Main Logo

Tuesday 18 June 2019

නිවට සිංහල දේශපාලනඥයන්ගේ ව්‍යාජ සිංහ සෙය්‍යාව

නිවට සිංහල දේශපාලනඥයන්ගේ ව්‍යාජ සිංහ සෙය්‍යාව 


ජනාධිපතිවරණය කල් දැමීමේ වුවමනාවක් ඇතැමුනට තිබෙන බව පේනවා. ජනාධිපතිත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමක් ගැන කතා කර තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් කෙරෙන යෝජනා සම්මුතියකින් පසුව හෝ වසර හතරහාමාරක් ගෙවුණු තැන ජනාධිපතිගේ නියෝගයක් මත හෝ යැයි පැහැදිලි ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස. 


මෛත්‍රිපාල හා ශ්‍රී ල නි පක්‍ෂයත් ඒකාබද්ධ විපක්‍ෂයත් දහනවයට ඡන්දය දෙන විට මේවා ගැන කල්පනා නොකන්න ඇති. පෞද්ගලික හේතු මත තීරණ ගෙන ඔවුන් රනිල්ට යටවුණා. රට ගැන නොබලා පෞද්ගලික හේතු මත තීරණ ගැනීමේ වරද මෛත්‍රිපාලටත් මහින්දටත් වැටහිය යුතුයි. අදත් ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර සාකච්ඡා ඇදෙමින් පවතිනවා. ඒ සාකච්ඡා මෙහෙයවන ජී එල් පීරිස්ටවත් දයාසිරිටවත් සාකච්ඡා සාර්ථක කර ගැනීමට අවශ්‍යතාවක් නැති බව පැහැදිලියි. ඊයේ පැවැත්වීමට නියමිිත ව තිබූ සාකච්ඡා විසිහයවැනි දිනට කල් ගිහින්. ජනාධිපතිවරණය දක්වා ම ඒ කල් දාන්න පුළුවන්. 

දයාසිරිත් ඒ දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයෙක්. මා හිතන්නේ ජී එල් එකල නීති පීඨයේ පීඨාධිපති. ඔවුන් දෙදෙනා අතර එතරම් සුහද බවක් නැති පාටයි. ජී එල් එකල ප්‍රේමදාසගේ හා එ ජා පක්‍ෂයේ ආධාර කරුවෙක්. ඔහු එදත් අදත් සිංහල බෞද්ධයනට මෙරට හිමි සුවිශේෂත්වය පිළිගත් අයකු නො වෙයි. ඔහු පසුව චන්ද්‍රිකා පසුපස ගොස් පැකේජය වෙනුවෙන් වැඩ කළා. දැනට වසරකට දෙකකට උඩදීත් ඔහු කෙහෙළිය සමග එක් වී පළාත් සභාවල පොදු ලැයිස්තුව අස්කර ගත යුතු බවට ලිපියක් දුන්නා. ඔහුගෙන් අපට බලාපොරෙත්තුවන්න කිසිවක් නැහැ. 

දයාසිරි ශ්‍රී ල නි ප මහා ලේකම්. ඔහු මෛත්‍රිපාල වෙනුවෙන් දිගින් දිගට ම කතා කරනවා. ඔහු අනෙක් ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ගෙන් තරමක් වෙනස්. ඔහුගේ න්‍යාය පත්‍රය එතරම් පැහැදිලි නැහැ. එදා කොළඹ විශ්වවිද්‍යාලයේ ගීත ගායනා කළ ඔහු අද බයිලා කියනවා. ඔහු දෙරණ 360 කියා තිබුණා ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමට ආ තැනැත්තා එසේ පිපිරුවේ නැත්තේ හෝටලයේ සිටි යම් පුද්ගලයකු හෝ පිරිසක් හෝ නිසා බව. ඔහු ඒ කවුදැයි දන්නා බව ඇඟවෙනවා. මෙය ඉතාමත් වැදගත් තොරතුරක්. දයාසිරි එය නොකියන්නේ ඇයි? 

අද ජනතාව දේශපාලනඥයන්ගේ මේ බාග තොරතුරුවලින් හෙම්බත් වෙලා. දේශපාලනඥයන් තොරතුරු හරියට කියන්නේ නැහැ. දන්නා තොරතුරු වසන් කිරීමෙන් දේශපාලනඥයන් කරන්නේ අපරාධයක්. මේ ජනතාවගේ කුතුහලය අවුස්සා පැත්තකට වෙන කාලයක් නො වෙයි. පතරංග ටෙලි නාට්‍යවල කුතුහලය අවුස්සා කොටසක් ඊළඟ සතියට හෝ පසුවට හෝ තබා ගන්නවා. අද දේශපාලනඥයන් ද රංගන ශිල්පීන් වගේ. මේ දේශපාලන ටෙලි නාට්‍යවල අධ්‍යක්‍ෂකලා පිටපත් රචකයන් කවුද? ඒ කවුරුන් වුවත් ජනතාව  දේශපාලනඥයන්ගේ බාග තොරතුරු අහන්න තවදුරටත් සූදානම් නැහැ. අර යුද්ධය ජෙනරාල්ලට පමණක් භාර නොදිය යුතු ය කියා කතාවක් තියෙනවා. එ වගේ ම දේශපාලනය දේශපාලනඥයන්ට පමණක් භාර නොදිය යුතුයි. 

