Main Logo

Sunday 5 May 2019

දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය

දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය



දෙරණ ඊනියා යුද, ත්‍රස්තවාද විශේෂඥයකු වූ රොහාන් ගුණරත්නට සාකච්ඡාවක් ලබා දීලා. දෙරණ දැන් කටයුතු කරන්නේ රනිල් වෙනුවෙන් ද කියා මා අහන්නේ නැහැ. එහෙත් දෙරණට සම්බන්ධ ආයතනයක් රනිල් වෙනුවෙන් මැතිවරණ දැන්වීම් පළ කළ බව නම් ප්‍රසිද්ධ කරුණක්. එය හුදු ව්‍යාපාරික කටයුත්තක් කියා පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙත් මහින්ද නම් එවැනි පිළිතුරක් පිළිගන්නෙ නැති බව පැහැදිලියි.



මේ රොහාන් ගුණරත්න තමයි ඒ දවස්වල කැට තියල කිව්වෙ ප්‍රභාකරන් පරාජය කරන්න බැහැ කියලා. ඔහුගේ විශේෂඥ කමට අනුව  කොටි ත්‍රස්තවාදය අනභිබවනීය සංවිධානයක්. එහෙත් මෙරට හමුදාවට නිසි දේශපාලන නායකත්වය මහින්දගෙන් ලැබුණු විගස ගෝඨාභයගෙන් නිසි මග පෙන්වීම ලැබුණු කළ කොටි පැරදවීමට අවුරුදු තුනක් ගියේ නැහැ. අද රොහාන් ගුණරත්නට සිද්ධ වෙලා හමුදාවෙ දක්‍ෂතාව ගැන සහතික දෙන්න. 

රොහාන් ගුණරත්න හැමදාමත් කතා කෙළෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපනය වෙනුවෙන්. මේ නම දිග නිසා අප බොහෝ විට බටහිර නූතනත්වය, ක්‍රිස්තියානි නුතනත්වය, නූතනත්ව සංස්ථාපනය වගේ කෙටි යෙදුම් යොදා ගන්නවා. රොහාන් ගුණරත්න මේ සංස්ථාපනය ගැන දන්නෙ නැතිව ඇති. බටහිර පොත්පත්වල එහෙම සංස්ථාපනයක් ගැන කියැවෙන්නෙ නැහැ. බටහිරයන්  එවැනි සංස්ථාපනයක් තිබෙන බවක් පිළිගන්න එකක් නැහැ. එහෙත් අද ලෝකය පාලනය වන්නෙ මේ සංස්ථාපනයෙන්. එක්සත් රාජ්‍ය කියන්නෙ මේ සංස්ථාපනයට නොවෙයි. ට්‍රම්ප් සමහර වෙලාවට සංස්ථාපනයට පිටින් යනවා. එහෙත් සංස්ථාපනය තියෙන්නෙ ට්‍රම්ප්ට උඩින්. සංස්ථාපනය ට්‍රම්ප් ඉවත් කිරීමට හැකි සෑම දෙයක් ම කරනවා. 

රොහාන් ගුණරත්න කියන්නෙ අයිසිස් වැඩ ආසියාවට පැතිරෙමින් තියෙනව කියල. ඒ බව ඔහුට කියන්න ඇත්තෙ කවුද කියල අප අහන්නෙ නැහැ. පඬියන් කියාවි ඔහුගේ ඊනියා පර්යේෂණවලින් එය සොයා ගත්ත කියල. ඔහු සහරාන් ගැන කිව්වා. සහරාන් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයෙන් කැඩිල වෙනත් සංවිධානයක් හදාගෙන කිව්ව. ඒ සංවිධානයෙ නම මට තබා නිවේදිකාවටවත් මතක තබා ගන්න බැරි වුණා. මේවා විස්තර පමණයි. අපට අවශ්‍ය හරය දැනගන්න. ගලබඩඅත්තෙ ඥානසාර හාමුදුරුවොත් සහරාන් ගැන කියල තියෙනවා.  ඒ මොන අවුරුද්දෙ ඉඳලද කියල මා දන්නෙ නැහැ. ඥානසාර හාමුදුරුවන්ගෙ විශේෂඥ බව ලැබෙන්නෙ කොහොමද?

රොහාන් ගුණරත්න දින වකවානු නම් ආදී විස්තර කිව්වට අයිසිස් සංවිධානය ආසියාවට පැතිරෙන්නෙ මොකද කියල කිව්වෙ නැහැ. ඔහු රටවල් කිහිපයක් නම් කළා. මට මතක හැටියට ඉන්දියාවෙ නම කියැවුණෙ නැහැ. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට දකුණු කොරියාව ජපානය වැනි රටවල් හැරුණු විට ආසියාවෙ ඉන්න ප්‍රධාන ම මිතුරා ඉන්දියාව. ලෝකයේ ප්‍රධාන රටවල් අද දළ වශයෙන් කොටස් දෙකකට බෙදිලා. බටහිර නූතනත්වයෙ රටවල් එක පිළක. අනෙක් පිළේ රුසියාව චීනය වැනි රටවල්. මෙයින් කියන්නෙ ඒ ඒ රටවල් සංවිධානාත්මක ව එකට ක්‍රියා කරන බවක් නොවෙයි. ඔවුනොවුන් අතර වෙනස්කම් තියෙනවා. 

