ්ඩුව වෙනුවෙන් මංගලලත් එක්ක පැකේජය උස්ස ගෙන අවලම් තවලම් ගියා. සුදු නෙළුම් අරගෙන ගියා. මේ මෑතක ඒකාබද්ධ ලැයිස්තුව ඉවත් කර ගන්න බවට ලියුමක් දුන්න. මට ඔහු සමග වෛරයක් නැහැ. ඔහු ඉත්තකු පමණයි. ඉත්තා අදින්නා පමණක් කලින් කලට වෙනස් වෙනවා. ඒ ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, බැසිල් වෙන්න පුළුවන්. මා ඉත්තන්ට තබා ඉත්තන් අදින්නන්ටවත් වෛර කරන්නේ නැහැ. 

පොහොට්ටවේ අය මට විරුද්ධ වෙන බව මා දන්නවා. මට ඒ විරුද්ධතාව වැඩක් නැහැ. සිදුවෙමින් පවතින්නේ කුමක් ද කියන එක ගැන මට වැටහීමක් තියෙනවා. ඒ වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒ කියන්න ඕන කියා මා හිතනවා. එසේ නොමැති ව අපට සිදුවන්න යන දේට සූදානම් වෙන්න බැහැ. ඊයේ ගෝඨාභයගේ උපන් දිනය සැමරූ සියල්ලන් ඔහුට දීර්ඝායු පතන අය හරි ඔහු ජනාධිපති වේවා කියා පතන අය හරි වෙන්න ඕන ම නැහැ. 

සමහරු හිතන්නෙ ගෝඨාභය එනව නම් පොහොට්ටුවෙන් ම එන්න ඕන කියලයි. එහෙම නැහැ. අප්‍රධාන පක්‍ෂයකින් ඉදිරිපත් වුණොත් ප්‍රධාන පක්‍ෂ දෙකේ ම අයගෙන් බහුතරයක් ඔහුට ඡන්දය දෙන්න ඉඩ තියෙනවා. මා හිතන්නේ ඔහු පෙහොට්ටුවෙන් ඉදිරිපත් නොවිය යුතු ය කියායි. ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැරෙන්න තවත් ගස් තියෙනවා. වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වුණොත් පොහොට්ටුව ගෝඨාභයට විරුද්ධ ව වැඩ කරනවා ද? 

අප ඉන්නේ ඉතාමත් භයානක තැනක. මෙහි දී පෞද්ගලික න්‍යාය පත්‍ර, ඩීල්, බිල්ලට දීම්, ඉත්තන් ඇදීම් ආදී දේශපාලන ක්‍රියා රටට අහිතකරයි. අප ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕන. අගෝස්තු එකොළහට පස්සෙ එන්නෙ අගෝස්තු දොළහ. එදාට අර තකතීරු හර්තාලයට අවුරුදු හැටහයක් වෙනවා. අපට අවශ්‍ය ඊනියා වාමාංශික දේශපාලනයක් නොව ජාතික දේශපාලනයක්.