Main Logo

Tuesday 1 October 2019

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය

     සිංහල ලිත් ඉලක්කම්

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය


ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අධිකරණ තරාදියට දාලා. එහි දී අධිකරණයට ගිහිල්ල තියෙන්නෙ මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් මෙන් ම ගවේෂකයන් ද වූ දෙදෙනෙක්. එක්කෙනෙක් කලකට ඉහත සමසමාජ පක්‍ෂ කාර්යලයෙදි මෙරට සමාජවාදයෙහි මහගෙදර දී සමාජවාදය පරාදවීම ගැන දුක්ඛ දොමනස්සයට පාත්‍ර වූ අයෙක්. අනෙක් අය බැරල් මගින් එකල තිබූ මාර්ග බාධකවලට විරුද්ධ ව සෞන්දර්යාත්මක විප්ලවයක් කළ අයෙක්. මා හිතන්නේ ඔවුන් ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභයගේ ජාතික හැඳුනුම්පත හා මෙරට රටවැසි සහතිකය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු හෙළදරවු කර ගෙන ඇති බවයි. එහෙත් රාජිත ඔවුන්ට නිසි ගෞරවය ලබා දීමට සූදානම් නැහැ. රාජිතට අනුව නඩුව එ ජා පක්‍ෂයේ වැඩක්! රාජිත විශිෂ්ට බුද්ධිමතුනට නිසි තැන දීමට කැමැත්තක් නැද්ද?  


නාම යෝජනා  ඉදිරිපත් කිරීමට පෙර ම ගෝඨාභය පරාජය කිරීමේ වෑයමක් පවතින බව පැහැදිලියි. නඩු තීන්දුව ගැන මට කිසිවක් කියන්න බැහැ. නඩු තීන්දුව කුමක් වුවත් අප එයට මුහුණ දෙන්න ඕන. ගෝඨාභයගේ නාම යෝජනා ප්‍රතික්‍ෂෙප කිරීමට මැතිවරණ කොමිසමට පුළුවන් ද බැරි ද ආදී කරුණු වෙනත් බොහෝ කරුණු මත රඳා පවතිනවා. ඉදිරි දින තුනේ දී ගෝඨාභයගේ රටවැසිකම පිළිබඳ තීන්දුවක් ලැබේවි. ජනාධිපති ධුරයට නාම යෝජනා දිය හැක්කේ රටවැසියකුට පමණක් බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට අවශ්‍ය කාට ද?  ඇතැමුන් කියන්නේ ගෝඨාභය හමුදා නිලධාරියකු ව සිටි බැවින් ඔහු නුසුදුසු බවයි. ඔහුගේ පාලනය හමුදා පාලනයක් වේවි යැයි ඔවුන් කියනවා. එහෙත් ඒ අය සරත් ෆොන්සේකාට සහාය දුන්නා. එලෙස සහාය දුන්නේ සරත් ෆොන්සේකා දිනන්නේ නැති බව දැන සිටි නිසා වෙන්න ඇති. දිනන්නෙ නැති ව හමුදා පාලනයක් ගෙන යන්න බැහැ.

අද හිටපු හමුදාපති මහේෂ් සේනනානායකත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙලා. කිසිවකුවත් ඔහුටත් විරුද්ධ වන පාටක් පේන්න නැහැ. ඔහුත් දිනන්නෙ නැති නිසා හමුදා පාලනයක් ගෙන යන්න බැරි බව මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන් දන්නවා ඇති. ගෝඨාභයට විරුද්ධ වන්නෙ ඔය ඊනියා හමුදා පාලනයක් නිසා නො වෙයි. කොළඹ අවසාන වශයෙන් බැරල් අයින් කෙළේ ගෝඨාභය. බැරල් අයින් කරාම බැරල් නිර්මාණ කරන්න බැරි වෙනවා. බැරල් නිර්මාණ බැරන් ආර්ට් කියල මා ඉංගිරිසියෙන්වත් කියන්නෙ නැහැ. 