රොහාන් ගුණරත්න පිලිපීනය ගැනත් කිව්ව. එය කතෝලික රටක්. කාලයක් තිස්සෙ පිලිපීනය හිටියෙ බටහිර නූතනත්ව රටවල් සමග. ඒත් ඒ රටේත් පල්ලි කිහිපයකට අයිසිස් පහර දීල. ඒ ඇයි? ඒ පහර දීම සිද්ධ වුණෙ වර්තමාන පිලිපීන ජනාධිපති චීනය සමග සම්බන්ධකම් ඇති කර ගත්තට පස්සෙ. ඔහු එක්සත් රාජ්‍යය සමග පැවති අවුරුදු 65ක යුදමය සම්බන්ධකම් අවසන් කිරීමට තීරණය කළාට පස්සෙ. ඔහු එක්සත් රාජ්‍යයට කියා ඇත්තෙ තමන් පාපිස්සක් ලෙස නොසලකන ලෙසත් තමාට යෑමට චීනය තිබෙන බවත්. රොහාන් ගුණරත්නට මේ දැනුම නැතැයි කියන්න බැහැ. මූලාශ්‍ර ඔහුගෙන් ඉල්ලා ගන්න.

අද බටහිර නූතනත්වයට තියෙන ප්‍රශ්නය චීන සේද මාර්ගය අලුත් වීම. බටහිර නූතනත්වය අයිසිස් ආසියාවට පතුරවන්නෙ මේ චීන සේද මාර්ගයට විරුද්ධ ව. නැතිව ආසියාව මුස්ලිම් කරන්නෙ නොවෙයි. මුස්ලිම් අන්තවාදීන්ට එවැනි බලපොරොත්තුවක් තියෙනවා. බටහිර නූතනත්වය එයට ඉඩ දෙන එකක් නැහැ. නූතනත්වය අද වන විට තම ආධිපත්‍යය පතුරවලා. ඔවුන් දන්නවා මුස්ලිම් අන්තවාදය තමන්ගෙ ආධිපත්‍යය තබා ගැනීමට යොදා ගන්නෙ කොහොමද කියලා. 

ලංකාවෙ පාස්කු දින අයිසිස් ප්‍රහාරයටත් යම් ප්‍රමාණයකට චීන සම්බන්ධකම් බලපාන්න ඇති. මා මේ බව කලිනුත් සඳහන් කර ඇති. පඬියන් චීන්නු ෂියා බටහිර සුන්නි ආදී විකාර කතා කියමින් එයට හිනාවුණා පමණයි. ඒ කොහොමටත් ලංකවෙ අයිසිස් ප්‍රහාරයට ප්‍රධාන වශයන් ම බලපාල තියෙන්නෙ රනිල්ට පූර්ණ බලතල ලබා දීමත් අවුරුදු ගණනකට ජනාධිපතිවරණයක් නොපවත්වා රනිල් බලයේ තබා ගැනීමත්. ගෝඨාභයට බලයට පත්වීමට ජනාධිපතිවරණයක්වත් නොදීමට බටහිර නූතනත්වය කටයුතු කරනවා. දෙරණට ඒ බව තේරෙන්නෙ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. 

රොහාන් ගුණරත්න තවත් කරුණු දෙකක් කිව්ව. ඔහුගෙ අර ව්‍යාජ ලාංකිකත්වය ඇති කිරීමට විවිධ ආගමික පාසල් නැති කිරීම. ලංකාවෙ බහුතර පාසල් රජයේ පාසල්. ඒ හැම පාසලක් ම ඊනියා බෞද්ධ පාසල් ද ඇතුළුව බටහිර ක්‍රිස්තියානි නුතනත්වයෙ පාසල්. ශාන්ත තෝමස් ත්‍රිත්ව ආදී ක්‍රිස්තියානි පාසල් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පාසල් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ පාසල්වලටත් රජයෙ ආධාර ලැබෙනවා. ශාන්ත ජෝසෆ් ශාන්ත පීතර ආදී  පාසලුත් කතෝලික වුණත් බටහිර ක්‍රිිස්තියානි පාසල්. මා හිතන්නෙ මද්‍රසා පාසල් නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පාසල් නොවන බවයි. රොහාන් ගුණරත්න  මේ සූදානම් වන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු විශේෂත්වය නැති කර පාසල් හරහා ඊනියා ලාංකිකබවක් ඇති කර අප බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට මුළුමන්න් ම යට කරන්න. රොහාන් ගුණරත්න  අර කැරකෙන කුහරය ගැන විස්තර කියවන ව නම් හොඳයි. කැරකෙන කුහරේ පාස්කු ප්‍රහාරෙ කියල එඩ්වඩ් ජයකොඩිගෙ ගීතයට පොඩි එකතුවක් කරමු ද? 

රොහාන් ගුණරත්න  කියන අවසන් කාරණය තමයි මේ ත්‍රස්තවාද නැති කරන්න ලංකාවේ නීති නැති බව. එය තනිකර ම රනිල් බේර ගන්න කියන කතාවක්. මේ රටේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයකට විරුද්ධව කටයුතු කරන්න නීති තියෙන බව නීති ක්‍ෂෙත්‍රයෙ බොහෝ දෙනා දන්නවා. ඒ බව කියනවා. රොහාන් ගුණරත්නට අවශ්‍ය පාස්කු ප්‍රහාර වැළැක්වීමට රනිල්ටවත් ඔහුගෙ පොලිස්පතිටවත් චන්ද්‍රිකාගෙ හිටපු ආරක්‍ෂක ලේකම්ටවත් නොහැකි වීම ගැන ඔවුන් බේර ගන්න. කාට හරි කියන්න පුළුවන් ඒ අය පාස්කු ප්‍රහාරය වළක්වන්න කටයුතු කෙළේ නැහැ කියලත්. 

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ පශ්චාත්නූතනත්ව පඬියන් ගැන. ඔවුන් අද නූතනත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. පශ්චත්නූතනත්වයට මොක ද වුණෙ? ඒක දැනගන්න පේරාදෙණියට යමු ද?