Main Logo

Friday 28 June 2019

ගෝඨාභය නැත්නම් වෙන රාජපක්‍ෂ කෙනකු නැහැ

ගෝඨාභය නැත්නම් වෙන රාජපක්‍ෂ කෙනකු නැහැ


අද නැවතත් ඉන්දියන් ඒජන්තයන් තම ඊනියා විශ්ලේෂණ පතුරවනවා. 2015 ට පෙර යුග පෙරළි කාරයො ගෙනාපු ලොකු තර්කයක් වුණෙ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියන එක. ඔවුන් මහා ලොකු විශ්ලේෂණ ඉදිරිපත් කළා සංඛ්‍යනය උපයෝගි කර ගෙන. අර ඉංගිරිසි කතාවක් තියෙනවා බොරු, පට්ටපල් බොරු, සංඛ්‍යනය කියල. සංඛ්‍යන තමන්ට අවශ්‍ය ආකාරයකට විවරණය කරන්න පුළුවන්. ඉන්දියන් ඒජන්තයන් හා ඔවුන් විසින් මෙහෙයවන ලද යුග පෙරළිකාරයන් කිව්වෙ ජනාධිපතිවරණය දිනන්න නම් ඊනියා සුළු ජාතික ඡන්ද ලබා ගන්න ඕන කියල.


මහින්ද ජාතිකවාදීන්  අත්හැරියෙත් ඉන්දියන් කීමට කියලයි මට හිතෙන්නෙ. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දින ම මෙහි පැමිණි ඉන්දීය ට්‍රොයිකාවෙ නාරායනන්ටයි මෙනන්ටයි මහින්ද පොරොන්දු වුණා 13වැනි සංශෝධනය මුළුමනින් ම කියාත්මක කරන බවටත් එය ඉක්මවා යන විසඳුමක් සඳහා දෙමළ පක්‍ෂ ඇතුළු අනෙක් පක්‍ෂ සමග සාකච්ඡා කරන බවටත්. එදා සිට මහින්ද වටා ඉන්නෙ ඊනියා ස්මාට් ජාතිකවාදීන්. මේ වන විට ඔහුගෙ කතා ලියන්නෙත් ශිෂ්‍ය අවධියෙ සිට අපට විරුද්ධ ව සිට පැහැදිලි හේතුවක් නැතිව අපේ කඳවුරට පැමිණි බව කියන ඊනියා විශ්ලේෂකයන්. 

2010 ජනාධිපතිවරණය මහින්ද දිනුවෙ වෙන මොකක්වත් නිසා නොවෙයි ත්‍රස්තවාදය පරාද කරන්න හමුදාවන්ට දේශපාලන නායකත්වය දුන් නිසා. විපක්‍ෂයෙන් ත්‍රස්තවාදය පරාජය කළ යුද සෙන්පති තරගයට යෙදුවත් ඔහු පරාජය වුණා. ඒත් 2010න් පස්සෙ ඊනියා ස්මාට් ජාතිකවාදීන් ඉන්දිය ඒජන්තයන්  මහින්ද වට කර ගත්ත. 2015 වන විට මහින්ද සිංහල බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් නැති කර ගෙන හිටියෙ. 

අර උපදේශකයන් අනුව වැඩ කළ මහින්ද හා ඔහුගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ බැසිල් සිංහල බෞද්ධ ඡන්ද ගැන නොතකා ඊනියා සුළු ජාතික ඡන්ද දිනා ගන්න වැඩ කළා. මහින්ද පරාජය වුණා. ඒ ඊනියා සුළු ජාතික ඡන්දයක් නැති වූ නිසා නොව සිංහල බෞද්ධ  ඡන්ද යම් ප්‍රමාණයක් නැති කර ගත් නිසා. යුග පෙරළි කාරයන් එදත් අදත්  එක එක තැන්වල. රතන හිමිත් එකල හිටියෙ යුග පෙරළියෙ. රාජිතලා හා පුතුන් සමග රතන හිමි පැල් බැඳගෙන මෛත්‍රිපාලට වැඩ කළා. රතන හිමි ඒ දිනවල කිව්වෙ රනිල් පොත් කියවන බවත් ඔහුට ජාතිකවාදී අදහස් තියෙන බවත්. 

