Main Logo

Friday 10 January 2020

බුදුසසුනට ගැරහීම

    සිංහල ලිත් ඉලක්කම්

බුදුසසුනට ගැරහීම

ක්‍රිස්තියානි/කතෝලික රටවල ඒ ආගම් ඇදහූ අයගේ දරුවන් ඉන්නවා ඒ ආගම් විශ්වාස නොකරන. ඒ හුදෙක් තර්කය හා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි (අද්දැකීම්) මත පදනම් වෙලා. එහි දී ඔවුන්ට බලපාන්නෙ බටහිර විද්‍යාව. බටහිර විද්‍යාවට අර්නස්ට් මාක් කරපු බලපෑමෙන් ඔවුන් තවමත් එක්තරා ප්‍රමාණයකට බැඳිලා. එහෙත් බටහිර විද්‍යාව දැන් මාක්ගෙන් බොහෝ ඈතට ගොස් ඇති බව ඔවුන් නොදන්නවා පාටයි. 


මා මේ කතා කරන්නේ අපේ රටේ ඇතැම් ඊනියා විද්වතුන් බුදුසසුනට මෙතරම් ගරහන්නේ ඇයි ද යන ප්‍රශ්නය (මහින්දගේ වැදගත් ප්‍රශ්නය)  ගැනයි. ඔවුන් නොදැන හරි තවමත් මාක් අනුගමනය කරනවා. එයින් අදහස් කරන්නේ ඔවුන් මාක් කියවා තියෙනවා ය කියන එකවත් සමහර විට මාක් ගැන අහල තියෙනවා ය කියන එකවත් නො වෙයි. ඒ කොහොම වුණත් අපි ඉතා කෙටියෙන් මාක් කියා ඇති දේ නැවතත් සලකා බලමු. මේ ගැන මා ලියු ලිපි කිහිපයක ම, විශේෂයෙන් ම විදුසර පුවත්පතට ලියූ ලිපිවල සඳහන් කර තිබෙනවා. 

මාක්ගේ මුලික විරුද්ධතාව පැන නැගුණො නිව්ටන්ගේ චලිත සමීකරණවලට. එහි ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු සම්බන්ධවයි. අවස්ථිති සමුද්දේශ රාමු ඉන්ද්‍රිය ගෝචර නොවන බව කී මාක් කියා සිටියේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර සංකල්ප මගින් පමණක් පැහැදිලි කළ යුතු බව. මාක්ගේ කතාව තරුණ අයින්ස්ටයින්ට බලපෑවා. ඔහු තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කෙළේ එවැනි අවස්ථිති සමුද්දේශ රාමු ඉවත් කිරීමයි. ඒ සමග ඔහු ඊනියා ගුරුත්වාකර්ෂණය ද ඉවත් කළා. එහෙත් අයින්ස්ටයින්ටත් මාක්ගේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න බැරි වුණා. 

අද වන විට භෞතික විද්‍යාවේ මාක් ව්‍යාපෘතිය සලකන්නේ නැහැ. බටහිර විද්‍යාවෙහි බොහෝ සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නැහැ. එහෙත් ඇතැමුන් හිතනවා බටහිර විද්‍යාවෙ සියල්ල ඉන්ද්‍රිය ගෝචර කියා. ඔවුන් අඩු තරමෙන් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නැති බවවත් දන්නේ නැහැ. බොහෝ දෙනා හිතා ඉන්නේ ගුරුත්වාකර්ෂණය කියන්නෙ පවතින බලයක් කියල. එහෙත් එය පොල් (ඇපල්) වැටෙන්නෙ මොක ද කියන එකට නිව්ටන් දුන්න උත්තරයක් පමණයි. අයින්ස්ටයින් වෙනත් උත්තරයක් දුන්නා. තවත් උත්තර දෙන්න පුළුවන්. 

අනෙක් පැත්තට බටහිර ඇතැමුන් තර්කය මත පදනම් වෙනවා. සමහරු ඉන්ද්‍රිය ගේචර අත්දැකීම් මත පදනම් වෙමින් තර්කය මතත් පදනම් වෙනවා. තවත් සමහරු තර්කය හා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත වෙන වෙන ම පදනම් වෙනවා. ඒ කොහොම වුණත් බොහෝ දෙනා හිතන්නෙ තර්කය දේවභාෂිතයක් කියා. එය අපෙන් ස්වාධීන ව පවතිනවා කියලත් හිතනවා. මේ තර්කය කියල කිව්වත් මෙහි දී යොදා ගන්න ඕන වචනය න්‍යාය (ලඔගඉච) කියන එකයි. මේ අය කතා කරන්නේ ඈරස්ටෝටලීය න්‍යාය මත පදනම් වෙලා කරන තර්ක ගැන. 