ගෝඨාභයට විරුද්ධ වන්නෙ මාක්ස්වාදී හා ලිබරල්වාදී පඬියන් හා දේශපාලනඥයන්. සාමාන්‍ය ජනයා අතරත් පාරම්පරික ව ඡන්දය දෙන අය එ ජා ප අපේක්‍ෂක කවුරුන් වුවත් ඡන්දය දෙනවා. ඔවුන් අර පඬියන් හා දේශපාලනඥයන් මෙන් ගෝඨාභයට විරුද්ධ නැහැ. එහෙත් ඡන්දය දෙන්නෙ නැහැ.  ඔවුන්ගේ ඡන්දය ගෝඨාභයට ලබා ගන්න වැඩ පිළිවෙළක් ඇත්තෙත් නැහැ. මාක්ස්වාදීන් හා ලිබරල්වාදීන් අතර පොදු බවක් තියෙනවා. ඔවුන් ඊනියා ජාත්‍යන්තරවාදීන්. 

ඔවුන් ජාතිකවාදයට විරුද්ධයි. ඔවුන් පුටින්ටත් විරුද්ධයි. ට්‍රම්ප්ටත් විරුද්ධයි. බෝන් අගේන් අද එක්සත් රාජ්‍යවල දේශපාලනයේ වැදගත්. බෝන් අගේන් ලංකාවෙත් බලවත්. පඬියන් බෝන් අගේන් ආගමටවත් සංස්කෘතියටවත් විරුද්ධ නැහැ. එහි ඊනියා ජාත්‍යන්තරබවක් තියෙනවා. සමහරවිට ඔවුන් ඕල්කට් බුද්ධාගමටත් විරුද්ධ නැතුව ඇති. ඒකත් ජාත්‍යන්තරයි. ඒත් ඔවුන් එක හඬින් එක පයින් සිංහල බුද්ධාගමට විරුද්ධයි. 

ලංකාවේ ජාතිකවාදය මාක්ස්වාදීන් අවුල් කරනවා. මාක්ස්වාදීන් අද ජාතිකවාදයටත් රිංගලා. ඔවුන් ජාතික ව්‍යාපාරයේත් ඉන්නවා. ඔවුන් සිංහල බුද්ධාගමට විරුද්ධයි. සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට විරුද්ධයි. ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. ජාතිකත්වයට පැමිණ සිටින ඕල්කට් බෞද්ධයනට හා අටපිරිකර බෞද්ධයනට මේ පඬියන් වැදගත් වෙනවා. ඊනියා වෘත්තීයකයන් අතර මේ වර්ගවල බෞද්ධයන් දකින්න පුළුවන්. 

මේ අයගේ ගෞරවයට පාත්‍ර වුණු ඇතැම් පුරා විද්‍යාඥයන්ට අනුව පැරුණි රජවරුන් ජනතාව මර්දනය කිරීමට ඉතා සිල්ලර විධියට සිංහල බුද්ධාගම යොදා ගෙන තියෙනවා. එය මාක්ස්වාදයෙන් ගලා එන මතයක්. ඊනියා වෘත්තීයකයන්ට මේ කතාවල ඇති භයානකකම තේරෙන්නේ නැහැ. ඉංගිරිසියෙන් හිතන පතන බටහිර වෛද්‍යවරුන් නීිතිඥයන් මේ ඊනියා වෘත්තීයකයන් අතර ඉන්නවා. ඉංගිරිසි එතරම් බැරි අයත් ඒ කුලකයට යෑමට උත්සාහ කරනවා. 