අද ජනතාව ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට පිටින් ගොස් තම අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්න ඕන. ශ්‍රී ල නි පක්‍ෂයටත් පොහොට්ටුවටත් වෙන වෙන ම  පවතින්න බැහැ. අද ශ්‍රී ල නි ප ආණ්ඩුව අත්හැර ගොස්. ඔවුන් මෛත්‍රිපාල සමග ම ආණ්ඩුවට එකතු වූ අය. පොහොට්ටුවේ ඉන්න අය එහෙම කළෙ නැති බව ඇත්ත. ඒත් නුගේගොඩ රැස්වීමෙ දී ඔවුන් වේදිකාවට ආවෙ නැහැ. මට මතක දිලුම් අමුණුගම පමණක් වේදිකාවට  ගොඩ වුණා කියා. අද සිංහයන් සේ කටයුතු කරන අය එදා සිටියේ නුගේගොඩ කඩවල. ඔවුන් රැස්වීමට සවන් දුන්නේ ඈත සිට. ජී එල්ලා ඩලස්ලා වැනියවුන් එකල මහින්දගේ දුරකථනයටවත් සම්බන්ධ කර ගන්න බැරි වුණා. බැසිල් හිිටියේ පිටරට. නුගේගොඩ රැස්වීම දිනේෂ්ගෙ විමල්ගෙ වාසුගෙ හා ගම්මන්පිළගෙ වැඩක්. මහින්දගෙ පණිවුඩය කියව ගන්න කෙනෙක් එදා ඔය වත්මන් පොහොට්ටු දේශපාලනඥයන් අතර හිටියෙ නැහැ. 

අඩු තරමෙන් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් පිට ගෝඨාභය ඉදිරිපත් කිරීමට උත්සාහයක් දරමු. කපන්න බැරි අත සිඹින්නා සේ ඔහු පොහොට්ටුවෙන් ඉදිරිපත් කර ඔහු පාලනය කිරීමට හිතන් ඉන්න අය පොහොට්ටවේ  ඇති. අනෙක් අතට යම් අයුරකින් ගෝඨාභයට ඉදරිපත් විය නොහැකි වුවොත් විකල්ප අපේක්‍ෂකයා රාජපක්‍ෂ කෙනකු ම විය යුතු ද? මෙහි දී  දරුණු ම ගණයේ අවස්ථාවාදියකු වූ චම්පක ඉදිරිපත් කරන කොන්දේසි ඔහුත් සමග ඉතිහාසයේ කුණු බක්කියට විසි කරන්න ඕනෙ. ශිෂ්‍යත්වය සමත් වීමේ සිට තෘතිය අධ්‍යාපනය දක්වා ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුට ගැලපෙන කොන්දේසි.

අද පාස්කු ප්‍රහාරය ගැන නිසි පරීක්‍ෂණ පැවැත්වෙන්නේ නැහැ. වෙනත් අදාළ නොවන කතා මගින් පරීක්‍ෂණ යට ගහනවා. එදා ඝාතනය වූ ජනතාව වෙනුවෙන් දුබලතාවනට පත් වූ ජනතාව වෙනුවෙන් කෙරෙන්නේ කුමක් ද? මුස්ලිම් ඇමතිවරුන් රොත්ත පිටින් අස් වී චූදිතයන් නිදොස් කර තියෙනවා. දැන් බලන් යනකොට මෙරට සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් මුස්ලිම් ජනයාට හිරිහැර කරනවා. සිංහල බෞද්ධයන් ඒ ඊනියා වැරදිවලට සමාව ගත යුතු යැයි පඬියකු වැඩි කල් යන්න ඉස්සර කියාවි. 

මේ සියල්ල සිදු වී ඇත්තේ නිවට සිංහල දේශපාලනඥයන් නිසා. අද නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථානවලට පහර වැදෙනවා. නිවට සිංහල දේශපාලනඥයන් කට වහාගෙන ඉන්දැද්දී දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් බෞද්ධ විරෝධී ද්වේෂ සහගත දේශපාලනයක යෙදෙනවා. මුස්ලිම් හා දෙමළ ජනකොටස්වලට සිංහල විරෝධී, විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධී දේශපාලනඥයන් ජාතිවාදී අදහස් ගෙන යනවා. නිවට සිංහල දේශපාලනඥයන් එකී සිංහල විරෝධී දේශපාලනඥයන්ගේ ඡන්දයෙන් ආණ්ඩු පිහිටුවීමට කෙළ හළනවා.