බැසිල් සංවිධානය කරපු ගම්පහත් මහින්ද පරාද වුණා. මුළු රටේමත් මහින්ද පැරදුණා. සිංහල බෞද්ධ ඡන්ද නැති කර ගෙන පරාද වෙච්ච ගෝඨාභය නොවන රාජපක්‍ෂලා අද නැවතත් අර සිංහල ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියන මතය ඉස්සරහට අරගෙන. අපට විරුද්ධ ව සිට දැන් රාජපක්‍ෂලාට එකතු ව සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියන ඊනියා විශ්ලේෂකයන් සිංහල බුද්ධාගම ගැන උනන්දුවන්න පටන් ගත්තෙ කොයි කාලෙ ද කුමන හේතුවක් නිසා ද? ඔවුන් ඒ ගැන ප්‍රකාශයක් කරල තියෙනවා ද? මා මාක්ස්වාදයෙන් කැඩුණෙ ඒ ගැන දීර්ඝ ලිපියක් නවසමසමාජ පක්‍ෂයට යැවීමෙන්. 

මහින්ද පැරදුණෙ ඊනියා සුළු ජාතික ඡන්ද ලැබුණෙ නැති නිසා නොව සිංහල බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් නැති වුණු නිසා. අද මේ විශ්ලේෂකයන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕන කියල නැවතත් කියන්න පටන් අරන්. 1987න් පස්සෙ අප කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනව නම් පළාත් සභා වෙනස් කරන්න ඕන කියල. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව නම් පළාත් සභා අහෝසි කරන්න කියල. මේ විශ්ලේෂකයන් හිටියෙ දෙමළ කතාකරන ජනයාට අසාධාරණයක් සිදු වුණා කියන තැන. ඔවුන් ගැන අපට විශ්වාසයක් තියන්න බැහැ. 

පොහොට්ටුව ගැනත් මේ අය කියනවා. ඊනියා ද්විපාක්‍ෂික ක්‍රමයක් ඇති රටක තුන්වැනි පක්‍ෂයක් බිහි කිරීම විශ්වකර්ම වැඩක් ලෙසයි ඔවුන් කියන්නෙ. එංගලන්තෙ ඉස්සර තිබුණෙ කොන්සර්වෙටිව් හා ලිබරල්  පක්‍ෂ. පස්සෙ ලිබරල් දුර්වල වෙලා ලේබර් (කම්කරු) පක්‍ෂය හැදුණා. මේ විශ්ලේෂකයන් අපට සුදුළුෑණු පොඩි කරන්න එනවා.  

පොහොට්ටුව ඇති වෙන්න පටන් ගත්තෙ 2015 ජනවාරි අටවැනි දා. ඒකට මුල් ම අඩිතාලම දැම්මෙ දිනේශ් ගුණවර්ධන. ඊට පස්සෙ විමල් ගම්මන්පිළ වාසුදේව එයට පොහොර දැම්ම. ඔවුන් හැදූ පක්‍ෂය ජනතාවගෙ හිත්වල තිබුණ. ඒ පක්‍ෂය හැදුණෙ ශ්‍රී ල නි ප අඩ පණ කෙරී තිබුණ නිසා. දිනේෂ්ලා වාසුල විමල්ල පක්‍ෂය ලියා පදිංචි කෙළෙ නැහැ. ඔවුන්ට වෙන ම පක්‍ෂ තියෙනවා. පක්‍ෂය ලියා පදිංචි කළ යුතුව තිබුණෙ මහින්දත් එක්ක හිටපු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්. එහෙත් ඔවුන් එය කෙළේ නැහැ. තම මන්ත්‍රිකම නැති වේය කියල ඔවුන් මහින්ද සුළඟ රැස්වීම්වලටවත් ආවෙ නැහැ. නුගේගොඩ රැස්වීමෙ මහින්දගෙ පණිවුඩය කියව ගන්න ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් හිටියෙ නැහැ.  පසුව පැමිණි බැසිල් කෙළෙ ඒ ජනතාවගෙ හිත්වල තිබුණු පක්‍ෂයට නමක් ගමක් දීපු එක.