ගෝඨාභය සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට කතා කරන්නේ නැහැ. එහෙත් ඔහුගේ පාලනයක ඒ දිශාවට පියවර ගැනීමක් වේය කියා අර පඬියන් බයයි. ඔවුන් ගෝඨාභයගේ ගමන් මගට බාල්දි නැහැ බැරල් පෙරළනවා. කොටි සංවිධානය එදා එල්ල කෙළේ මල්ටි බැරල්. දෙගොල්ලන් අතර වැඩි වෙනසක් නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යයට විරුද්ධ සමහරු සමාජවාදී රාජ්‍යයක් ඇති කිරීමට හීන දකිනවා. සමාජවාදී රාජ්‍ය තිබිලත් නැහැ. තියෙන්නෙත් නැහැ. අද කම්කරු පංති රාජ්‍යය නොවෙයි කම්කරු වැඩ වර්ජනත් පුස්සක් වේගෙන යනවා. ලංකාවෙ වෘත්තීය සමිති ව්‍යාපාරයත් අද බංකොළොත්.

අවුරුදු පනහකට පෙර 1969 දෙසැම්බරයේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගිය දවස්වල මගේ උපදේශක මහාචාර්යවරයාගේ ලේකම්වරිය එකල එංගලන්තයේ පැවති වැඩ වර්ජන ගැන කළකිරී සිටියෙ. ඇය මගෙන් ඇහුව ලංකාවෙත් වර්ජන තියෙනවා ද කියා. එකල සමසමාජ පාක්‍ෂිකයකු සිටි මා උජාරුවෙන් කිව්වේ ලංකාවේ කම්කරුවනුත් වැඩ වර්ජන කරන බව. වෘත්තීය සමිති ව්‍යාපාරයත් වැඩ වර්ජනත් අපට ලැබුණේ එංගලන්තයෙන්. අද එංගලන්තයේ කම්කරු පක්‍ෂය යුරෝපා සංගමයෙන් වෙන් වීමට විරුද්ධ ව අසාර්ථක ව්‍යාපාරයක යෙදෙනවා. දැන් මට කම්කරු පංති ආඥාදායකත්වය මතක් වෙන කොට හිනා යනවා.  

පොහොට්ටුවෙ ගෝඨාභයට විරුද්ධ  ස්මාට්ජාතිකවාදීන් හිටියා. ඔවුන් ගෝඨාභයට පක්‍ෂ වුණෙ බැරි කමට. අද ඔවුන් උනන්දුවෙන් විකල්ප අපේක්‍ෂකයකු සොයන බව පේනවා. අපට අවශ්‍ය ඔවුන්ගේ අපේක්‍ෂකයා නොව ජාතිකත්වයට නැඹුරු වූ අපේක්‍ෂකයෙක්. අපේක්‍ෂකයා තෝරා ගැනීමට ශ්‍රී ල නි පක්‍ෂය සහභාගි කර ගැනීමේ වුවමනාව අද තදින් දැනෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපතිවරණය පිළිබඳ තම තීරණය ගැනීම පස්වැනි දාට කල් දාලා. ඒ අධිකරණ තීන්දුව බලා ගන්න තීරණයක් වේවි. ඔවුන් පොහොට්ටුවට විරුද්ධයි. ගෝඨාභයට යම් ආකාරයකින් අපේක්‍ෂකත්වය අහිමි වුණොත් කුමක් කරන්නේ ද යන ප්‍රශ්නයට ඉක්මණින් මුහුණ දෙන්න ඕන. නඩු තීන්දුවෙන් පසු නාම යෝජනා භාර දීමට ඇත්තේ එක් දිනයක් පමණයි. නඩු තීන්දුව වෙන තෙක් ඉන්න බැහැ. තීන්දුව කුමක් වුවත් එයට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන.

ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර ඒ ගැන සාකච්ඡා කරනවා වෙන්න පුළුවන්. ඒ සාකච්ඡාවලට ශ්‍රී ල නි පක්‍ෂයත් එකතු කරගන්න ඕන. ශ්‍රී ල නි පක්‍ෂයත් ඒ කඳවුරේ බව අමතක නොකළ යුතුයි. ජාතිය වෙනුවෙන් දැන්වත් ලකුණ අමතක කරන්න.