එහෙත් ඇරිස්ටෝටලීය න්‍යාය (එය ඔහුගෙ නොවූවත්) අප නිර්මාණය කරගත් එක් න්‍යායක් පමණක්. චතුස්කොාටික න්‍යාය කියල එකකුත් තියෙනවා. ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමට සිංහල බෞද්ධයනට උපකාර වුණෙ චතුස්කෝටික ය. ක්වොන්ටම් භෞතිකය තේරුම් ගන්න පුළුවන් චතුස්කෝටික න්‍යායෙන්. මේ සම්බන්ධ මා ලියා ඇති ලිපිවලින් සමහරක් රිසර්ච් ගේට් වෙබ් අවියෙන් ලබා ගන්න පුළුවන්.
ඇරිස්ටෝටලීය න්‍යාය පදනම් වෙන්නෙ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි මත. ක්වොන්ටම් අංශු ඉන්ද්‍රිය ගෝචර නැහැ. ක්වොන්ටම් අංශු මැරී මැරී ඇති වෙනවා කියලත් හිතන්න පුළුවන්. ඒ ගැනත් මා ලියා තියෙනවා. පසුගිය දා බටහිර විද්‍යාඥයන් මේ යළි ඉපදීම ගැන කතා කරලා තිබුණා. මේ සබැඳියෙන් එය ලබා ගන්න පුළුවන්. 

එහෙත් මා දකින විධියට ක්වොන්ටම් අංශුවක් නැති වී ඇති වන්නේ එයත් නො වෙයි. වෙන එකකුත් නො වෙයි. බටහිර විද්‍යාඥයන්ට එය කිවුවට පිළිගන්න එකක් නැහැ. එය ඇරිස්ටෝටලීය න්‍යායට විරුද්ධයි. ඒ කෙසේ වෙතත් බටහිරයන් තම ආගම නොපිළිගන්නේ එය තම චින්තනයේ න්‍යායට එකඟ නොවන නිසා. ආගම් එකක්වත් ද්විකෝටික න්‍යායෙහි නැති බවයි මගේ වැටහීම. 

බටහිර විද්‍යාවත් ආගමක්. එහිත් ද්විකෝටික න්‍යාය නැහැ. එහෙත් බටහිර විද්‍යාඥයන්  (ඒ ආගමේ පූජකයන්) ද බටහිර විද්‍යාව අදහන්නන් ද හිතන්නෙ එහි ඇත්තේ ද්විකෝටික න්‍යාය කියා. එමෙන් ම බටහිර විද්‍යාවේ සංකල්ප ඉන්ද්‍රිය ගෝචර කියාත් අනුගාමිකයන් හිතනවා. බටහිර විද්‍යාවේ  පූජකයන් නම් දන්නවා සමහර සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නොවන බව. 

මෙරට බුද්ධිවාදය හේතුවාදය අනුභූතිවාදය ආදිය අච්චාරුවක්. බුද්ධිවාදයත් අනුභූතිවාදයත් එකට ගැලපෙන්නේ නැහැ. එහෙත් මෙරට බුද්ධිවාදීනට එය ප්‍රශ්නයක් නො වෙයි. බටහිරයන් තම පැරණි ආගම් විවේචනය කරන්නේ ඔවුන්ගේ නව ආගමත් (බටහිර විද්‍යාව)  සමග ඒ පැරණි ආගම් සංගත නොවන නිසා. ඔවුන්ට හීනමානයක්වත් ද්වේෂයක්වත් නැහැ. ඔවුන්ට අවශ්‍ය තම නව ආගමට සාපේක්‍ෂ ව තේරුම් ගැනීම. යුදෙව්වන්ට අවශ්‍ය දෙවියන් වහන්සේ තම ංස්කෘතියෙහි ම තේරුම් ගැනීම. ඔවුන් තම දෙවියන් වහන්සේ බැහැර කරන්නේ නැහැ. 

මෙරට සිංහල බෞද්ධ පවුල්වල උපන් ඇතැමුන් බුදුසසුන බුදුදහම විවේචනය කරන්නේ ඒ තේරුම් ගැනීමට නො වෙයි. ඔවුන් කලින් ම නිගමනයකට පැමිණිලා ඉවරයි බුදුදහම වැරදි කියා. ඔවුන්ට බුදුදහම හරි සසුන හරි තේරුම් ගන්න වුවමනාවක් නැහැ. ඔවුන් කරන්නේ එහි ඇතැයි කියන වැරදි විවේචනය කිරීම පමණයි. එමගින් ඔවුන්ට පොරවල් වෙන්නත් පුළුවන්. පොරක් වීමට වෙන කිසිම දක්‍ෂකමක් නැති මේ අය පොරවල් වීමට උත්සාහ කරන්නේ බුදුදහමේ ඇතැයි කියන වැරදි ගැන සසුනේ ඇතැයි කියන වැරදි ගැන කතා කිරීමෙන්. ඔවුන් කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. 

ඉන්ද්‍රිය  ගෝචර නොවන දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට බටහිර ආගමිකයන් මෙන් ම නිරාගාමිකයන් ද උත්සාහ කරනවා. ඔවුන් තම ආගම දන්නවා. මෙරට පඬියන් ඓතිහාසික පුද්ගලයකු වූ බුදුහාමුදුරුවන් තේරුම් ගැනීමට උත්සාහ ගන්නේ නැහැ. ඔවුන් දන්නා බුදුදහමක් නැහැ. ඔවුන් බුදුදහම ඉගෙනීමට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් දන්නේ ගැරහීම පමණයි. එය යටත්විජිතවාදයෙහි ප්‍රතිඵලයක්.