ඒත් මෛත්‍රිපාලටත් තාම ඡන්ද තියෙනවා. පහුගිය පෙබරවාරි පළාත් සභා මැතිවරණයෙන් පොහොට්ටුවට ලැබුණෙ 40%යි. මෛත්‍රිපාලට 16%ක් ලැබුණා. අද වන විට එය 10%ට බැස්සත් පොහොට්ටුවට ඒ ඉතිරි ඡන්ද ගියත් පොහොට්ටුවට තනියම දිනන්න බැහැ. අප හැමදාමත් කී දෙයක් තමයි සිංහල බෞද්ධ ඡන්දවලින් 60%ක් මහින්දට ලැබෙන බව.  ඒ න්දිකඩාල් ජයග්‍රහණය නිසා. සිංහල බෞද්ධ ඡන්දවලින් 60%ක් කියන්නෙ මුළු ඡන්දවලින් 42%ක් පමණ. පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට 40%ක් ලැබීම අරුමයක් නො වෙයි. ඊනියා සුළු ජාතික ඡන්ද නැති වුණත් (ඒවා එපා කියන එක නොවෙයි) මහින්දගෙ හා මෛත්‍රිපාලගෙ ඡන්ද එකතු කළොත් දිනන්න පුළුවන්. අද සිංහල කතෝලික ඡන්දත් තම ආරක්‍ෂාව ගැන හිතන දෙමළ කතා කරන ජනයාත් ඒ ගොඩට එකතු වෙලා. 

හරියට ප්‍රශ්නය කතා කරන ජාතිකවාදී නායකයකුට අද ජනාධිපතිවරණය දිනන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඇති වෙච්ච වෙනසවත් මේ ඉන්දීය ඒජන්තයන්, විශ්ලේෂකයන් තේරුම් ගන්නෙ නැහැ. ඒ තේරුම් ගැනීම ඔවුන්ගෙ ව්‍යාපෘතියට බාධාවක්, ඒත් එකක් කියන්න ඕන. මෛත්‍රිපාල අත්හැරලා දිනන්න බැහැ. මෛත්‍රිපාලට දිනන්න බැරි වුණත් ඔහු ළඟ ඡන්ද යම් ප්‍රමාණයක් තියෙනවා. 

ගෝඨාභයට කෙළින් කතා කරල මෛත්‍රිපාලගෙත් ආධාරය අරගෙන ජනාධිපතිවරණය දිනන්න පුළුවන්. ඊනියා සුළු ජාතික ඡන්ද දිනාගන්න අමුතුවෙන් කතා කරන්න අවශ්‍යතාවක් නැහැ. සිංහලයන්ට කෙළින් කතා කරන්න. සියළු ජනතාවට ආරක්‍ෂාව ඇත්තෙ සිංහල බෞද්ධයන් ළඟ බව කියන්න. ඒත් මේ කතාව ගෝඨාභය හැරෙන්න වෙනත් රාජපක්‍ෂ කෙනෙක් කියන්නෙ නැහැ. යම් අයුරකින් ගෝඨාභය එන්නෙ නැත්නම් වෙනත් රාජපක්‍ෂ කෙනකුට දිනන්නත් බැහැ. ගෝඨාභය හැරෙන්න වෙනත් රාජපක්‍ෂලා ඉන්නවා. ඒ වෙනත් රාජපක්‍ෂලාත් හැරෙන්න තවත් අයත් ඉන්නවා. ගෝඨාභය එන්නෙ නැත්තන් ප්‍රශ්නය කෙළින් කතා කරන්න පුළුවන් දිනන්න පුළුවන් අයකු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගනිමු. ඔහු අනුමත කිරීම පමණක් ශ්‍රී ල නි පක්‍ෂයටත් පොහොට්ටුවටත් පවරමු.